2026 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත හරහා රජය ශ්‍රී ලංකාවේ බදු නීතිය මර්දනකාරී මෙවලමක් බවට පත් කිරීමට උත්සාහ කරන බවට “දිනන දකුණ සාමූහිකය” චෝදනා කරයි. පසුගිය පෙබරවාරි 24 වනදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් හඳුන්වා දී ඇති මෙම සංශෝධන, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බිඳ දමන දණ්ඩනීය යාන්ත්‍රණයක් බව එම සංවිධානය අවධාරණය කරයි.
2026 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් බදු අයකර ගැනීමේ සිට දඩයම් කිරීම දක්වා
මෙතෙක් පැවති බදු පද්ධතිය තුළ යම් බදු පැහැර හැරීමකදී රජය ක්‍රියා කළේ අදාළ බදු මුදල සහ දඩ මුදල් අය කරගැනීමේ ප්‍රතිපූරණ ආකෘතියකට අනුවය. එසේම, වංචා කිරීමේ චේතනාව ඔප්පු කිරීමේ වගකීම රජය සතු විය. නමුත් නව සංශෝධන යටතේ සුවිශේෂී වෙනස්කම් දෙකක් සිදුවන බව දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙයි.
එම සාමුහිකය පෙන්වා දෙන්නේ සංශෝධිත පනත මගින් ලියාපදිංචි වීමේ ප්‍රමාදයක් හෝ වාර්තා ඉදිරිපත් කිරීමේ තාක්ෂණික දෝෂය වැනි සුළු කරුණක් වුවද “සාපරාධී වරදක්” ලෙස සලකනු ලබන බවත් මෙහිදී වංචා කිරීමේ චේතනාවක් තිබුණේද නැද්ද යන්න අදාළ නොවන බවයි.
විධිමත් අධිකරණ පරීක්ෂාවන් සීමා කරමින්, බදු නිලධාරියෙකු ලබාදෙන සහතිකයකට අතිවිශාල නීතිමය බලයක් ලබා දී තිබෙන අතර මෙය බලතල බෙදීමේ මූලධර්මයට පටහැනි සහ විනිසුරුවරයාගේ භූමිකාව හෑල්ලු කරන්නක් ලෙස ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
‘දිනන දකුණ සාමූහිකය’ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
දේශීය බදු ගෙවන්නන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම
මෙම පනත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13 වගන්ති යටතේ සහතික කර ඇති සමානතාවයේ සහ අත්තනෝමතික දඬුවම්වලින් නිදහස් වීමේ අයිතිය බරපතල ලෙස අභියෝගයට ලක්වන බව දිනන දකුණ සාමූහිකය පවසයි.
විශේෂයෙන්ම, රජයට අවශ්‍ය පුද්ගලයින් පමණක් තෝරාගෙන දඩයම් කිරීමේ අවස්ථාව මෙමගින් උදාවිය හැකි බවත්, එය දේශපාලන පලිගැනීම් සඳහා මර්දනකාරී ආයුධයක් ලෙස භාවිතා කළ හැකි බවත් ඔවුහු පෙන්වා දෙති. රජයේ ආදායමට සතයක හෝ පාඩුවක් සිදු නොවූ තාක්ෂණික ප්‍රමාදයකට පුරවැසියෙකු සිරගත කිරීම “අසමානුපාතික” පියවරක් බව ඔවුන්ගේ මතයයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉලක්ක සපුරා ගැනීම සහ බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රජය මෙම පියවර සාධාරණීකරණය කළද, ඉහළ මට්ටමේ ගණකාධිකාරී සහාය ලබාගත නොහැකි කුඩා ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය පුරවැසියන් මෙම “තාක්ෂණික උගුලේ” සිරවනු ඇති බවට නිවේදනය මගින් අනතුරු අඟවා ඇත.
“නීතිමය ක්‍රියාවලියම දඬුවමක් බවට පත් වූ විට, නීතිය තවදුරටත් යුක්තිය පසිඳලීමක් නොවේ. එය හුදු බලහත්කාරය පෑමේ මෙවලමක් පමණි,”
යනුවෙන් දිනන දකුණ සාමූහිකය පවසයි.
වර්තමාන රජය මෙය පලිගැනීමක් ලෙස භාවිතා නොකරන බව පැවසුවද, අනාගතයේදී බලයට පත්වන ඕනෑම ඒකාධිපති පාලනයකට සිවිල් සමාජය මර්දනය කිරීමට මෙම නීතිය මග පාදන බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි. එබැවින්, වහාම මෙම මතභේදාත්මක වගන්ති සංශෝධනය කර පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස “දිනන දකුණ සාමූහිකයේ” නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව රජයෙන් ඉල්ලා සිටී.



