Latest Posts

වෙස් මුහුණු ප්‍රතිරූපය සහ යථාර්ථය

නිදහස් ලේඛක විජේපාල දිසානායක


පහත පළවන්නේ ජැක් ලැකාන්ගේ මනෝවිශ්ලේෂණාත්මක න්‍යායන් සහ පියරේ බෝර්ඩියුගේ සමාජ විද්‍යාත්මක සංකල්ප ඇසුරින් වත්මන් ශ්‍රී ලාංකීය දේශපාලන සන්දර්භය කියවීමට උත්සාහ ගන්නා විග්‍රහාත්මක ලිපියකි. කතුවරයා මෙම න්‍යායික රාමුව යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන ගමන්මග සහ එහි ප්‍රතිරූපයේ සිදුවෙමින් පවතින බව කියන වෙනස්කම් විමර්ශනය කරයි.

මෙම ලිපියේදී ලැකාන්ගේ සංකල්ප භාවිතා කර ඇති ආකාරය පිළිබඳව ප්‍රධාන පැති දෙකකින් නිරීක්ෂණය කළ හැකිය. 

පළමුවැන්න එහි න්‍යායාත්මක භාවිතයේ නිරවද්‍යතාවයි. "සත්‍යයට ප්‍රබන්ධයක ව්‍යුහයක් ඇත" (Truth has the structure of fiction) යන ලැකානියානු ප්‍රකාශය මෙහි නිවැරදිව උපුටා දක්වා ඇති අතර, මිනිසුන් තමන්ගේ ආශාවන් (Desires) සහ අපේක්ෂාවන් මත පදනම්ව දේශපාලන ප්‍රතිරූපයක් 'සත්‍යය' ලෙස වැළඳ ගන්නා ආකාරය පැහැදිලි කිරීමට එය යොදාගෙන තිබේ. ලැකාන්ගේ ඉගැන්වීම් තුළ "වෙස් මුහුණ" (The Mask) යනු හුදු බොරුවක් නොව, සමාජය හමුවේ අනන්‍යතාවය ගොඩනඟන ආකාරයයි. ලේඛකයා ජවිපෙ විසින් ගොඩනැගූ "සරල බවේ වෙස් මුහුණ" (Mask of Simplicity) හරහා එම සංකල්පය දේශපාලන ප්‍රතිරූපයකට මනාව ආදේශ කරයි. එහෙත්, ලැකානියානු න්‍යාය තුළ වඩාත් සංකීර්ණ, වස්තුමය (Object) සංකල්පයක් වන 'බැල්ම' (The Gaze), මෙහිදී භාවිතා කර ඇත්තේ වඩාත් සරල, සමාජ විද්‍යාත්මක අර්ථයකිනි. එනම්, මහජනතාව (නිරීක්ෂකයා) දෙස බලන විට දේශපාලනඥයා තම හැසිරීම සකස් කර ගන්නා ආකාරයයි. මෙය ලැකාන්ට වඩා අර්වින් ගොෆ්මන්ගේ (Erwin Goffman) 'නාට්‍යමය ආකෘතියට' (Dramaturgy) සමීප වේ.

දෙවැන්න නම්, මෙම සංකල්ප දේශපාලන විවේචනයක් සඳහා භාවිතා කර ඇති ආකාරයයි. ලිපිය ආරම්භයේදී ශාස්ත්‍රීය ස්වරූපයක් ගත්තද, අවසානය දෙසට එය පැහැදිලිවම වත්මන් ජවිපෙ/මාලිමා පාලනයට එල්ල කරන දේශපාලන විවේචනයක් දක්වා ගමන් කරයි. පක්ෂයේ සරල බව සහ අවංකභාවය පිළිබඳ ප්‍රතිරූපය දැන් "ඉරිතලා" යමින් පවතින බව ලේඛකයා තර්ක කරන අතර, මූල්‍ය කරුණු, නිල වත්කම් බැරකම්, සහ අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ නිවස පිළිබඳ කරුණු පවා ලිපියට ගෙන එමින් න්‍යාය භාවිතා කර ඇත්තේ එම විශේෂිත චෝදනාවලට බුද්ධිමය වටිනාකමක් ලබා දීමටය. එසේම, පියරේ බෝර්ඩියුගේ "සංකේතාත්මක ප්‍රාග්ධනය" (Symbolic Capital) පිළිබඳ සංකල්පය හරහා ජවිපෙ මෙතෙක් රැස්කළ විශ්වාසය දියවී යන බව පෙන්වා දෙමින් ලිපිය අවසන් කරයි.

සමස්තයක් ලෙස ගත් කල, මෙහිදී ලැකානියානු සංකල්ප සම්පූර්ණයෙන්ම වැරදි ලෙස භාවිත කර නැතත්, ඒවා ඉතා සරල කර (Simplified) තම දේශපාලන මතවාදය තහවුරු කිරීමට මෙවලමක් ලෙස යොදාගෙන ඇති බව නිරීක්ෂණය වේ. 
ලේඛකයා ලැකාන්ව "කැඳවා ගන්නේ" ජවිපෙ ප්‍රතිරූපය හුදු මතුපිටින් පෙනෙන දෙයක් පමණක් බවත්, එහි "යථාර්ථය" (Reality) දැන් හෙළිවෙමින් පවතින බවත් පෙන්වීමටය. කතුවරයාගේ මූලික අභිප්‍රාය වී ඇත්තේ ජවිපෙ විසින් දශක ගණනාවක් පුරා නඩත්තු කළ "සරල බවේ සහ අවංකභාවයේ ප්‍රතිරූපය" මේ වන විට සමාජ නිරීක්ෂණය හමුවේ බිඳවැටෙමින් පවතින බව තහවුරු කිරීමයි. එබැවින් මෙම ලිපිය හුදු න්‍යායාත්මක සමාජ කියවීමකට වඩා, බුද්ධිමය රාමුවක් මත පිහිටා වත්මන් පාලනයට එල්ල කරන සියුම් එහෙත් ප්‍රබල දේශපාලනික පහරදීමක් (Critique) ලෙස වටහා ගැනීම වඩාත් නිවැරදිය.

වෙස් මුහුණු ප්‍රතිරූපය සහ යථාර්ථය
ශ්‍රී ලංකාවේ ජවිපෙ දේශපාලන මොහොත තේරුම් ගනිමු.

විජේපාල දිසානායක

ගෙවිමින් පවතින මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධර්භය තුළ එක් දෙයක් ඉතා නිශ්චිත ලෙසම පැහැදිලිය. එනම් මිනිසුන් තවදුරටත් දේශපාලනඥයන් පවසන වැල් බයිලාවන්ට සවන් දීම පමණක් සිදු නොකරයි. පුරවැසියන් ඔවුන්ගේ දේශපාලන නියෝජිතයින් ජීවත් වන ආකාරය හොඳින් නිරීක්ෂණය කරති. එබැවින් ප්‍රතිරූපය ප්‍රතිපත්තිය තරම්ම වැදගත් වී ඇත.

මෙම සන්දර්භය තුළ, ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) වටා ඇති සම කාලීන විවාද චෝදනා හෝ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි වලට පමණක් සිමා නොවේ. එම විසංවාදය ශ්‍රී ලංකාවේ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ගැඹුරු යථාර්තයක් හෙළි කරනු ලබයි. එනම් එය විසින් සමාජය වෙත ප්‍රතිරූපය සහ යථාර්ථය අතර නිරන්තර සහ ගැඹුරු ප්‍රතිවිරෝධයක් රැගෙන එයි.

මෙය වඩාත් නිරවුල්ව තේරුම් ගැනීමට, අපට ප්‍රංශ චින්තකයෙකු වන ජැක් ලැකාන්ගේ සරල අදහසක් භාවිතා කළ හැකිය. ඔහු වැදගත් සංකල්ප දෙකක් ගැන කතා කළේය. ඉන් එකක් වන්නේ, වෙස් මුහුණ සහ බැල්මයි. (Mask and the Gaze) මෙම අදහස තරමක් සංකීර්ණ ලෙස පෙනෙන්නට පුළුවන. එසේ වුවත් එතුලින් හෙළිකරන සංකල්පීය යථාර්තය ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා දේශපාලනය ඉතා ප්‍රායෝගික ආකාරයකින් නිරුපණය කරනු ලබයි.

දේශපාලනයේදී “වෙස් මුහුණු" ප්‍රතිරූපය වැදගත් වන්නේ ඇයි?.


දෛනික ජීවිතයේදී, මිනිසුන් අන් අයගේ පිළිගැනීමට භාජනය වීම සඳහා යම් යම් ආකාරවලින් පෙනී සිටිති. දේශපාලනඥයන් ද එය එසේම සිදු කරති. ඒ සඳහා ඔවුන් කැපිපෙනෙන වඩා විශාල වේදිකාද තනා ගනිති. බොහෝ කලක පටන් ජවිපෙට ශක්තිමත් මහජන ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමට හැකිවී තිබිණ. එහි නායකයින් සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන නොව, සරල විනයගරුක සහ දූෂණයෙන් තොර අය ලෙස සමාජ මතවාදයක් ඔවුන් පෝෂණය කරන ලදී. මේ සඳහා ඔවුන් බොහෝ විට නිහතමානී ජීවන රටාවන්, සීමිත පෞද්ගලික ධනය සහ සාමූහික දේශපාලනයට කැපවීම උත්කර්ෂයට නැගීය.

ලැකාන් වෙස් මුහුණක් ලෙස හඳුන්වන සංකල්පය අපට හමුවන්නේ මෙතනදීය. එය ජවිපෙ විසින් සමාජගත කලේ පරමාදර්ශී අනිවාර්යය සත්‍යක් ලෙස සහ ඉතා ප්‍රවේශම් සහගත අනන්‍යතාවයක් ලෙසය. මෙම “සරල බවේ වෙස් මුහුණ” (Mask of Simplicity) ශ්‍රී ලංකාව තුලදී ඉතා බලවත් විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වුයේ, අපේ රටේ මහජනතාව අප්‍රමාණ ලෙස වෙහෙසට පත්ව සිටි නිසාය. දශක ගණනාවක සිට දූෂණ වංචා, ආර්ථික අර්බුද, සහ දේශපාලන පාවාදීම්, වල ගොදුරක්ව සිටි මිනිසුන් වෙනස් දේශපාලන විකල්පයක් සොයමින් සිටියහ. එකී දේශපාලන රික්තකයට සාධනීය විකල්පයක් ජනතා විමුක්ති පෙරමුණ හරියටම ඉදිරිපත් කරන බවක් මහජන අවකාශයට දැනෙන්නට විය.

ලැකාන් වරක් පැවසුවේ, “සත්‍යයට ප්‍රබන්ධයේ ව්‍යුහයක් ඇත.” යනුවෙනි ((Truth has the structure of fiction). මෙයින් ඔහු අදහස් කළේ මිනිසුන් බොහෝ විට යමක් සත්‍යයක් ලෙස පිළිගන්නේ එය ඔවුන්ගේ අපේක්ෂාවන් සහ ආශාවන්ට ගැලපෙන විට බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ, බොහෝ පුරවැසියන්ට පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් විශ්වාස කිරීමට අවශ්‍ය විය. ජවිපෙ ප්‍රතිරූපය එම ආශාවට පරිපූර්ණ ලෙස ගැලපා ගැනීමට ඔවුන් සමත් විය.

බැලීම ” (Looking) තුල මහජනතාව දේශපාලනඥයන් හැඩගස්වන ආකාරය


ලැකාන් බැල්ම ගැන ද පුළුල්ව කතා කළේය. මෙයින් සරලව අදහස් කරන්නේ යමෙක් තමාව නිරීක්ෂණය කරන බව දැනගත් විට මිනිසුන් තම හැසිරීම වෙනස් කරන බවයි. දේශපාලනයේ දී, “නිරීක්ෂකයා” යනු මහජනතාවයි. ඡන්දදායකයින් දේශපාලනඥයන් නිරීක්ෂණය කරයි. ඔවුන් විනිශ්චය කරයි. සහ අදහස්, මතවාද, සාදා බෙදා හරියි. ඒ වගේම එය අනෙක් අතටද ක්‍රියා කරයි. එනම් දේශපාලනඥයන් නිරන්තරයෙන් මිනිසුන් අපේක්ෂා කරන දේ සපුරාලීම සඳහා ඔවුන්ගේ හැසිරීම සකස් කර ගනී.

ජනතා විමුක්ති පෙරමුණ මෙය ඉතා හොඳින් තේරුම් ගත්තේය. ඒ අනුව එහි ක්‍රියාකාරීන් සහ නායකයින් මහජනතාවගේ අපේක්ෂාවන්ට ගැළපෙන ආකාරයෙන් හැසිරුණි. සරල ජීවන රටාව, දූෂණයට එරෙහි ශක්තිමත් භාෂාව, සහ සමහර විට රළු, සෘජු කතා කිරීමේ විලාසයන් පවා ඔවුන් ප්‍රගුණ කිරීමට වග බලාගත්හ.

මෙම තත්වය තවත් ප්‍රකට චින්තකයෙකු වන අර්වින් ගොෆ්මන් (Erwin Goffman) සමඟ සම්බන්ධ වන අතර ඔහු සමාජ ජීවිතය එක්තරා ආකාරයක වේදිකාවක් ලෙස විස්තර කළේය. මිනිසුන් නළුවන් හා සමාන වන අතර, ප්‍රේක්ෂකයින් සඳහා භූමිකාවන් රඟ දක්වයි. මෙම අවස්ථාවේ දී, ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා දේශපාලනයේ “අවංක පිටස්තරයාගේ” (Honest outsider) භූමිකාව ඉටු කළේය. මෙම නාට්‍යයේදී ප්‍රේක්ෂකයින් හෙවත් මහජනතාව එය ඉහලින් පිළිගත්තා පමණක් නොව 68 ලක්ෂයක තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් සමග විධායක ජනාධිපති වරයෙක්ද ඔවුන්ගේ කඳවුර වෙත ලබා දීමට තරම් එඩිතර විය.

රළු සහ ප්‍රචණ්ඩ හැසිරීම පවා ප්‍රතිරූපයට උපකාරී වූයේ ඇයි?


සිත්ගන්නා කරුණ නම්, සමහර ජවිපෙ දේශපාලනඥයන් ප්‍රසිද්ධ කථාවලදී මොට හෝ තරමක් අසභ්‍ය භාෂා ශෛලීන්ද උපයෝගී කර ගැනීමයි. ඒ වගේම පැවති ක්‍රමයන් ප්‍රශ්න කිරීමේදී ඉතා වාම රැඩිකල් උද්ඝෝෂණ සඳහා ඔවුන් ඉමහත් ප්‍රසිද්ධියක් දැරුහ. එපමණක් නොව 2022 අරගල සමයේදී පැවති නිත්‍යානුකුල රාජ්‍ය පෙරලා දැමීම වෙනුවෙන් අතිශය ප්‍රචණ්ඩ සහ භීම අත්දැකීම් එයට එක් කල බවට ඔවුන් චෝදනාවට ලක්ව තිබේ. එපමණක්ද නොව 71 සහ 87/89 පරිච්චේදය තුල රාජ්‍ය අත්පත් කරගැනීමේ අභ්‍යන්තර කැරලි සංවිධානය, එයින් සිදු වූ ජිවිත සහ දේපල හානිය මේ වන තුරුද නිසි ආගනනයක් සිදුකර නොමැත.

කිසියම් අයෙකුට සාමාන්‍යයෙන්, මෙය ඍණාත්මක ලෙස දැකිය හැකිය. නමුත් ශ්‍රී ලංකාවේ, එය විටක ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කළේය. එය එසේ වන්නේ ඇයි?. බොහෝ අය ඔප දැමූ, ප්‍රභූ ආඛ්‍යානය එනම් බොහෝ විට දූෂණ චෝදනා ලැබූ සාම්ප්‍රදායික දේශපාලනඥයන් සමඟ සම්බන්ධ කරන බැවිනි. ඒ අතර වඩාත් අමු, සෘජු ආකාරයකින් කතා කිරීමෙන්, ජවිපෙ චරිත වඩාත් අව්‍යාජ ලෙස, සාමාන්‍ය මිනිසුන් මෙන් පෙනී සිටියේය. ඇත්ත වශයෙන්ම මෙය ලැකාන්ගේ වෙස් මුහුණේ කොටසකි. එනම් එතුලින් පැහැදිලි පණිවිඩයක් යවයි. කුමක්ද ඒ පණිවිඩය? එය අන් කිසිවක් නොව “අපි ඔවුන් වගේ නෙවෙයි” යන්නයි.

හැරවුම් ලක්ෂ්‍යයක් මත නුතන ජවිපෙ


කෙසේ වෙතත්, දේශපාලන ප්‍රතිරූප ඉතා බිඳෙන සුළුය. ඒවා ක්‍රියාත්මක වන්නේ මහජනතාව ඒවා විශ්වාස කරන තාක් කල් පමණි. එහෙත් මෑතකදී මතුවූ මූල්‍යමය කරුණු, මන්ත්‍රීවරුන්ගේ ආදායම් මාර්ග, පුද්ගලික ධනය රැස්කිරීම් සහ ඇතැම් ජවිපෙ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද නිල වත්කම බැරකම් ප්‍රකාශ පිළිබඳව විශාල සමාජ ආන්දෝලනයක් මතු වී තිබේ. ඒ වගේම බලශක්ති වැනි ක්ෂේත්‍රවල සිදුවන බව කියන ආර්ථික පාඩු පිළිබඳව ද මහජන කතිකාවක් පවතී. මේ සියලු සැක සංකා ඔප්පු කළත් නැතත්, මහජන සංජානනයට ඇති බලපෑම දැනටමත් සැලකිය යුතු මට්ටමින් බරපතලය.

ලැකාන්ගේ අදහස නැවතත් අපට අදාළ වන්නේ මෙහිදීය. වෙස් මුහුණ ඉරිතලා යාමට පටන් ගත් විට, මහජනතාවගේ බැල්ම වෙනස් වේ. මිනිසුන්ගේ නිරීක්ෂණ මට්ටම් උත්සන්න වීමට පටන් ගන්නා අතර ඔවුන් තොරතුරු විමසන්නට පටන් ගනී. එහිදී නිරීක්ෂකයින්, “මේ ප්‍රතිරූපය සැබෑද?” “ඇත්තටම ඔවුන් අනෙක් අයට වඩා වෙනස්ද?” යන කේන්ද්‍රීය සාධක සියුම්ව පරික්ෂා කිරීමට ඇල්මක් දක්වයි. ඒ අනුව මහජන නිරීක්ෂණයට සැකයක් උත්පාදනය වී ඇතුළු වූ විට, සියල්ල වෙනස් වීමට පටන් ගනී. කාලයක් වඩාත් සුවිශේෂී ලෙස සැලකූ දේශපාලනඥයෙකුට හදිසියේම සාමාන්‍ය අයෙකු ලෙස පෙනී සිටිය හැකිය.

වෙනස් දෘෂ්ටිවාදයක සිට සම්ප්‍රදායික ගොහොරුවේම ගිලීයාම


ජවිපෙට අදාලව විශාලතම ශක්තිය වූයේ අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා වෙනස් ලෙස දැක්මක් ඔවුන් සතුව තිබීමයි. එහෙත් අද වන විට ඔවුන් සිය දේශපාලන භාවිතාව තුලින් පෙන්නුම් කරන්නේ, වරක් බොහෝ සේ විරුද්ධ වූ ක්‍රමයට සමාන වෙමින් එයට පුර්ණ පක්ෂපාතිත්වයක් දක්වමින් සිටින බවයි. මෙය දේශපාලන සමාජය තුළ බලවත් දෘෂ්ටිවාදීමය ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට හේතු වී ඇත. පුරවැසියන්ගේ කලකිරීම බොහෝ විට මහජන කෝපයට වඩා ශක්තිමත් ය. තම විශ්වාසය බිඳී ඇති බව මිනිසුන්ට හැඟෙන විට, ඔවුන් වඩාත් තියුණු ලෙස ප්‍රතිචාර දැක්වීම නොවැලක්විය හැකිය. මේ පිලිබඳ විවරණයකට සමකාලීන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ හරස්කඩක් පරිශීලනය කිරීම ප්‍රමාණවත්ය. ලැකාන් යෝජනා කළ පරිදි, මිනිසුන් යථාර්ථය දකිනවා පමණක් නොවේ. ඔවුන් එය ඔවුන්ගේ අපේක්ෂාවන් හරහා අර්ථකථනය කරයි. අපේක්ෂාවන් ඉතා ඉහළ නම්, කුඩා ප්‍රතිවිරෝධතා පවා විශාල ප්‍රතික්‍රියා ඇති කළ හැකිය.

ගැඹුරු සමාජ විද්‍යාත්මක දැක්මක් මෙයින් රැගෙන එන අතර එය එතරම් වැදගත් වන්නේ ඇයි?


මෙම තත්වය මෙතරම් සංවේදී වන්නේ මන්දැයි තේරුම් ගැනීමට, අපි ශ්‍රී ලංකා සමාජය දෙසම ආපසු හැරී බැලිය යුතුය. පසුගිය දශක කිහිපය තුළ, ශ්‍රී ලංකාව පහත සඳහන් දේ හරහා ගමන් කර අත්දැකීම් රැස්කරගෙන ඇත.
අභ්‍යන්තර කැරලි කෝලාහල
සිවිල් ගැටුම්
ආර්ථික අර්බුද
දූෂණ අපකීර්තිය
දේශපාලන පාවාදීම්

දිගු කලක් තිස්සේ ලද මෙම අත්දැකීම් නිසා පුරවැසියා තුල විශ්වාසය පිළිබඳ ගැඹුරු අර්බුදයක් නිර්මාණය කර ඇත. බොහෝ දෙනෙකුට හැඟෙන්නේ දේශපාලන ආයතන තමන්ට සේවය නොකරන බවයි. මෙම සන්දර්භිය යත්ර්තය තුළ, ජවිපෙ තවත් පක්ෂයක් බවට පත් වූවා පමණක් නොවේ. එය පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සඳහා මහජන බලාපොරොත්තුවේ සංකේතයක් බවට පත්විය.

ප්‍රංශ සමාජ විද්‍යාඥ පියරේ බෝර්ඩියු (Pierre Bourdieu) මෙය පැහැදිලි කිරීමට අපට කැඳවා ගත හැකිය. ඔහු සංකේතාත්මක ප්‍රාග්ධනය (Symbolic capital) පිළිබඳ අදහස හඳුන්වා දීමේ පුරෝගාමියෙකු විය. පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සමාජය තුළ දරන විශ්වාසය, ගෞරවය සහ සදාචාරාත්මක අධිකාරිය මෙම සංකේතාත්මක ප්‍රාග්ධනය තුල නිරුපණය වේ. මෑතකදී අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් ගෙනහැර දැක්වූ සමාජ ප්‍රාග්ධනය නමැති නිර්වචනයද මෙහා සමීප බවක් ඔබට දැනීමට ඉඩ තිබේ. ඔහු කෝටි ගණනක් වටිනා තෙමහල් මන්දිරයක් ගොඩ නැගුවේ සහ අරමුදල් රැස්කිරීමට පවා මෙම සමාජ ප්‍රාග්ධනය ඉවහල් වූ බවක් දන්වා සිටියේය.

එහෙත් අපේ විමර්ශනයට තුඩු දෙන සංකල්පය වන මෙම සංකේතාත්මක ප්‍රාග්ධනය හුදෙක් මුල්‍යමය නොවන දෙයකි. එය විශාල ප්‍රමාණයකින් ජවිපෙ රැස් කළේය. ඒවා මුල්‍ය වත්කම් මෙන් නොව අතින් අල්ලා මැනිය නොහැකි අස්පෘශ්‍ය වත්කම් (Intangible Assets) ලෙසය. එබැවින් මතක තබා ගතයුතු වැදගත් කරුණක් වන්නේ, මිනිසුන්ගේ විශ්වාසය නැති වුවහොත් සංකේතාත්මක ප්‍රාග්ධනය ඉතා ඉක්මනින් අතුරුදහන් විය හැකි බවයි.

සාමූහික මතකය සහ මහජන විනිශ්චය


තවත් වැදගත් සාධකයක් වන්නේ සාමූහික මතකයයි. ශ්‍රී ලාංකික ඡන්දදායකයින් අතීත අත්දැකීම් මතක තබා ගනී. ඔවුන් වත්මන් නායකයින් පෙර නායකයින් සමඟ සංසන්දනය කරයි. මෙයින් අදහස් කරන්නේ පක්ෂයක් “වෙනස්” යැයි කියා ගන්නා විට, එම ප්‍රකාශය කාලයත් සමඟ සත්‍ය දැයි බැලීමට ජනතාව ඉතා ප්‍රවේශමෙන් බලා සිටින බවයි. එකම වට්ටෝරුවේ කතා රටා පුනරාවර්තනය වන බව ඔවුන්ට හැඟේ නම්, ධනය රැස් කිරීම, විනිවිදභාවය නොමැතිකම, හෝ ප්‍රකාශවල පරස්පරතා, කෙරෙහි ඔවුන් දැඩි ලෙස ප්‍රතිචාර දක්වයි.

දේශපාලන බලහත්කාරය ප්‍රතිරුප වනසා දමයි


සියල්ලටම වඩා දේශපාලන නියෝජිතයෙකු සාධාරණ වීම වැදගත්ය. ඒ මක් නිසාද යත් ! ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතා තරඟකාරී නිසාය. විවිධ කණ්ඩායම්, දේශපාලන කඳවුරු, මහජන මතයට බලපෑම් කිරීමට උත්සාහ කරති. චෝදනා, මාධ්‍ය ආඛ්‍යාන සහ දේශපාලන ව්‍යාපාර සමහර විට ගැටළු අතිශයෝක්තියට නැංවීමට හෝ තෝරා බේරා ඉස්මතු කිරීමට ඉඩ තිබේ. මෙයින් කියෙවෙන්නේ මහජන බැල්ම සැමවිටම මධ්‍යස්ථ නොවන බවයි. ඇත්ත වශයෙන්ම එය බල අරගල මගින් හැඩගැසී ඇත. එනම් මෙයින් අදහස් කරන්නේ එකවර කරුණු දෙකක් සත්‍ය විය හැකි බවයි. විනිවිදභාවය පිළිබඳ සැබෑ කනස්සල්ලක් තිබිය හැකිය. ප්‍රතිවාදියෙකුගේ ප්‍රතිරූපය දුර්වල කිරීමට දේශපාලන උත්සාහයන් ද තිබිය හැකිය. එනිසා මෙම සමතුලිතතාවය තේරුම් ගැනීම සාධාරණ විශ්ලේෂණයක් සඳහා වැදගත් වේ.

වත්මන් මොහොතේ තීරණාත්මක පරීක්ෂණයක් 


බලශක්ති අමාත්‍ය වරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඇතුළුව පාර්ලිමේන්තුවේ පැවති වාද විවාද, ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන අනාගතයට තීරණාත්මක මොහොතක් නියෝජනය කළේය. මෙය ඡන්දයක් දිනා ගැනීම හෝ පරාජය වීම ගැන පමණක් සිමා නොවූ එකකි. ඇත්තෙන්ම එය මහජනතාව ඔවුන්ගේ පක්ෂයේ අනන්‍යතාවය අර්ථකථනය කරන ආකාරය සෘණාත්මකව හැඩ ගැස්සවූ අවස්ථාවකි.

ජනතා විමුක්ති පෙරමුණට තවදුරටත් එහි අඛණ්ඩතාවයේ ප්‍රතිරූපය පවත්වා ගත හැකිද? ආණ්ඩුවේ මැති ඇමතිවරු අසාමාන්‍ය ලෙස ධනය රැස් කිරීම, නිවාස ඉදිකිරිම, ගල් අඟුරු ගනුදෙනුව, නීතිවිරෝධී බහාලුම් නිදහස් කිරීම, අධික මිලකට ඉන්ධන මිලදී ගැනීම, සහ තවත් චෝදනා තුලින් මතු කරන ලද ගැටළු වලට තවමත් පැහැදිලි ප්‍රතිචාරයක් ජවිපෙ ආණ්ඩුවෙන් නොමැත. මෙවැනි තත්වයකදී දියවී යන්නේ මාලිමා සාමාජිකයින්ට වඩා ජවිපෙ කේඩරය විසින් මෙතුවක් රැස් ‌කල සංකේතිය ප්‍රග්ධනයයි. මෙලෙස ප්‍රතිරූපය දුර්වල වී ඇත්නම් එම විශ්වාසය නැවත ගොඩනඟා ගැනීම ඔවුන් හමුවේ මේ මොහොතේ පවතින ප්‍රභලතම අභියෝගයයි. කෙසේ වෙතත් එම ප්‍රශ්නයට ඔවුන් දක්වන ප්‍රතිචාරයේ ස්වභාවය අනුව ඔවුන්ගේ දේශපාලන අනාගතය හැඩගස්වනු ඇත.

විශාලතම පාඩම වන්නේ දේශපාලනයේ ප්‍රතිරූපය යථාර්ථයයි


මෙම තත්වයෙන් ඉගෙන ගත හැකි එක් වැදගත් පාඩමක් වන්නේ, දේශපාලනයේ දී ප්‍රතිරූපය යථාර්ථයෙන් වෙන් නොවන බවයි. මහජනතාවට, ඔවුන් දකින සහ විශ්වාස කරන දේ සත්‍යය බවට පත්වේ. ඕනෑම දේශපාලන පක්ෂයක් තම ප්‍රතිරූපය සාර්ථකව පවත්වා ගෙන යන තාක් කල්, එය යථාර්ථය ලෙස පිළිගනු ලැබේ. නමුත් එම ප්‍රතිරූපය ප්‍රශ්න කළ පසු, සියල්ල වෙනස් වේ. මෙය ජවිපෙට පමණක් නොව, සියලු දේශපාලන ව්‍යාපාරවලට අදාළ පොදු ගුණයක් බව කිව යුතුය.

අවසාන වශයෙන් ජවිපෙ මේ මොහොතේ දේශපාලනයේ අවදානමේ සහ අවස්ථාවෙහි මොහොතක් ලෙස 


අද ජනතා විමුක්ති පෙරමුණ බරපතල අභියෝගයකට මුහුණ දී සිටී. එය දේශපාලනික වශයෙන් පමණක් නොව, සංකේතාත්මකවද නිරුපණය වේ. ජවිපෙට පවතී ගාමක ශක්තිය බවට සැමවිටම පැවතියේ එහි සරල බව සහ අවංකභාවයේ ප්‍රතිරූපයයි. දැන් එම ප්‍රතිරූපය දුර්වලවී වැහැරී යමින් තිබේ. එබැවින් එයින් ලැබෙන ප්‍රතිවිපාක සැලකිය යුතු ලෙසම අන්තරායකාරී විය හැකිය. වාමවාදී දේශපාලන ව්‍යාපාරයක් කලක් පෙනී සිටි පවතින ක්‍රමය පිලිබඳ දෘෂ්ටිමය විවේචනය එම පද්ධතියේම තවත් කොටසක් ලෙස දැකීමට ලැබීම බරපතල අවදානමක් රැගෙන එනු ඇත.

කෙසේ වෙතත්, මෙම මොහොතේද ඔවුන්ට තවත් අවස්ථාවක් ලබා දෙයි. ජනතා විමුක්ති පෙරමුණට පවතින සමාජ ආර්ථික සහ ජාත්‍යන්තර දේශීය දේශපාලන ගැටළු විවෘතව ආමන්ත්‍රණය කිරීමට, සංවර්ධන අභියෝග, විනිවිදභාවය පවත්වා ගැනීමට, සහ මහජන අපේක්ෂාවන් සමඟ නැවත සම්බන්ධ වීමට, හැකි නම් එහි සංකේතාත්මක ශක්තිය නැවත ගොඩනඟා ගැනීමට යම් කුඩා හැකියාවක් ඉතිරිව පවතී. නමුත් ප්‍රතිරූපය සහ යථාර්ථය අතර පරතරය දිගටම වර්ධනය වුවහොත්, පරිහානිය තියුණු විය හැකිය.

අවසාන වශයෙන්, ශ්‍රී ලාංකික දේශපාලනය අපට සරල සත්‍යයක් මතක් කර දෙයි. මිනිසුන් වැරදි වලට සමාව දිය හැකිය. නමුත් ඔවුන් බිඳුණු විශ්වාසයට සමාව දෙන්නේ ඉතාමත් කලාතුරකින් බව ඔවුන් හොඳින් සිහි තබාගැනීම අනාගතයට යහපත්ය. ඒ අනි කිසිවක් නිසා නොව දැනටමත් බොහෝ බලාපොරොත්තු සුන්වීම් අත්විඳ ඇති සමාජයක, විශ්වාසය යනු සියල්ලටම වඩා වටිනාම, සහ බිඳෙන සුළු එකම වත්කම නිසාය.

සටහන : විජේපාල දිසානායක විසිනි
[email protected]

Latest Posts

spot_imgspot_img