Latest Posts

අවදිවීමේ ඇමතුම (Wake Up Call)

[අද්මිරාල්ගෙන්…]

රුපියල බහිනවා! හැමෝම බනින්නේ රුපියලට.
මේක හරියට… උණ හැදුණාම තර්මෝමීටරයට බනිනවා වගේ වැඩක්!
ඇත්තම ලෙඩේ තියෙන්නේ ඇතුළේ. ලෙඩේ රෝගියාව මරන්න කිට්ටුයි. ඒ ලෙඩේ තමයි…
මේ රටේ හැම අස්සක් මුල්ලකම තියෙන “නායකත්වයේ සර්වසම්පූර්ණ හිස්බව!”

කතා කිරීමට නොබෙල් තෑග්ගක් තිබුණා නම්, අපේ රටේ නායකයෝ හැම අවුරුද්දකම ඒකේ ‘කණ්ඩායම් කුසලානය’ දිනනවා. කිසිම තරඟයක් නැතුව! සතයක වැඩක් නැති හිස් වචන මෙච්චර දඟලලා, මෙච්චර බලයකින් කියන්න පුළුවන් මිනිස්සු ලෝකේ වෙන කොහේවත් නැතුව ඇති.

රටම අගාධයට පෙරළෙද්දී, දේශපාලකයෝ විසඳුම් ගැන ‘ටෝක්ස්’ දෙනවා. උන් ඇත්තටම හිතන් ඉන්නේ ප්‍රශ්න ගැන කතා කරන එකයි, ප්‍රශ්න විසඳන එකයි දෙකම එකයි කියලා! එළියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පණ අදිද්දී, මුන් ඒසී කාමර අස්සේ ඉඳන් සුහද සාකච්ඡා පවත්වනවා. උන්ට එළියේ රස්නය දැනෙන්නේ නැහැ.

අපේ පාර්ලිමේන්තුව දැන් අමුතුම සර්කස් එකක්! රටේ බරපතළම ප්‍රශ්න විසඳන්න ඕන තැන, දැන් නළු නිළියන්ගේ රංග පීඨයක් වෙලා. MBBS උපාධියක් තියෙන කථානායකතුමාට, එතුමාවත් පාලනය නැහැ… ආයතනය පාලනය කරන්නෙත් නැහැ. මුළු ව්‍යවස්ථාදායක ක්‍රියාවලියම නාට්‍යයක්! හැමෝම රඟපාන්නේ කැමරාවලට. ඇත්ත මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න දිහා බලන්න පාර්ලිමේන්තුවක් තියෙනවා කියලා මුන්ට මතක් වෙන්නේ කලාතුරකින්.

පහුගිය සති දහයට ඕක ඇතුළෙන් ආපු එක.., එක විසඳුමක් කියන්න බලන්න?
මිනිස්සු ඊළඟ මාසේ ලයිට් බිල ගෙවන්නේ කොහොමද, ලබන සතියේ හාල් කිලෝ එක ගන්නේ කොහොමද, හෙට බෙහෙත් ටික ගන්නේ කොහොමද කියලා හුස්ම හිරවෙලා ඉන්නවා. හැබැයි පාර්ලිමේන්තුවේ උත්තරේ මොකක්ද? කතා! දිගු කතා!!
අනුකම්පාව ගැන කතා…
කැපවීම ගැන කතා…
රෑ පියන් නැතුව වැඩ කරනවා කියන කතා…
මේක හරියට මැරෙන්න වැටිලා ඉන්න ලෙඩෙකුට බෙහෙත් කරන්නේ නැතුව, දොස්තර ඇවිත් “අනේ මට ඔයා ගැන හරි දුකයි” කියලා අඬනවා වගේ වැඩක්!

අනිත් පැත්තෙන් කෝටිපතියෝ තවත් කෝටි ගණන් හම්බකරනවා. සාමාන්‍ය මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. මේ සල්ලි කාරයෝ ටීවී චැනල් ගාණේ ගිහින් ආර්ථික කළමනාකරණය ගැන උපදෙස් දෙනවා! කඩාවැටෙන ආර්ථිකයක් අස්සේ තමන්ගේ මඩි තර කරගන්න දන්න එක… රටක් මෙහෙයවන්න සුදුසුකමක් වෙන්නේ කොහොමද? ඒකෙන් ඔප්පු වෙන්නේ එකම එකයි. උන් දන්නවා මිනිස්සුන්ගේ දුක විකුණන් කන්න. ඒක ලාභදායී කලාවක්…
හැබැයි සවුත්තු නායකත්වයක්!

මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන්න ඕන ආගමික නායකයෝ, ඒ හිත්වලට වෛරයේ විෂ පොවනවා. දේශපාලන සූදුවල යෙදෙනවා. පන්සල, පල්ලිය, මුස්ලිම් පල්ලිය… මේ හැම එකක්ම දැන් දේශපාලන ප්‍රචාරක කාර්යාල වෙලා. අන්තිමේදී ආත්මීය සහනයක් හොයාගෙන යන්න තිබුණු තැනත් කුණු දේශපාලනයෙන් දූෂණය වෙලා. මිනිස්සුන්ට බලාපොරොත්තු තියාගන්න තැනක් නැහැ… තියෙන්නේ අන්ධකාරය විතරයි.

රාජ්‍ය නිලධාරීන් ඉන්නේ තද නින්දක! මහජන සේවකයෝ ආයෙ කවදා ඇහැරෙයිද දන්නේ නැහැ. විසඳුම් ක්‍රියාත්මක කරන්න දැනුම, අත්දැකීම්, බලය තියෙන්නේ මුන්ට. හැබැයි මුන් දැන් විශේෂඥයෝ වෙලා ඉන්නේ මොකටද දන්නවද?
“මේ වැඩේ කරන්න බැරි ඇයි” කියලා පැහැදිලි කරන්න!
ඇයි මේක අසාර්ථක වෙන්නේ…
ඇයි සිස්ටම් එක වෙනස් කරන්න බැරි…
ඔන්න ඔය නිදහසට කරුණු කීමේ ‘විශේෂඥ දැනුම’ නිසාම රට සදාකාලිකවම අසාර්ථකත්වයේ හිරවෙලා තියෙනවා.

හැම ක්ෂේත්‍රයකටම නායකයෝ ඉන්නවා. හැම නායකයෙකුටම ලස්සන නිදහසට කරුණු තියෙනවා. මුන්ගේ නිදහසට කරුණු අහන් ඉන්නකොට හරිම සාධාරණයි වගේ පේනවා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. බලය තියෙන එකෙක්වත් ඇත්තටම උත්සාහ කරන්නේ නැති නිසා, මිනිස්සු ප්‍රශ්න සාගරයක ගිලිලා මැරෙනවා.

මේ රටට තවත් ‘කටවල්’ වැඩක් නැහැ. ස්ටේඩියම් පුරවන්න තරම් කථිකයෝ අපිට ඉන්නවා. රටට දැන් ඕනේ… බලයේ ඉන්න, කතාව නතර කරලා, ඇත්තටම දුක් විඳින මිනිහෙකුට පොඩි හරි සහනයක් වෙන්න ‘වැඩක්’ කරන්න පුළුවන් එකෙක්ව විතරයි!

දැන්වත් ඇහැරෙන්න!

මේක… නායකත්වය ගැන ප්‍රශ්නයක්. නැත්නම්, නායකත්වයේ සර්වසම්පූර්ණ හිස්බව ගැන ප්‍රශ්නයක්. බලයේ ඉන්න උන්ට අමතක වෙලා බලය එක්ක වගකීමක් එනවා කියලා. වගකීම කියන්නේ කයිය ගැසීම නෙවෙයි… කාර්යය කිරීම! රට කෑලිවලට කැඩෙනවා. මිලියන ගණනක් දුක් විඳිනවා. හැබැයි හැමෝම බලාගෙන ඉන්නවා නායකත්වය කියන්නේ ටීවී එකේ රඟපාන එක නෙවෙයි, ඇත්තටම පෙරමුණ ගන්න එක කියලා මුන්ට මතක් වෙනකල්.

නැව පදවන්න කවුරුත් නැති නිසා රුපියල වැටෙනවා!
පාලනය කරනවාට වඩා ලේසි නිසා පාර්ලිමේන්තුව කතා කරනවා!
කරුණාවට වඩා පෙරේතකමට තැන දෙන සිස්ටම් එකක් නිසා කෝටිපතියෝ හම්බකරනවා!
එකමුතු වෙන්න මහන්සි වෙන්න ඕන නිසා, ආගමික නායකයෝ මිනිස්සුන්ව කොටවනවා!
වගකීම් ගන්න බය නිසා රාජ්‍ය නිලධාරීන් නිදාගන්නවා!

මෙන්න මේකයි අපේ නායකත්වයේ අර්බුදය.
වැඩක් නැති කතාව. ප්‍රතිඵලයක් නැති රඟපෑම. ඉටු නොකරන පොරොන්දු. විසඳුමක් නැති විස්තර කිරීම්.
මේ අස්සේ… රටම ගිනි ගන්නවා. බලයේ ඉන්න උන් ටික ගින්න වටවෙලා, ගින්න දිහා බලලා “අනේ කොච්චර කණගාටුදායකද” කියලා සාකච්ඡා කරනවා… වතුර බාල්දියක් අතට ගන්නේ නැතුව!

දැන්වත් ඇහැරෙන්න!

ඇත්තටම රට මෙහෙයවන නායකත්වයක් ඉල්ලන්න!
දේශන වෙනුවට… ක්‍රියාව ඉල්ලන්න!
නිදහසට කරුණු වෙනුවට… විසඳුම් ඉල්ලන්න!
කවදාවත් නොඑන උදව්වක් වෙනුවෙන් මිනිස්සු හූල්ලනකල් බලන් ඉන්නේ නැතුව…
දැන්වත් වැඩක් කරන එකෙක්ව ඉල්ලන්න!

ඇහැරියල්ලා!

Latest Posts

spot_imgspot_img