Latest Posts

“යුද්ධය කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ” – 18 වන යුද ජයග්‍රහණ සැමරුමේදී කරු ජයසූරියගෙන් විශේෂ ප්‍රකාශයක්

යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවන බවත්, මිනිසෙකු තවත් මිනිසෙකුගේ ලෙයින් තම ජයග්‍රහණය හෝ පරාජය සනිටුහන් කිරීම තරම් අඥාණකමක් මෙලොව තවත් නොමැති බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, කරු ජයසූරිය මහතා පවසයි.

ඊයේ (මැයි 18) දිනට යෙදුණු 18 වන යුද ජයග්‍රහණයේ සංවත්සරය වෙනුවෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේය.

දශක තුනක් තිස්සේ මව්බිමේ ජාතික ධනයත්, තරුණ ජීවිතත් බිලිගත් මහා සාපලත් ත්‍රස්තවාදී යුද්ධය නිමා කරන්නට දිවි හිමියෙන් කැප වූ වීරෝදාර රණවිරුවන් සහ එදා දේශපාලන නායකත්වය, නිවැරදි සිහිබුද්ධියෙන් යුතු ජාතියක් ලෙස කෘතවේදීව සිහිපත් කළ යුතු බව කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.

මිලේච්ඡත්වයට හැරුණු අතීතය

වසර තිහක් පුරා රට වෙළාගෙන තිබූ බිහිසුණු වාතාවරණය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, මුලින් ජාතිවාදී මුහුණුවරකින් ඇරඹි සන්නද්ධ අරගලය කෙමෙන් කෙමෙන් සිත්පිත් නැති මිලේච්ඡත්වයක් දක්වා පරිවර්තනය වූ බවයි. එහිදී මල් කැකුළු වන් කුඩා දරුවන් මව්පියන්ගෙන් උදුරාගෙන ගොස් සොල්දාදුවන් කිරීම සහ රටම කම්පනයට පත් කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හරහා මුළු රටම විනාශ මුඛයට ඇද වැටුණු බව ඔහු සිහිපත් කළේය.

තීරණාත්මකම මොහොතේ ගත් දේශපාලන තීන්දුව

මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ ඇරඹි දැවැන්ත මානුෂීය මෙහෙයුම මධ්‍යයේ, එදා රට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ආණ්ඩුව අයවැයෙන් පැරදී බිඳ වැටෙන ලකුණු පහළ වූ තීරණාත්මක අවස්ථාව කරු ජයසූරිය මහතා මෙහිදී පැහැදිලි කළේය.

“ජාතියේ සැබෑ නිදහස සහ විමුක්තිය ප්‍රාර්ථනා කළ අපට, ඒ තීරණාත්මක මොහොතේ එවකට ජනාධිපතිවරයා විසින් කළ ආරාධනය කිසිසේත්ම මඟහැරිය නොහැකි විය. මව්බිම වෙනුවෙන් උපදින ජයග්‍රහණයේ මහා පවුරට කුඩා හෝ වැලි කැටයක ශක්තියක් වන්නට පටු පක්ෂ දේශපාලන වාසි, තාන්න මාන්න අප පසෙක තැබුවෙමු.”

එදා ආණ්ඩුව සමඟ එක්ව රට වෙනුවෙන් පැවති යුතුකම ඉටුකර, කාර්යය නිම වූ පසු නැවතත් නිහඬව ඉන් ඉවත් වූ බව පවසන කරු ජයසූරිය මහතා, “එදා මම මගේ මව්බිම වෙනුවෙන් යුතුකම ඉටු කළෙමි” යන සිතිවිල්ල තම හෘදය සාක්ෂියට සදාකාලික සහනයක් බව ද සඳහන් කළේය.

රණවිරුවන් සටන් කළේ ජන සංහාරයකට නොවේ

අපේ රණවිරුවන් යුද වැදුණේ කවර හෝ ජාතියක් විනාශ කරන්නට හෝ ජන සංහාරයන් සිදු කරන්නට නොවන බව කරු ජයසූරිය මහතා තරයේ කියා සිටියි. ඔවුන් සටන් කළේ දිනෙන් දින බලවත් වූ මිලේච්ඡ ත්‍රස්තවාදය මේ පොළොවෙන් මුලිනුපුටා දමා, අනාගත දරු පරපුරට සැබෑ නිදහසේ හුස්ම ගන්නා සුන්දර මව්බිමක් දායාද කිරීමට බව ඔහු අවධාරණය කළේය.

මානුෂීය දෑසින් සියල්ලන් දෙස බැලීමේ අවශ්‍යතාව

නිවේදනය අවසන් කරමින් කරු ජයසූරිය මහතා කියා සිටියේ, මව්බිම වෙනුවෙන් සටන් වැදී මියගිය සහ ආබාධිත වූ වීරෝදාර රණවිරුවන් මෙන්ම, කිසිදු වරදක් නැතිව ත්‍රස්ත ප්‍රහාර හමුවේ දිවි අහිමි කරගත් සිංහල, දෙමළ සහ මුස්ලිම් සිවිල් වැසියන්ද එකලෙස සිහිපත් කළ යුතු බවයි.

එපමණක් නොව, විවිධ පෙළඹවීම්, බලකිරීම් හෝ වැරදි මඟපෙන්වීම් මත අවි අතට ගෙන යුද වැදී මියගිය අසරණ දරුවන් සහ තරුණයන් දෙස ද මානුෂීය දෑසින් බලමින් ඔවුන්ව ද සිහිපත් කළ යුතු බව පවසන ඒ මහතා, සමස්ත ලාංකිකයන්ටම සාමය අත්වේවායි ප්‍රාර්ථනා කර සිටියි.

Latest Posts

spot_imgspot_img