Saturday, February 14, 2026
spot_img

Latest Posts

පාත්ෆයින්ඩර් (Pathfinder) පදනම සහ චින්තන් (Chintan) පර්යේෂණ පදනම අතර උපායමාර්ගික අවබෝධතා ගිවිසුමක්!

(කොළඹ, 2026 පෙබරවාරි 06)

ස්වාධීන බුද්ධි මණ්ඩල (Think Tanks) ලෙස සිය සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ පැත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation) සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර මූලස්ථානය කරගත් චින්තන් පර්යේෂණ පදනම (Chintan Research Foundation – CRF) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (06) කොළඹදී සිදුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය වැඩබලන මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාන්ඩේ මහතා සහ පැත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ. දෙපාර්ශවය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබන ලද්දේ පැත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා සහ චින්තන් පර්යේෂණ පදනමේ සභාපති ශිෂීර් ප්‍රියදර්ශි මහතා විසිනි.

සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර: මෙම ගිවිසුම හරහා ආයතන දෙක පහත සඳහන් ප්‍රධාන අංශ ඔස්සේ සහයෝගීව කටයුතු කිරීමට එකඟතාව පළ කර ඇත:

  • උපායමාර්ගික ඛනිජ සම්පත් (Strategic minerals)
  • පුනර්ජනනීය බලශක්තිය
  • නව තාක්ෂණයන් හඳුන්වා දීම
  • කලාපීය සම්බන්ධතාවය (Connectivity)
  • සංචාරක කර්මාන්තය, වෙළඳාම සහ ආයෝජන
  • කලාපයට බලපාන භූ-දේශපාලනික වර්ධනයන්

මෙම අවබෝධතා ගිවිසුම මගින් පැත්ෆයින්ඩර් පදනම ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩල සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර, එය ඉන්දු-ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමටත් රුකුලක් වනු ඇත.

මෙම අවස්ථාවට චින්තන් පර්යේෂණ පදනම නියෝජනය කරමින් ආචාර්ය චවි වසිෂ්ට් මහත්මිය ද, MMBL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී කේ. බාලසුන්දරම්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. පැත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දයාරත්න සිල්වා, ඉන්දු-ලංකා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තානාපති (විශ්‍රාමික) ඒ. ඒ. ජවාද් සහ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එස්. සල්ලේ යන මහත්වරු ද ඊට එක්ව සිටියහ.

Latest Posts

spot_imgspot_img