Latest Posts

ඉරානය මෙල්ල කිරීමට අමෙරිකාව චීනයේ පිහිට පතයි! හමුදා ආධාර ලබා නොදෙන බවට පොරොන්දුවක්!

2017 වසරෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදුකරන ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ බීජිං නුවරදී ආරම්භ විය. චීනයේ ‘Great Hall of the People’ මූලස්ථානයේදී ඉතා උණුසුම් අයුරින් ජනපති ට්‍රම්ප්ව පිළිගත් අතර නායකයන් දෙදෙනාට ටියනන්මෙන් චතුරශ්‍රයේදී හමුදා ආචාර දැක්වීමක්ද පිළිගැන්විය.

චීන ජනපතිට ට්‍රම්ප්ගෙන් පැසසුම්

මෙම පිළිගැනීමේ උත්සවයේ දී අදහස් දැක්වූ චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කළේ චීනය සහ එක්සත් ජනපදය ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතු බවයි. දෙරට අතර පවතින වෙනස්කම්වලට වඩා පොදු අවශ්‍යතා වැඩි බවත්, ස්ථාවර සබඳතාවයක් ලෝකයේ යහපතට හේතු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ෂී ජින්පින් යනු “ශ්‍රේෂ්ඨ නායකයෙකු” බවත්, දෙරටේ අනාගත සබඳතාව පෙර කවරදාකටත් වඩා යහපත් වනු ඇති බවයි.

මෙම සංචාරය සිදුවන්නේ මැදපෙරදිග කලාපයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් මධ්‍යයේය. විශේෂයෙන්ම ගෝලීය වෙළඳාමට අත්‍යවශ්‍ය හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වී තිබීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. ඉරානය සමඟ පවතින අර්බුදය විසඳා ගැනීමට චීනයේ ක්‍රියාකාරී මැදිහත්වීම ලබා ගැනීම අමෙරිකාවේ ප්‍රධාන බලාපොරොත්තුවක් බව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කළේය.

ඉරානයට හමුදා ආධාර ලබා නොදෙන බවට පොරොන්දුවක්!

චීනය විසින් ඉරානයට හමුදා ආධාර ලබා නොදෙන බවට එරට ජනාධිපති ෂී ජින්පින් තමාට පොරොන්දු වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සංචාරය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

“ඔහු පැවසුවා තමන් මිලිටරි උපකරණ ලබා දෙන්නේ නැති බව. එය ඉතා වැදගත් ප්‍රකාශයක්.”

තවද, චීනය එම කලාපයෙන් තෙල් ආනයනය කරන බැවින් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවද ට්‍රම්ප් සඳහන් කළේය.

වසා දමන ලද හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ ඇමරිකානු සාම කොන්දේසිවලට එකඟ වන ලෙස ඉරානයට බලපෑම් කිරීම සඳහා චීනයේ සහාය ලබා ගැනීම මෙම සංචාරයේ ඇමරිකානු අරමුනයි. හෝමුස් සමුද්‍ර සන්ධිය යුදකරණය කිරීමට චීන පාර්ශවය අකමැති බවත්, එම ජල තීරය හරහා ගමන් කරන නෞකාවලින් ඉරානය බදු අය කිරීමට උත්සාහ කිරීම බීජිං පාලනය අනුමත නොකරන බවත් සමුද්‍ර සන්ධියට ප්‍රවේශ වීමේ අවස්ථාව නැවත ලබා දීම සඳහා චීනය “තිරය පිටුපස සිට” කටයුතු කරනු ඇති බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ලෝකයේ පොලිස්කාරයා ලෙස පෙනිසිටන අමරිකාව ඉරාන අවහිර කිරීම් හමුවේ පසමිතුරෙකුව සිටි චීනයෙන් සහය අපේක්ෂා කිරීම ලෝක බල කඳවුරු වෙනස්වීමේ සුවිශේෂී මොහොතක් ලෙස සැලකිය හැකිය.

මෙම සංචාරය සඳහා ඊලොන් මස්ක්, ටිම් කුක්, ජෙන්සන් හුවාං, ලැරී ෆින්ක් වැනි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් පිරිසක් ට්‍රම්ප් සමඟ චීනයට පැමිණ තිබේ. ඔවුන්ගේ ව්‍යාපාරවල ශුද්ධ වටිනාකම ඩොලර් ට්‍රිලියනයක පමණ වන බව විචාරකයෝ ප්‍රකාශ කරයි.

මෙම ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමේ සහභාගීත්වය හරහා දෙරට අතර ආර්ථික සහ තාක්ෂණික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම අමෙරිකානු අරමුණ වී ඇත.

Latest Posts

spot_imgspot_img