තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීමේ මුවාවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කිරීමට සහ තොරතුරු කොමිසම අකර්මණ්‍ය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව සිවිල් සමාජය සහ සියලුම මාධ්‍ය සංවිධාන පෙරටු කරගනිමින් දැඩි විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) රජයට දැඩිව අවධාරණය කරයි.

මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ, 2026 මැයි මස 13 වැනිදා එම සංගමයේ නියෝජිතයින් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න අතර පැවති නිල සාකච්ඡාවකින් අනතුරුව නිකුත් කළ විශේෂ නිවේදනයක් මඟිනි. එහිදී 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) සංශෝධනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් නිල වශයෙන් අනාවරණය කර ඇති අතර, එය තොරතුරු කොමිසම ක්‍රමයෙන් අකර්මණ්‍ය කර අගාධයට ඇද දැමීමේ සූදානමක් බවට සංගමය චෝදනා කරයි.
තොරතුරු කොමිසම මුහුණ දී ඇති වත්මන් අර්බුදය
අද වන විට තොරතුරු කොමිසම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඊට බලපා ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් එම පිළිබඳව අනාවරණය කර ඇත.
කොමිසම තුළ නීතිමය ලේඛන සකස් කිරීම සඳහා ප්‍රමාණවත් විශේෂඥ පිරිසක් නොමැති වීම සහ සමස්ත කාර්ය මණ්ඩලය සීමිත වීම,
කොමිෂන් සභාවේ නියමිත සාමාජිකයින් 5 දෙනා සම්පූර්ණව සිටින අවස්ථා අවම වීම නිසා, තීන්දු තීරණ දින නියමයක් නොමැතිව කල් යාම,
රජයේ ආයතන තොරතුරු කොමිසම කෙරෙහි දක්වන බිය සහ ගරුත්වය ක්‍රමයෙන් ගිලිහී යමින් පවතින අතර, ඉදිරියේදී ඔවුන්ගේ සහයෝගය සම්පූර්ණයෙන්ම අහිමි වීමේ අවදානමක් මතුවීම,
ජනාධිපති ලේකම් කාර්යාලය වෙතින් ඉල්ලා සිටින තොරතුරු ලබා නොදීම හේතුවෙන් එම තොරතුරු ලබා ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට සිදුවීම
යන ආධී ගැටළු පිළිබඳව, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කරයි.


ආණ්ඩුවේ සැඟවුණු න්‍යායපත්‍රයක් ද?
පොදු මහජනතාව සහ ජනමාධ්‍යවේදීන් රජයේ ආයතනවලින් තොරතුරු ඉල්ලා සිටීම වත්මන් ආණ්ඩුවට විශාල ගැටලුවක් වී ඇත්දැයි ප්‍රශ්න කරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කරලීම වෙනුවෙන් ගෙන ආ මෙම ඓතිහාසික පනත සංශෝධනය කරන්නේ මහජනතාවට තොරතුරු ලබාදීම වැළැක්වීමේ අරමුණින් දැයි බරපතළ සැකයක් මතු වන බව පවසයි.
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සුරක්ෂිත කිරීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රජයක මූලික වගකීමක් වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති එම මූලික අයිතිවාසිකම උල්ලංඝනය නොකරන ලෙස සංගමය රජයෙන් දැඩිව ඉල්ලා සිටී.

ව්‍යවස්ථාපිත ආයතනයක් වන තොරතුරු කොමිසමට අවශ්‍ය සම්පත් සහ සාමාජිකයින් වහාම ලබා දී එය ශක්තිමත් කරනවා වෙනුවට, පටු දේශපාලන අවශ්‍යතා මත පනත් සංශෝධන ගෙන ආහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනය හරහා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
වාර්තාකරණය: හරි දේශය ප්‍රවෘත්ති අංශය



