කළුතර ක්‍රීඩාංගණයේ කැන්ටිම කඩා රුපියල් 40,000ක ටොෆි, චොකලට් සහ ලොලිපොප් සොරකම් කිරීමේ ‘මහා පරිමාණ අපරාධයට’ සම්බන්ධ 13, 14 සහ 15 වයස්වල පසුවන දැරියන් තිදෙනෙකු මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ. ළමා නිවාසයකින් අලුයම පැනවිත් මෙම සොරකම කළ ඔවුන් දැන් නීතිය ඉදිරියට පමුණුවා ඇත. නමුත් මේ ප්‍රවෘත්තිය පිටුපස ඇති සැබෑ ඛේදවාචකය සමාජයේ ඇස්වලට නොපෙනෙන්නේ ඇයි?

ළමා නිවාසවල සැඟවුණු කුසගින්න
වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ළමා නිවාසවලට ලැබෙන දානමාන සහ ආධාර බොහෝ සෙයින් අඩුවී ඇත. මේවායේ ජීවත් වන්නේ දෙමාපිය සෙනෙහස අහිමි, කුසගින්නට නිසි පිළියමක් පවා නොමැති අසරණ දරුවන්ය. කුඩා දරුවන් ලෙස ඔවුන්ගේ ලෝකය තුළ ටොෆියක් හෝ චොකලට් එකක් යනු පහසුවෙන් ලැබෙන දෙයක් නොවේ. කුසගින්නට හෝ ළමා ආශාවන්ට සාධාරණ පිළියම් නැති තැන, ඔවුන් මෙවැනි ක්‍රියාවකට පෙළඹීම පුදුමයට කරුණක්ද?
නීතිය, දෙබිඩි පිළිවෙත සහ පාලකයන්ගේ බොරු පොරොන්දු
අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන අපූරු රටාවක් ඇත. දරුවෙකුගේ කුසගින්න නිවන්නට පාන් ගෙඩියක් හෝ කිරි පැකට්ටුවක් සොරකම් කළහොත් ඔවුන්ට වසර ගණනාවක සිරදඬුවම් හිමිවේ. නමුත් රටේ මහජන මුදල් බිලියන ගණනින් කොල්ලකෑ ‘කෙරුමන්’ කිසිදු බියකින් තොරව නිදැල්ලේ හැසිරේ; නැතහොත් ඉතා පහසුවෙන් ඇප මත නිදහස් වේ.
පවතින මෙම විෂම චක්‍රය කණපිට හරවන බවට පාරම්බාමින් බලයට පැමිණි වත්මන් රජයද ගමන් කරන්නේ ඒ පැරණි පාරේමය. දුප්පතාට සහ අසරණයාට පමණක් නීතියේ සම්පූර්ණ බර යෙදෙන, ධනවතාට නීතිය නැමෙන ක්‍රමය තවමත් වෙනස් වී නොමැත.
මේ “මහා අපරාධකරුවන්ට” දිය යුතු දඬුවම
මේ අන්දමට ටොෆි සහ චොකලට් සොරකම් කර රටේ ආර්ථිකය අගාධයට ඇද දැමූ මේ දැරියන් තිදෙනා ජීවිතාන්තය දක්වාම සිපිරිගෙට යැවිය යුතුය! මන්ද, බිලියන ගණන් වංචා කළවුන්ට වඩා මොවුන් මේ සමාජයට “විශාල තර්ජනයක්” වන බැවිනි. මේ වන විටත් අපේ වීරෝදාර පොලිස් මාමලා මේ කුඩා දරුවන්ට සිය රළු ස්වරයෙන් තරවටු කරමින්, නීතියේ ආධිපත්‍යය මැනවින් කියාදෙනවා ඇතිවාට සැක නැත.
උපුටාගැනීම – Ladyleader fb page



