Latest Posts

බාල බෙහෙත් නඩුවේ මහමොලකරුවන් සිරිකොතින් මතුවේ..!

පැමිණිල්ල කළ දාම පලා ගිය ‘සැබෑ කොටස්කරුවන්‘ වසන් කළේ ඇයි?

බාල ප්‍රතිදේහ ඖෂධ (Immunoglobulin) නඩුවට අදාළව, මෙරට තුළ හොර රහසේ ව්‍යාජ දියර බෝතල් කළ බව කියන Isolez Biotech Pharma AG Limited සමාගමේ අභ්‍යන්තර ලේඛන පරීක්ෂා කිරීමේදී, සමස්ත විමර්ශනයම ප්‍රශ්න කරන අතිශය සැකකටයුතු තොරතුරු රැසක් අනාවරණය වේ. විශේෂයෙන්ම සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති වාර්ෂික වාර්තාවන්ට අනුව මෙම සමාගමේ කොටස්කරුවන්ගේ හැසිරීම සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) පරීක්ෂණ වාර්තා මගින් විමර්ශන නිලධාරීන් විසින් හිතාමතාම මගහැර ඇති හෝ යටපත් කර ඇති සැබෑ මහමොළකරුවන් පිළිබඳ සාධාරණ සමාජ සැකයක් ජනනය කරයි.

යහපාලන යුගයේ උපත සහ NMRA හි අනතුරු ඇඟවීම්

ඉහත නිල ලේඛනයට අනුව, Isolez Biotech Pharma AG Limited සමාගම සංස්ථාගත කර ඇත්තේ (Date of Incorporation) යහපාලන රජය සමයේ එනම්, 2016 අගෝස්තු 24 වන දිනයි.

මෙම කර්මාන්තශාලාව ඖෂධ නිෂ්පාදනයට කිසිසේත්ම නුසුදුසු බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මගින් අවස්ථා කිහිපයකදීම නිල වශයෙන් දැනුම් දී තිබිණි. 2022 පෙබරවාරි 11 දින නිකුත් කළ NMRA/MFRD/LM-01-22 දරන ලිපිය මගින්, 2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල කළ පරීක්ෂණවලට අනුව මෙම ස්ථානය ඖෂධ නිෂ්පාදනයට සුදුසු GMP (Good Manufacturing Practice) සහතිකයක් ලබා දීමට නිර්දේශ කළ නොහැකි බව සමාගමට පැහැදිලිව දන්වා තිබුණි.

එමෙන්ම 2023 අප්‍රේල් මාසයේ NMRA ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත් කළ අවසන් තීරණයේද දැක්වෙන්නේ, කටුනායක අමන්දොළුව පිහිටි මෙම ස්ථානය විෂබීජහරණය කළ (sterile) ඖෂධ නිෂ්පාදනයට කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. විශේෂයෙන්ම සාමාන්‍ය ඖෂධ සහ පිළිකා නාශක ඖෂධ (cytotoxic drugs) එකම නිෂ්පාදන රේඛාවක නිෂ්පාදනය කිරීමේ අවදානමද 2023 පෙබරවාරි මාසයේ කළ GMP පරීක්ෂණ වාර්තාවේ (GMP Inspection Report) බරපතළ ලෙස පෙන්වා දී තිබිණි.

රහස් සාකච්ඡා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම

මෙතරම් නුසුදුසු තත්ත්වයක තිබූ සමාගමක් සමඟ 2023 ජනවාරි 26 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ තාක්ෂණික සාකච්ඡාවක් පවත්වා ඇති අතර, NMRA නිලධාරීන්ද ඊට සහභාගි වී ඇත. වඩාත්ම කම්පනකාරී කරුණ වන්නේ, මෙම සාකච්ඡාවට සහභාගි වූවන්ගේ ලැයිස්තුවේ (Participation List) 9 වැනියා ලෙස “Mr. Srinath Gamage – Director, Presidential Secretariat” (ශ්‍රීනාත් ගමගේ – අධ්‍යක්ෂ, ජනාධිපති ලේකම් කාර්යාලය) යනුවෙන් පැහැදිලිව සටහන්ව තිබීමයි.

ප්‍රමිතියෙන් තොර දේශීය ඖෂධ නිෂ්පාදකයෙකුගේ ගැටලුවක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු නියෝජිතයෙකු සහභාගි වූයේ කාගේ උපදෙස් මතද? මීට පෙර හෙළිවූ පරිදි එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මැදිහත්වීම් සහ මුදල් අමාත්‍යාංශයේ (එවකට ජනාධිපතිවරයා යටතේ පැවති) ප්‍රගති සමාලෝචන රැස්වීම්වල දිගුවක් ලෙස මෙය සැලකිය හැකිද?

පැමිණිල්ල කළ දාම සමාගමෙන් පලාගිය ප්‍රධාන කොටස්කරුවන්

මෙම ජාවාරමේ බිහිසුණුම සාක්ෂිය හමුවන්නේ සමාගමේ කොටස්කරුවන්ගේ වාර්තාවෙනි. සමාගමේ ආරම්භක කොටස් 100න්, තුඩුවගේ මලිත් පෙරේරාට කොටස් 10ක්ද, තුඩුවගේ මනෝජ් පෙරේරාට කොටස් 30ක්ද, හේවගේ සුදත් ජානක ප්‍රනාන්දුට (දැනට 1 වන සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටින) කොටස් 60ක්ද හිමිව තිබිණි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම ව්‍යාජ ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල වශයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද්දේ 2023 ඔක්තෝබර් මුල් සතියේදීය.

Screenshot
පුදුමයකට මෙන්, සමාගම් රෙජිස්ට්‍රාර් වාර්තාවේ 12 වන වගන්තියට (Persons who have ceased to hold shares) අනුව, තුඩුවගේ මලිත් පෙරේරා සහ තුඩුවගේ මනෝජ් පෙරේරා යන ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනාම සිය කොටස් 40 හදිසියේම සුදත් ජානක ප්‍රනාන්දු වෙත පවරා සමාගමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී ඇත්තේ 2023 ඔක්තෝබර් 10 වන දිනයි (Date of Registration of Transfer: 2023-10-10). ඉන්පසු සුදත් ජානක ප්‍රනාන්දුට කොටස් 100ම හිමිවී ඔහු තනි හිමිකරුවෙකු බවට පත්ව ඇත.

විමර්ශන නිලධාරීන්ගේ නිහැඬියාව

CIDයට පැමිණිල්ල කළ වහාම, සමාගමේ මුල් කොටස්කරුවන් දෙදෙනෙකු හදිසියේම සිය කොටස් අතහැර පලාගියේ ඇයි? ඔවුහු මෙම ජාවාරමේ සැබෑ ප්‍රතිලාභීන් වූවාද? මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ලැබුණු තොරතුරු මත ඔවුන් මෙලෙස පලාගියාද? සියල්ලටම වඩා, විමර්ශන නිලධාරීන් සුදත් ජානක ප්‍රනාන්දුව පමණක් අත්අඩංගුවට ගෙන, නියමිත වේලාවට සමාගමෙන් ලිස්සා ගිය අනෙකුත් කොටස්කරුවන් ගැන කිසිදු පරීක්ෂණයක් නොකළේ කාගේ බලපෑමකටද?

වගකිවයුතු මාධ්‍යයක් ලෙස මෙම තොරතුරු හෙළිදරව් කරනු ලබන්නේ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට නොව, අධිකරණයට ඉදිරිපත් වී ඇති ස්වාධීන ලේඛන සහ සමාගම් වාර්තා මත පදනම්ව, විමර්ශන නිලධාරීන් විසින් හිතාමතාම මගහැර ඇති සැබෑ මහමොළකරුවන් සහ ඔවුන්ට රැකවරණය දුන් දේශපාලන බලවතුන් පිළිබඳව සමාජය හමුවේ ඇති සාධාරණ සැකය තහවුරු කිරීමටය. සැබෑ ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ අදිසි හස්තයන් නිදැල්ලේ සිටියදී, පැමිණිල්ල කළ අමාත්‍යවරයා සහ රාජ්‍ය නිලධාරීන් පමණක් විත්ති කූඩුවේ සිරවීම නීතියේ ආධිපත්‍යයට එල්ල වන දැවැන්ත අභියෝගයකි.

Latest Posts

spot_imgspot_img