Latest Posts

කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය: අරවින්ද ද සිල්වා සහ බිරිඳ අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණයට අදාළ මරණ පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවැත්විණි. එහිදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජයනායක ඇතුළු පාර්ශව කිහිපයක් සාක්ෂි ලබා දී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් ඒ.ඩී.එස්. සම්පත් විසින් සාක්ෂි මෙහෙයවීම සිදු කර ඇත.

අරවින්ද ද සිල්වාගේ බිරිඳ ප්‍රියංගි අනුෂ්කා විජයනායකගේ සාක්ෂිය

කපිල චන්ද්‍රසේන තම නැගණියගේ ස්වාමිපුරුෂයා බවත්, ඔහු වසරකට කීප වතාවක් පමණක් තම නිවසට පැමිණෙන අයකු බවත් ඇය ප්‍රකාශ කළාය. ඇය සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විමර්ශනයකට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි චන්ද්‍රසේන, 2026 මැයි 6 වනදා පමණ ඇප ලබා තනිවම තම නිවසට පැමිණි බවයි.

සිද්ධිය වූ දින රාත්‍රිය

මැයි 7 වන බ්‍රහස්පතින්දා සවස ඔහු නැවත තම නිවසට පැමිණ වාහනයේ යතුර ලබා දී එය රියදුරෙකු ලවා නිවසට ගෙනැවිත් දමන ලෙස ඉල්ලා තිබේ.

අරවින්ද ද සිල්වා සමඟ නීතිඥවරයකු හමුවීමට ගොස් රාත්‍රී 10:00ට පමණ ඔවුන් නැවත නිවසට පැමිණ ඇත.

චන්ද්‍රසේන මහතා එදින රාත්‍රී ආහාරය ලබා නොගත් අතර, ඔහු දැඩි මානසික පීඩනයකින් පසුවූ බව සාක්ෂිකාරිය පැවසුවාය.

පසුදින උදෑසන 7:00 ට පමණ නීතිඥවරයා නිවසට පැමිණි අවස්ථාවේ කපිල චන්ද්‍රසේන සිටි කාමරයේ දොරට තට්ටු කළද ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් වෙනත් යතුරක් මගින් දොර විවෘත කළ බව ඇය පැවසුවාය. එහිදී ඔහු සිහිසුන්ව සිටිනු දැක රෝහල් බලධාරීන් සහ වෛද්‍යවරුන් කැඳවා තිබේ.

“අද උදේ උසාවි යන්න තිබුණු නිසා ඔහු සිටියේ සතුටින් නෙවෙයි. එක්කෝ ඔහු ලෙඩ වෙලා නැත්නම් මැරිලා කියලා මට හිතුණා,”

අරවින්ද ද සිල්වාගේ සාක්ෂිය

හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබා ගැනීම සඳහා තමා පුද්ගලිකව මැදිහත් වූ බවයි.

මුදල් ඇප තැබීම සඳහා තම කාර්යාල සේවකයකු සහ රියදුරෙකු සම්බන්ධ කරගත් බවත්, මැයි 6 වනදා ඇප ලැබීමෙන් පසු චන්ද්‍රසේන තම නිවසේ නවාතැන් ගත් බවත් ඔහු පැවසීය.

මැයි 7 වනදා චන්ද්‍රසේනට නැවත අධිකරණ ගැටලුවක් මතු වූ බැවින් ඔහු දැඩි ලෙස කලබලයට පත්ව සිට ඇත.

“මම එළියට ඇවිත් දවසයි, ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා”

යනුවෙන් කපිල චන්ද්‍රසේන පැවසූ බව අරවින්ද ද සිල්වාගේ සාක්ෂියේ සඳහන්ය.

තම සේවිකාවකට කතා කර නිවසේ සිට ඇඳුම්, බෙහෙත් සහ ‘ජිම් මැට්’ එකක් එවන ලෙස ඔහු ඉල්ලා ඇත. ජිම් මැට් එකක් කුමකටදැයි අරවින්ද ද සිල්වා විමසූ විට, “ඇඳුම් එල්ලන්න” යනුවෙන් ඔහු අමුතු පිළිතුරක් ලබා දී තිබේ. එමෙන්ම සරම යට යමක් ඇති බවට ඔහු සේවිකාවට උපදෙස් දෙනු තමාට ඇසුණු බවද අරවින්ද ද සිල්වා පැවසීය.

පසුදින උදෑසන දොර විවෘත කළ අවස්ථාවේ “යමක් එල්ලී තිබෙනු” දුටු බවත්, වෛද්‍යවරුන් පැමිණ ඔහු මියගොස් ඇති බව තහවුරු කළ බවත් සාක්ෂිකරු අධිකරණයට දැන්වීය.

මෙම සාක්ෂි විමසීමෙන් පසු සිද්ධියට අදාළව තවත් සාක්ෂිකරුවන් පස් දෙනෙකුගෙන් සාක්ෂි විමසීම සඳහා නඩුව ලබන 14 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Latest Posts

spot_imgspot_img