: සම්මතයේ ගොදුරක් වූ ආත්මීය ප්‍රේමයේ කියවීමක්
සිංහල නවකතා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කළ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී නවකතාකරු කරුණාසේන ජයලත් විසින් 1966 දී රචිත, ලාංකීය සිනමාවේ කිවිඳිය ලෙස විරුදාවලි ලත් සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද “ගැහැණු ළමයි” නම් වූ ශ්‍රේෂ්ඨ සිනමා කෘතිය සලෙල රූ පටයකට සිත්තම් කළේ මීට වසර 48 කට පමණ පෙරය. ශ්‍රී ලාංකික පන්තිමය බාධක සහ සමාජ ගැටුම් නිරූපණය කිරීම සඳහා සුමිත්‍රා පීරිස් ගත් අනුපමේය උත්සාහය හේතුවෙන්, 1978 ලන්ඩන් චිත්‍රපට උළෙලෙහිදී මෙය වසරේ විශිෂ්ටතම සිනමා පටය ලෙස ගෞරවාදරයට පාත්‍ර විය. එදා මිලි මීටර් 35 නෙගටිව්වලින් නිපදවූ මෙම අග්‍රගණ්‍ය නිර්මාණය අද නව තාක්ෂණය මඟින් 4K තත්ත්වයෙන් ප්‍රතිසංස්කරණය වී සම්භාව්‍ය කෘතීන් අතර දිදුලන යශෝරාවය දැක බලා ගැනීමට සුමිත්‍රා පීරිස් ජීවතුන් අතර නොසිටීම සැබැවින්ම අභාග්‍යසම්පන්නය.

සංකේතීය සමාජ නීතිය සහ නිදහස අහිමි වීම
“ගැහැණු ළමයි” හුදෙක් ප්‍රේම වෘත්තාන්තයක් පමණක් නොවේ; එය නව යොවුන් දැරියකගේ සහ තරුණියකගේ හැඟීම් අවබෝධ කරගත් අපූරු මනෝවිද්‍යාත්මක කැඩපතකි. මනෝවිශ්ලේෂනයට අනුව විග්‍රහ කරන්නේ නම්, කුසුම් ජීවත් වන්නේ දැඩි පන්ති සහ කුල භේදයන්ගෙන් සැදුම්ලත් ‘සංකේතීය පර්යායක්’ (Symbolic Order) තුළය. ඇය වැඩිවියට පත්වීමත් සමඟ සමාජය ඇගේ නිදහස උදුරා ගන්නා ආකාරය ජයලත් සිය නවකතාවේ අපූරුවට සටහන් කරයි:
"ගැහැණු ළමයෙකුට නිදහස ඇත්තේ කුඩා කාලයේදී පමණක් බව ඇයට සිතුණි. ලොකු මහත් වනවිට ඒ නිදහස ටිකෙන් ටික අඩුවේ. ඉන්පසුව ඇත්තේ නීති රීති සහ තහංචිය."
ජයලත්ගේ මෙම ආඛ්‍යානය හරහා පෙනී යන්නේ ගැහැණු ළමයෙකුගේ සමාජගත වීම යනු සමාජ නීති පද්ධතියට කොටු කිරීමේ ආරම්භය බවයි. වසන්ති චතුරාණි සහ අජිත් ජිනදාස සිනමා තිරය මත අතිශය තාත්විකව නිරූපණය කළ කුසුම් සහ නිමල් අතර ජනනය වන ආදරය, මේ සමාජ පවුර හමුවේ ගැටෙන්නට පටන් ගනී.

මහා අනෙකාගේ බැල්ම (The Gaze of the Big Other) සහ පන්ති අරගලය
කුසුම් සහ නිමල් අතර ඇතිවන සදාතනික ප්‍රේමය හමුවේ ඔවුන්ට අත්මිදෙන්නට නොහැකි වූ නොකී කතාවක් නවකතාවේ මෙන්ම සිනමා පටයේද පතුලේ සැඟවී තිබේ. ධනය, කුලය සහ බලය රජ කරන ගෝත්‍රික සමාජයේ “මිනිස්සු කුමක් කියයිද?” යන භීතිය හෙවත් ලැකානියානු ‘මහා අනෙකාගේ’ (The Big Other) විනිශ්චය කුසුම්ගේ ආත්මය නිරන්තරයෙන් පීඩාවට පත් කරයි.
"අපේ ලෝක දෙකක් නිමල්... ඔයාට තියෙන්නේ වෙනම ලෝකයක්. මට තියෙන්නේ වෙනම ලෝකයක්..." කුසුම්ගේ දෙනෙතේ කඳුළු පුරවාගෙන පැවසූ ඒ වචන තුළ ගැබ්ව තිබුණේ සමස්ත පීඩිත පන්තියේම අසරණභාවයයි.
"මට ඔයා අමතක කරන්න බෑ කුසුම්... මං කොහොමද එහෙම කරන්නේ?" නිමල්ගේ හඬ වේදනාවෙන් බර වී තිබිණි. එහෙත් කුසුම්ට සමාජ යථාර්ථය ඊට වඩා ප්‍රබලව දැනෙමින් තිබුණි. දුප්පත්කම යනු හුදෙක් මුදල් නොමැතිකම පමණක් නොවන බවත්, එය මනුෂ්‍යත්වයේ සියලු සුන්දර හැඟීම් පාගා දමන ම්ලේච්ඡ යදමක් බවත් කුසුම්ට පසක් වන ආකාරය කතුවරයා සියුම්ව නිරූපණය කරයි.

ස්ත්‍රී විශාලත්වය (Feminine Jouissance) සහ උත්කෘෂ්ට කැපකිරීම
ප්‍රේමය නම් වූ රමණීය මනෝභාවයට තැකීමක් නොමැති මෙම අසාධාරණ සමාජය ඉදිරියේ කුසුම් විප්ලවකාරියක වී සමාජ සම්මතයන් බිඳ දමනු දැකීමට එදා තාරුණ්‍යය මෙන්ම අද තාරුණ්‍යය ද අපේක්ෂා කරයි. එහෙත් ජයලත් ඇයව දිරිමත්, සම්ප්‍රදාය බිඳින චරිතයක් බවට පත් නොකරයි. පීතෘමූලික ව්‍යුහයක් තුළ ස්ත්‍රියක් බොහෝ විට තම අනන්‍යතාවය ගොඩනඟා ගන්නේ තමාවම ‘බිලිදීමක්’ (Sacrifice) හරහාය.
කුසුම් තම පවුලේ සහ සහෝදරියන්ගේ ගෞරවය වෙනුවෙන් නිමල්ගේ ආදරය අත්හරින්නේ ඇගේ පෞරුෂයේ දුර්වලකමක් නිසා නොවේ. ඇගේ ඒ මහා පරිත්‍යාගය තුළ ඇත්තේ ගැහැණියකට පමණක් දැරිය හැකි ආකාරයේ සුවිශාල ආත්මීය ශක්තියකි (Feminine Jouissance). තමන්ගේ ආදරය අහිමි කරගැනීමේ වේදනාව තුළම, ඇය යම් කිසි උත්කෘෂ්ට වීරත්වයක් අත්පත් කර ගනී.
ජාත්‍යන්තර සම්භාවනාව සහ කැනඩා සම්ප්‍රාප්තිය

වසර 47කට පසුව, 2025 දී ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී කීර්තිමත් කෑන්ස් සම්භාව්‍ය අංශය සඳහා 4K ප්‍රතිසංස්කරණය කරන ලද “ගැහැණු ළමයි” තෝරා ගැනීමෙන් පෙනී යන්නේ මෙම සිනමා කතාන්දරයේ ඇති සදාකාලික වටිනාකමයි. 2025 BFI ලන්ඩන් චිත්‍රපට උළෙල, ඉතාලියේ බොලොග්නා නගරය, මෙල්බර්න් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සහ නිව්යෝර්ක් හි තිරගත වීමෙන් පසු, දැන් එය කැනඩාවේ ටොරොන්ටෝ නගරයට සම්ප්‍රාප්ත වී ඇත.
“ගැහැණු ළමයි” සිනමා කෘතියේ පසුබිම් ගීය වූ අමරදේවයන් ගයන “වියෝ ගී ගැයෙනා හදේ” ශෝකජනක ස්වරය චිත්‍රපටයට එක් කරන්නේ කිසිදා නොමැකෙන චිත්තවේගීය ගැඹුරකි.
(උපුටාගැනීම – Ladyleader පිටුවෙන්).



