සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ මුවාවෙන් සෑම දිස්ත්‍රික්කයකටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන්” ලෙස පත් කිරීමට රජය ගෙන ඇති තීරණය “දිනන දකුණ” සාමූහිකයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
මෙම පියවර හුදු පරිපාලනමය තීරණයකට එහා ගිය, දේශපාලන හා ව්‍යවස්ථාමය වශයෙන් බරපතළ අවදානමක් සහිත ක්‍රියාවක් බව එම සාමූහිකය පෙන්වා දෙයි.

ස්වාධීන ආයතන පද්ධතියක අවශ්‍යතාව
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ශක්තිමත්භාවය රඳා පවතින්නේ සෑම ගැටලුවකටම දේශපාලනඥයන් පත් කිරීම මත නොව, ස්වාධීන ආයතන ක්‍රියාත්මක වීම සහ දේශපාලනය හා පරිපාලනය අතර පැහැදිලි සීමාවන් පවත්වා ගැනීම මත බව එම සාමූහිකය අවධාරණය කරයි. “ශක්තිමත් රාජ්‍යයක් යනු බලය නිසි ලෙස බෙදී ඇති, පද්ධතිමය ක්‍රියාකාරිත්වයක් සහිත රාජ්‍යයකි,” යන්න ඔවුන්ගේ අදහසයි.
බල බෙදීමේ මූලධර්මය උල්ලංඝනය කිරීම
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විධායක බලතල පැවරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම වන “බල බෙදීමේ මූලධර්මය” දුර්වල කිරීමක් බව නිවේදනයේ සඳහන් වේ. නීති සම්පාදනය සහ ආණ්ඩුව අධීක්ෂණය කිරීම මන්ත්‍රීවරුන්ගේ වගකීම වන අතර, සම්පත් සම්බන්ධීකරණය හා ව්‍යාපෘති අධීක්ෂණය වැනි කාර්යයන් වෘත්තීය පරිපාලන ව්‍යුහයට අයත් විධායක කාර්යයන් බව ඔවුහු සිහිපත් කරති.
අනාගත අවදානම
“අද සෞඛ්‍ය ක්ෂේත්‍රයට පත් කරන මෙම දේශපාලන නියෝජිතයන්, හෙට පාසල් පද්ධතියට හෝ පොලිසියට ද පත් කරනු ඇත. අවසානයේ සෑම රාජ්‍ය ආයතනයක්ම දේශපාලනඥයන්ගේ අදිසි පාලනයට යටත් වීමේ බරපතළ අවදානමක් පවතී,” යනුවෙන් එම සාමූහිකය අනතුරු අඟවයි.
සැබෑ ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව
ලංකාවේ රාජ්‍ය ආයතන පද්ධතිය බිඳ වැටීමට ප්‍රධාන හේතුව දේශපාලනය සෑම ක්ෂේත්‍රයකටම අනිසි ලෙස ඇතුළු වීම බව පෙන්වා දෙන “දිනන දකුණ” සාමූහිකය, සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිය උදෙසා අවශ්‍ය වන්නේ වෘත්තීය කළමනාකරණය හා තාක්ෂණික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මිස දේශපාලන ඇඟිලි ගැසීම් නොවන බව පවසයි.
“රෝහල්වලට අවශ්‍ය වන්නේ තවත් මන්ත්‍රීවරුන් නොව, දේශපාලනයෙන් තොර කාර්යක්ෂම සෞඛ්‍ය පද්ධතියකි,”
යනුවෙන් පවසමින් එම නිවේදනය අවසන් කර ඇත.
මෙම නිවේදනය “දිනන දකුණ” සාමූහිකය වෙනුවෙන් විධායක සභික වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ සහ විධායක සභික වෛද්‍ය සෙනෙත් ගජසිංහ විසින් නිකුත් කර තිබේ.



