ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාකවලින් ජනතාව තවමත් පීඩා විඳිමින් සිටින පසුබිමක, රටේ සමස්ත මූල්‍ය ව්‍යුහය සහ මූල්‍ය පාලන ක්‍රමවේදය මුළුමනින්ම ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ නව ප්‍රතිපත්තිමය ලේඛනයක් මේ දිනවල දේශපාලන සහ ආර්ථික කවයන්හි දැඩි අවධානයට ලක්ව තිබේ.

හිටපු මුදල් අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන රවී කරුණානායක විසින් “ශ්‍රී ලංකාවේ මුදල් සහ මූල්‍ය පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීම” (Rebuilding Sri Lanka’s Monetary and Financial System: A National Prescription for Stability, Growth and Economic Renewal) යන මැයෙන් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත. වත්මන් ආර්ථික අර්බුදය හුදෙක් හුදකලා ආර්ථික සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් නොව, රටේ මූල්‍ය පාලන ව්‍යුහය තුළ දිගුකාලීනව පැවති දුර්වලතාවල ප්‍රතිඵලයක් බව පෙන්වා දීම මෙම ලේඛනයේ මූලික අරමුණ වී තිබේ.
‘සංකෝචන ප්‍රතිපත්ති’ සහ පෙළපොත් ආර්ථික විද්‍යාවේ සීමාවන්
වත්මන් මහ බැංකු පාලනය සහ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් කරුණානායක මහතා ගෙන එන ප්‍රබලතම විවේචනය වන්නේ, නිෂ්පාදනය, ආයෝජනය සහ රැකියා වියදමින් සිදුකරන සාම්ප්‍රදායික සංකෝචන ආර්ථික කළමනාකරණ ආකෘතිය (Contractionary Model) මත පමණක් රජය අධික ලෙස යැපීමයි. උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත අධික ලෙස ඉහළ නැංවීම, වෙළඳපොළට මුදල් නිකුත් කිරීම සීමා කිරීම සහ ණය මර්දනය කිරීම හරහා ව්‍යවසායකත්වය සහ දේශීය ව්‍යාපාර බිඳ වැටෙන බව ඔහු පෙන්වා දෙයි.
භාණ්ඩ හිඟය සහ දුර්වල දේශීය සැපයුම නිසා ඇතිවන උද්ධමනය, හුදු මූල්‍ය සංකෝචනයෙන් පමණක් විසඳිය නොහැකි බව ආර්ථික විචාරකයෝ ද පෙන්වා දෙති. වර්ධනයකින් තොරව පවත්වා ගැනීමට උත්සාහ කරන මෙවැනි ස්ථාවරත්වයක්, අවසානයේදී සමස්ත ආර්ථිකයම එකතැන පල්වීමකට ලක් කරන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් තර්කයයි.
ආයතන තුනක ව්‍යුහය සහ මහ බැංකුවේ බලය විමධ්‍යගත කිරීම

වත්මන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු අධික බලය එක් ස්ථානයක කේන්ද්‍රගත වීම වැළැක්වීම සහ වගකීම් විමධ්‍යගත කිරීම සඳහා, එය ස්වාධීන විශේෂිත ආයතන තුනකට වෙන් කළ යුතු බවට රවී කරුණානායක යෝජනාවක් ඉදිරිපත් කරයි.
- මුදල් ස්ථාවරත්වය, විනිමය අනුපාත සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය කළමනාකරණය කිරීම
- බැංකු හා මූල්‍ය ආයතන අධීක්ෂණය සහ මූල්‍ය වංචා වැළැක්වීම
- පාරිභෝගික ආරක්ෂාව සහ වෙළඳපල හැසිරීම් නියාමනය කිරීම
පිහිටුවීමට යෝජිත ආයතන තුන හරහා ඉහත කාර්යයන් ඉටුකරගැනීමට අපේක්ෂිතය.
න්‍යායාත්මකව බලය බෙදා හැරීම යහපත් වුවද, ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ලංකාවේ ගැටලුව ආයතන හිඟකම නොව, පවතින ආයතන ස්වාධීනව සහ අපක්ෂපාතීව ක්‍රියාත්මක නොවීම බවයි. එබැවින්, හුදු නාමපුවරු වෙනස් කරමින් නව ආයතන තුනක් බිහිකිරීම හරහා තවත් නිලධාරිවාදයක් සහ අනවශ්‍ය නඩත්තු වියදමක් රටට බරක් විය හැකි බවට ද විචාරකයෝ මත පළ කරති.
“ස්වාධීනත්වය කිසිවිටෙකත් මුක්තියක් නොවිය යුතුය”
මෙම ප්‍රතිපත්ති ලේඛනය තුළ ඩිජිටල්කරණය හුදු තාක්ෂණික ව්‍යාපෘතියකට සීමා නොකර, එය අකාර්යක්ෂමතාව සහ දූෂණය පිටුදකින ජාතික ආර්ථික පරිවර්තන උපාය මාර්ගයක් ලෙස භාවිත කළ යුතු බව අවධාරණය කර ඇත. එමෙන්ම, මූල්‍ය ආයතන කාර්තුවකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම, සංචිත තත්ත්වයන් විනිවිදභාවයෙන් යුතුව හෙළිදරව් කිරීම සහ ස්වාධීන විගණනවලට ලක්වීම අනිවාර්ය කළ යුතු බව ද එහි දැක්වේ.
මෙහිදී දේශපාලන සහ ආර්ථික කවයන්හි වඩාත්ම කතාබහට ලක්ව ඇත්තේ, “ස්වාධීනත්වය කිසි විටෙකත් මුක්තියක් නොවිය යුතුය” යනුවෙන් රවී කරුණානායක සිදුකර ඇති ප්‍රකාශයයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිදු ආයතනයකට “රාජ්‍යයක් තුළ තවත් රාජ්‍යයක්” ලෙස ක්‍රියාත්මක විය නොහැකි බව පවසමින්, මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ගෝලීය පෙළපොත් නියමයන් ප්‍රායෝගික දේශපාලන-ආර්ථික යථාර්ථය හමුවේ ඔහු ප්‍රශ්න කර තිබේ.




