Thursday, January 15, 2026
spot_img

Latest Posts

විගණකාධිපති පත්කිරීමේ ඓතිහාසික පූර්වාදර්ශ සහ “සියත” ටෙලි වැකියේ අඩුවැඩිය: හරිදේශය විශේෂ විමසුම

2026 ජනවාරි 14 | විශේෂ වාර්තාකරු

පසුගිය ජනවාරි 13 වන දින සියත පුවත් සේවයේ “ටෙලි වැකිය” මගින් විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු කෙරෙහි මේ වන විට ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් අවධාරණය කෙරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියාම එම ධුරයට පත් කළ යුතු බවට ව්‍යවස්ථාපිත බාධාවක් නොමැති බවත්, බාහිරින් අයෙකු පත් කිරීමට නීතිමය බාධාවක් නොමැති බවත්ය.

නමුදු, නීතියේ “අකුර” පමණක් අල්ලාගෙන කරනු ලබන මෙවැනි ප්‍රකාශ හරහා මෙරට රාජ්‍ය විගණන ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය සුරැකීමට අතීතයේ පවත්වාගෙන ආ “යහපත් සම්ප්‍රදායන්” සහ “පූර්වාදර්ශයන්” යටපත් වී ඇති බව පෙනී යයි. අතීතයේ අවස්ථා 03කදී බාහිරින් විගණකාධිපතිවරුන් පත් කිරීමට බලපෑ සැබෑ තාක්ෂණික හේතු පිළිබඳව කරුණු විමසා බැලීම මෙහිදී අතිශය වැදගත් වේ.

බාහිරින් පත්කිරීම් සිදු වූයේ ඇයි? – ඉතිහාසය නිවැරදිව කියවීම

සියත ටෙලි වැකිය මගින් මතු නොකළ, බාහිරින් විගණකාධිපතිවරුන් පත් කිරීමට හේතු වූ සැබෑ පසුබිම මෙසේය:

1. පී. ඒ. ප්‍රේමතිලක මහතාගේ පත්කිරීම (2006 – 2007): එවකට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ හේමරත්න මහතාට විගණකාධිපති ධුරය දැරීම සඳහා අත්‍යවශ්‍ය වන වරළත් ගණකාධිකාරී (Chartered Accountant) සුදුසුකම නොතිබුණි. එම තත්ත්වය මත, කලින් දෙපාර්තමේන්තුවේම සේවය කර පසුව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ලෙස සිටි ප්‍රේමතිලක මහතාව පත් කිරීමට සිදු විය.

2. වයස් සීමාව සහ සුදුසුකම් අතර ගැටලුව (2008-2010 සහ 2016-2019): මෙම කාලපරිච්ඡේදයන්හිදී බාහිරින් එස්. ස්වර්ණජෝති මහතා සහ ගාමිණී විජේසිංහ මහතා පත් කරන ලදී. ඒ වන විට දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වූ එච්. ඒ. එස්. සමරවීර සහ ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න යන මහත්වරුන් වරළත් ගණකාධිකාරී සුදුසුකම සපුරා තිබුණද, එවකට පැවති සම්ප්‍රදායන්ට අනුව ඔවුන්ගේ වයස අවුරුදු 50 සම්පූර්ණ වී නොතිබීම බාහිරින් පත්කිරීම් කිරීමට හේතු විය.

සම්ප්‍රදායට ගරු කිරීම සහ ජ්‍යෙෂ්ඨත්වය අගය කිරීම

ඉහත කී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් (සමරවීර මහතා සහ වික්‍රමරත්න මහතා) අවශ්‍ය සුදුසුකම් සපුරාලූ සැනින්, එවකට පැවති රජයන් විසින් ඔවුන්ව පිළිවෙලින් 2011-2016 සහ 2019-2025 දක්වා විගණකාධිපතිවරුන් ලෙස පත් කිරීමට කටයුතු කරන ලදී. මෙයින් ගම්‍ය වන්නේ:

  • රජයයන් විසින් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ජ්‍යෙෂ්ඨත්වය සහ වෘත්තීය නිපුණතාවය සැමවිටම අගය කළ බවයි.
  • බාහිරින් පත්කිරීම් සිදු කළේ අභ්‍යන්තරයේ සුදුස්සෙකු නොමැති අවස්ථාවලදී පමණක් බවයි.
  • රාජ්‍ය විගණනයේ ස්වාධීනත්වය සහ සදාචාරය ආරක්ෂා කිරීමට එමගින් “යහපාලන පූර්වාදර්ශයක්” සැපයූ බවයි.

වර්තමානයට ඇති බලපෑම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතවම “ජ්‍යෙෂ්ඨයා පත් කළ යුතුමයි” කියා සඳහන් නොවීම, බාහිර පුද්ගලයන් පත් කිරීමට ඇති බලපත්‍රයක් නොවේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය මූල්‍ය විනය රකින ආයතනයක අභිමානය රැඳී පවතින්නේ එහි වෘත්තීයවේදීන්ට ලබා දෙන පිළිගැනීම මතය.

වර්තමානය වන විට මෙම ඓතිහාසික පූර්වාදර්ශයන් සහ සම්ප්‍රදායන් නොසලකා හරිමින් කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී තිබේ නම්, එය රටේ යහපාලන ක්‍රියාවලියට මෙන්ම රාජ්‍ය සේවයේ විශ්වාසනීයත්වයට එල්ල වන බලවත් පහරකි. ව්‍යවස්ථාවේ “හිඩැස්” සොයනවා වෙනුවට, ස්ථාපිත යහපත් සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම ජාතික වගකීමකි.


[සියත පුවත් සාරාංශය – ඇසුරිනි]

Latest Posts

spot_imgspot_img