Latest Posts

කාන්තා නිලධාරිනියන්ගේ වෘත්තීය නිපුණතාව අවතක්සේරු කරන්න එපා! ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් දැඩි විරෝධයක්

විධායක සහ ප්‍රාදේශීය පරිපාලන ක්ෂේත්‍රයේ නිරත කාන්තා නිලධාරිනියන්ගේ වෘත්තීය නිපුණතාව සහ හැකියාවන් අවතක්සේරු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විවිධ ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය දැඩි අවධානය යොමු කරමින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සංගමයේ සභාපති පද්ම ශ්‍රී රෝහණ ද සිල්වාගේ සහ ලේකම් නෙරංජලා ජයවීරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම මාධ්‍ය නිවේදනය මඟින් අදාළ පදනම් විරහිත ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු සහභාගී වූ යුටියුබ් සාකච්ඡාවකදී, “කාන්තාවන් ප්‍රාදේශීය පරිපාලනය සඳහා සුදුසු නොවන” බවට දක්වන ලද අදහස් කෙරෙහි සංගමයේ දැඩි අවධානය යොමුව තිබේ. වෘත්තීය මට්ටමේ සහ විධායක මට්ටමේ රාජකාරිවල නිරත සමස්ත කාන්තා පාර්ශවයම අපහසුතාවයට හා නිග්‍රහයට පත්වන අයුරින් සිදුකර ඇති මෙම ප්‍රකාශයන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කරයි.

ලංකාවේ උසස් අධ්‍යාපන, වෘත්තීය මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයන්හි ප්‍රගමනය උදෙසා කාන්තාවන් ලබාදෙන දායකත්වය සමස්ත දේශීය නිෂ්පාදනයෙන් සහ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගවලින් මැනවින් සනාථ වී ඇති බව එම සංවේදනයෙන් පෙන්වා දෙයි.

එලෙසම, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රාදේශීය ලේකම් තනතුරු ඇතුළු ඉහළම විධායක මට්ටම නියෝජනය කරන කාන්තා නිලධාරිනියන්, අතිශය සංකීර්ණ වූ ප්‍රාදේශීය පරිපාලන රාජකාරි සහ මහජන සේවාවන් ඉතාමත් කාර්යක්ෂමව, අපක්ෂපාතීව සහ ගුණාත්මකව ඉටුකරන බව ප්‍රායෝගිකව මැනවින් සනාථ කර ඇතැයි ද ඉහත නිවේදනයේ සඳහන් වේ.

කාන්තා නිලධාරිනියන් සතු වෘත්තීය නායකත්වය, පරිපාලනමය කාර්යක්ෂමතාවය සහ ආයතනික කළමනාකරණ හැකියාව අවතක්සේරුවට හා හාස්‍යයට ලක් කරමින්, සමාජය නොමඟ යවනසුලු මෙවැනි විවේචන ඉදිරිපත් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක වෘත්තීය ආචාරධර්ම වලට කිසිසේත්ම අනුකූල නොවන බව ද සංගමය පවසයි.

සමාජ මාධ්‍ය අවකාශ භාවිතා කිරීමේදී වඩාත් වගකීම් සහගතව සහ අන්‍යෝන්‍ය ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, මෙරට ප්‍රගතිය උදෙසා සුවිශේෂ කාර්යභාර්යයක් ඉටුකරන කාන්තා වෘත්තිකයන්ගේ අභිමානය සුරැකීමට කටයුතු කරන ලෙස ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Latest Posts

spot_imgspot_img