Latest Posts

“CID අධ්‍යක්ෂ ශානිට මා සමඟ පෞද්ගලික වෛරයක්! ඒ අපායට යනවාට වඩා රෝහලේදී මිය යාමට කැමතියි” – හිටපු බුද්ධි ප්‍රධානී

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා හමුවීමට ඔහුගේ නීතිඥවරයාට අද (17) දිනයේදී අවස්ථාව හිමි විය. ඔහුට සිය නීතිඥවරුන් හමුවීමට අවස්ථාව ලැබී ඇත්තේ සතියේ බදාදා දිනයන්හිදී පමණි. අද දින පැවැති මෙම හමුවෙන් පසු නීතිඥවරයා විසින් පවුලේ ආරංචි මාර්ග වෙත ලබාදුන් තොරතුරු මත මෙම කරුණු අනාවරණය වී තිබේ.

මෙම හමුවේදී නීතිඥවරයා විසින් මෑතකාලීන වැදගත් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් සලේ මහතාව දැනුවත් කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර ඒ වෙනුවට නව නීති හඳුන්වා දීමට රජය ප්‍රකාශ කර ඇති ස්ථාවරය මෙන්ම, සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කර ඇති කරුණු කෙරෙහි සාධනීය අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීම පිළිබඳව ද මෙහිදී ඔහුට කරුණු වාර්තා කර තිබේ. ඊට අමතරව, මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) හමුවේ සිදුවන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් ද නීතිඥවරයා විසින් සලේ මහතාව දැනුවත් කර ඇත. සෙසු රැඳවියන් ඉදිරියේ සලේ මහතාගේ ඇඳුම් ඉවත් කර පරීක්ෂා කිරීම (Strip search) සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ස්ථානාධිපතිවරයා විසින් එහිදී කර ඇති පිළිගැනීම පිළිබඳව ද ඔහුට දැනුම් දී තිබේ. තවද, ඔහු විසින් දැනට පවත්වනු ලබන උපවාසය අත්හරින ලෙස ද නීතිඥවරයා සලේ මහතාගෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, අදාළ රැඳවුම් කුටිය “අපායක්” ලෙස හඳුන්වමින්, නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් කුටිය වෙත යාමට සලේ මහතාගේ කිසිදු කැමැත්තක් නොමැති බව නීතිඥවරයා විසින් පවුලේ ඥාතීන්ට දැනුම් දී ඇත. එහි කළමනාකාරීත්වය පිළිබඳව දැඩි කනස්සල්ලක් පළ කර ඇති ඔහු, කොන්ත්‍රාත් පදනමින් සේවය කරන දේශපාලනිකව පත් කරන ලද එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර තමන් සමඟ පෞද්ගලික වෛරයකින් පසුවන බවටත්, එබැවින් මෙම විමර්ශන කටයුතු භාරව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට පැහැදිලි ලැදියාවන් අතර ගැටුමක් (Conflict of Interest) පවතින බවටත් චෝදනා කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සිදුවීම්වලදී රාජකාරිය පැහැර හැරීමේ වරදට අදාළ පුද්ගලයා මීට පෙර වරදකරුවෙකු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර තිබියදීත් එය මේ දක්වා කිසිදු අභියෝගයකින් තොරව යටපත් වී පවතින බවත් සලේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය තමාට ඉතා සැලකිල්ලෙන් සහ වෘත්තීය මට්ටමින් ප්‍රතිකාර කරන බව සලේ මහතා පවසා තිබේ. තම සෞඛ්‍ය තත්ත්වය පිරිහී අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමට සිදුවුවහොත්, නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) රැඳවුම් භාරයට යනවාට වඩා ජාතික රෝහලේම රැඳී සිටීම තම කැමැත්ත බව ඔහු එහිදී තරයේ අවධාරණය කර ඇත.

Latest Posts

spot_imgspot_img