Latest Posts

නක්බා සැමරුම් දිනයේදීත් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර, සටන් විරාමය අතරතුර පලස්තීනුවන් 850ක් ජිවිතක්ෂයට

පලස්තීන වැසියන් සිය නිවාසවලින් නෙරපා හැරීමේ 78 වන ‘නක්බා දින’ (Nakba Day) සැමරුම යෙදී තිබූ ඊයේ (15) දිනයේදී, ඊශ්‍රායල හමුදාව ගාසා නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාර දෙකකින් කාන්තාවන් තිදෙනෙකු සහ එක් දරුවෙකු ඇතුළු පලස්තීනුවන් අවම වශයෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාසා නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට සහ සිවිල් වාහනයකට එල්ල වූ මෙම ප්‍රහාරවලින් තවත් පලස්තීනුවන් 45 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වෛද්‍ය ආරංචි මාර්ග තහවුරු කරයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායෙල් කට්ස් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ඔක්තෝබර් 7 ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු වන හමාස් සන්නද්ධ අංශයේ ගාසා ප්‍රධානී ඉස් අල්-දින් අල්-හඩාඩ් (Izz al-Din al-Haddad) ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් අල්-හඩාඩ් මියගියේද යන්න පිළිබඳව ඊශ්‍රායල පාර්ශවය නිශ්චිතව ප්‍රකාශ කර නොමැති අතර, හමාස් සංවිධානය ද මේ දක්වා ඒ පිළිබඳව කිසිදු අදහස් දැක්වීමක් කර නොමැත.

සිවිල් වැසියන්ට දැඩි බලපෑම්

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, බටහිර ගාසා නගරයේ රිමාල් ප්‍රදේශයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයෙන් සිව් දෙනෙකු සහ සිවිල් වාහනයකට එල්ල වූ ප්‍රහාරයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රදේශවාසීන්ගේ ප්‍රකාශවලට අනුව, අවම වශයෙන් මිසයිල හතරක් මෙම නේවාසික ගොඩනැගිල්ලට පතිත වී ඇති අතර ඉන් අනතුරුව එහි මහා ගින්නක් හටගෙන තිබේ.

ගාසා හි සිවිල් ආරක්ෂක ප්‍රකාශක මහමුද් බාසල් (Mahmoud Basel) රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටියේ, ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී එම ගොඩනැගිල්ල තුළ සිය ගණනක් ජනයා ජීවත් වෙමින් සිටි බවයි.

“කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් හෝ දැනුම්දීමකින් තොරව මෙම මිසයිල ප්‍රහාරය එල්ල වුණා. මෙතැන විශාල පිරිසක් මියගොස් සහ තුවාල ලබා තිබෙනවා, ඒ අතර පවුල් පිටින් සිටිනවා,”

යැයි ඔහු පැවසීය.

නිරන්තර ඊශ්‍රායල මිලිටරි මෙහෙයුම් හේතුවෙන් නැගෙනහිර ගාසා තීරයේ සිට අවතැන් වූ විශාල පිරිසක් රැකවරණය පතා මෙම බටහිර ගාසා ප්‍රදේශයට පැමිණ සිටීම නිසා ප්‍රහාරය එල්ල වූ කලාපය අධික ජනගහනයකින් යුක්ත වූ බව මාධ්‍යවේදීන් වාර්තා කරයි. ප්‍රහාරයත් සමඟ ප්‍රදේශයේ වැසියන් දැඩි භීතියට පත්ව ආරක්ෂිත ස්ථාන කරා පලා ගොස් ඇත.

නිශ්ඵල වූ සටන් විරාමය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී ගාසා තීරය සඳහා “සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කෙරුණද, බිම් මට්ටමේ ගැටුම් සහ ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතී. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, එම සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 850 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

“මෙම සටන් විරාමය සහනයක් ගෙනෙනු ඇතැයි අපේක්ෂා කළද, එය තවදුරටත් මරණය සහ ඛේදවාචකය මිස අන් කිසිවක් උදාකර නොමැත.”

Latest Posts

spot_imgspot_img