පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාව මත දින 65 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ නඩුව, මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ බරපතල නීතිමය සංවාදයකට මුලපුරා තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද පැවති නඩු විභාගයේදී විත්තියේ නීතිඥවරුන් විසින් හෙළිදරව් කරන ලද කරුණු හරහා, මෙම පැමිණිල්ලේ පදනම සහ විමර්ශනයේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නාර්ථ රැසක් මතුව තිබේ.

මෙම නඩුවේ පළමු ප්‍රශ්නාර්ථය මතුවන්නේ චෝදනාවට අදාළ මුදල් ප්‍රමාණය සම්බන්ධයෙනි. පැමිණිල්ලේ ආරම්භයේදී සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක අල්ලසක් ලබාගත් බවට සඳහන් වුවද, අල්ලස් කොමිසම විසින් 2026 සැප්තැම්බර් 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ පළමු ‘බී’ (B) වාර්තාවේ දැක්වෙන්නේ මිලියන 8.1 ක් හෙවත් රුපියල් ලක්ෂ 81 ක මුදලක් පිළිබඳවය. එම ලක්ෂ 81 ක මුදලින් ලක්ෂ 59 ක් එක් ආයතනයකින්ද, ඉතිරි ලක්ෂ 22 තවත් පුද්ගලික ආයතනයකින්ද සැකකරුගේ ගිණුමට බැර වී ඇති බව එහි සඳහන් වේ. ආරම්භක පැමිණිල්ලේ සඳහන් සමාගම් තුන සහ ලක්ෂ 84 ක මුදල, අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සමාගම් දෙකක් සහ ලක්ෂ 81 ක් බවට පත්වීමත්, මුල් වාර්තාව සහ ඉන් පසුව ඉදිරිපත් කළ වැඩිදුර වාර්තා පහ අතර පවතින කරුණු එකිනෙකට පරස්පර වීමත් විමර්ශනයේ පවතින බරපතල දුර්වලතාවක් බව ජනාධිපති නීතිඥ නලින් ලද්දුහෙට්ටි අද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
විමර්ශනයේ ඇති තීරණාත්මකම අඩුපාඩුව ලෙස නීති ක්ෂේත්රයේ අවධානයට ලක්ව ඇත්තේ, සිද්ධියට අදාළ සිව්වැනි සැකකරු ලෙස නම් කර සිටින දිනේෂ් පෙරේරා නමැත්තාගෙන් ලබාගත් ප්‍රකාශය වසන් කිරීම පිළිබඳ චෝදනාවයි. 2025 ජුනි 24 වැනිදා අල්ලස් කොමිසම විසින් දිනේෂ් පෙරේරාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබියදීත්, 2026 සැප්තැම්බර් 25 වැනිදා ඉදිරිපත් කළ පළමු බී වාර්තාවේ හෝ ඉන් පසුව ඉදිරිපත් කළ වැඩිදුර වාර්තා පහේම ඒ පිළිබඳ කිසිදු සඳහනක් නොකර සඟවා තබා ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇති බව විත්තිය පෙන්වා දෙයි. පසුව ඔහු විදෙස්ගතව ඇති බව පවසමින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් ලබාගැනීමට කොමිසම කටයුතු කිරීම, මුල් තොරතුරු අධිකරණයෙන් වසන් කිරීමක් බව ජනාධිපති නීතිඥවරයාගේ තර්කයයි.
එම සඟවන ලද බව කියන ප්‍රකාශයේ අන්තර්ගතය මෙම නඩුවේ සමස්ත ගමන්මග වෙනස් කිරීමට සමත් කරුණකි. වාර්තා වන පරිදි දිනේෂ් පෙරේරා සිය ප්රකාශයේදී සඳහන් කර ඇත්තේ, පොස්පේට් පොහොර ආනයනය කිරීම වෙනුවෙන් කිසිදු පාර්ශ්වයකට අල්ලස් මුදලක් ලබා නොදුන් බවයි. සිද්ධියට අදාළ තුන්වැනි සැකකරුට යම් මුදලක් ලබාදුන්නේ හුදෙක් “දේශපාලන කටයුතු සංවර්ධනය” වෙනුවෙන් පමණක් බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නිර්නාමික පැමිණිල්ලක් මත ගොඩනැගූ මෙම අල්ලස් චෝදනාව පදනම් විරහිත බවත්, මෙය නීති විරෝධී තුටු පඬුරක් නොව දේශපාලන ප්‍රවර්ධන කටයුත්තක් බවත් විත්තිය ගොඩනගන තර්කයට එම ප්‍රකාශය ඍජුවම රුකුල් දෙයි.
අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ (නීති) නිලධාරිනිය අද අධිකරණය හමුවේ කියා සිටියේ, 2025 ජුනි 24 වැනිදා දිනේෂ් පෙරේරාගෙන් ප්‍රකාශයක් ගන්නා අවස්ථාවේ විමර්ශනය ක්‍රියාත්මක වූයේ නිර්නාමික පැමිණිල්ලක් මත දූෂණ විරෝධී පනත යටතේ බවත්, පළමු සැකකරුගේ ගිණුමට ලක්ෂ 20 ක් බැර වී ඇති බව අනාවරණය වූයේ ඉන් පසුව බවත්ය. කෙසේ වෙතත්, විමර්ශනයක් සිදු කිරීමේදී මුලින් ලබාගත් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරන ‘බී’ වාර්තා හයකම සඳහන් නොවීම විමර්ශන ක්‍රියාවලියේ බරපතල අතපසුවීමක් හෝ හිතාමතා කළ වසන් කිරීමක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් මතු කරයි.
මීට අමතරව, මෙම නඩුවේදී අල්ලස් කොමිසම ක්‍රියාත්මක වූ ආකාරය සාමාන්‍ය පටිපාටියෙන් බැහැර වූවක් බවටද චෝදනා එල්ල වේ. සාමාන්‍යයෙන් අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම් සිදු කළද, මෙම සිද්ධියේදී නිලධාරීන් බදුල්ලටම ගොස් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සහ මෙවැනිම සමාන සිද්ධීන් දෙකකදී අධ්යක්ෂ ජනරාල්වරයාගේ සහතික නිකුත් නොකර ඇප ලබාදී තිබියදී, මෙම නඩුවට පමණක් දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය යටතේ සහතිකයක් නිකුත් කර ඇප වැළැක්වීමට කටයුතු කිරීම විශේෂ ඉලක්ක කිරීමක් බව විත්තිය පෙන්වා දෙයි.
නිර්නාමික පැමිණිල්ලකින් ආරම්භ වී, පරස්පර බී වාර්තා හරහා ඉදිරියට යන මෙම විමර්ශනයේ කරුණු වසන් කිරීම් හේතුවෙන් මහජන නියෝජිතයෙකු දින 65 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ විමර්ශන ආයතනවල වගවීම පිළිබඳ තියුණු ප්‍රශ්නයක් මතු කරයි. ලබන නොවැම්බර් 27 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සුවිශේෂී කරුණු මත පදනම්ව ලබාදෙන ඇප නියෝගය, මෙම විමර්ශනයේ ඉදිරි ගමන්මග තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත.
(මෙම ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ පාර්ශ්වයට යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමට අවශ්‍ය නම්, HariDeshaya.lk ඒ සඳහා සම්පූර්ණ ඉඩකඩ ලබාදීමට සූදානම්ය.)



