ආර්ථික පීඩනය හමුවේ මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටින මෙරට වාහන හිමියන්ගේ දේපළ අයිතියත්, මහ බැංකුවෙන් ලබා දුන් බලපත්‍රය අතේ තබාගෙන රටේ උත්තරීතර නීතියටත් පොලිසියටත් වඩා තමන් ඉහළින් සිටින බව සිතා පාතාල ස්වරූපයෙන් හැසිරෙන ලීසිං කොම්පැණි කාරයන්ගේ මාෆියාවත් අතර ගැටුම අද වන විට බරපතළ සමාජ හා නීතිමය ඛේදවාචකයක් බවට පත්ව තිබේ. ලීසිං වාරිකයක් දෙකක් ප්‍රමාද වූ පමණින්, අධිකරණ නියෝග හෝ නීත්‍යානුකූල ක්‍රියාපටිපාටි තුට්ටුවකට මායිම් නොකර දිනෙන් දින මහමඟදී වාහන උස්සාගෙන යන ‘ලීසිං සීසර් පාතාලයක්’ රට පුරා මුදාහැර ඇත.
ඊටත් වඩා ඛේදනීය තත්ත්වය වන්නේ ඇතැම් ප්‍රදේශවල පොලිස් නිලධාරීන් පවා නීතිය නමා මෙම කොල්ලකාරී සීසර් මාෆියාවට සෘජු සහාය ලබා දීමයි. පසුගියදා නුවරඑළිය නානුඔය ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමත්, කුරුණෑගල මහාධිකරණය අබියසදී ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය කළ ආන්දෝලනාත්මක අනාවරණයත් මෙරට විධිමත් හා අවිධිමත් මූල්‍ය ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක වන මෙම මාෆියාකරුවන්ගේ කුණුවූ ස්වරූපය එකවර හෙළිදරව් කරයි.
පොලිස් අවවාදත් තුට්ටුවකට නොතැකූ නානුඔය ‘සීසර්’ කොල්ලය
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ නවතා තිබූ වෑන් රථයක් වාරික නොගෙවූ බව පවසමින් හිමිකරුගේ කිසිදු අනුදැනුමකින් තොරව පැහැරගෙන යාමට තැත් කළ ලියාපදිංචි මූල්‍ය සමාගමකට අනුයුක්ත සීසර් නියෝජිතයෙකු නානුඔය පොලිසිය මැදිහත් වී නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ ෆාමස්ටන් ප්‍රදේශයේදී වාහනය සමඟ අත්අඩංගුවට ගත් අතර, සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු පොලිසිය මඟහැර පලා ගොස් තිබේ.
වාහනය අත්පත් කරගැනීමට පෙර අදාළ මූල්‍ය ආයතනයෙන් කිසිදු පූර්ව ලිඛිත නීතිමය නොතීසියක් හෝ සාධාරණ දැනුම්දීමක් තමන්ට ලැබී නොතිබූ බවට වාහන හිමිකරු චෝදනා කරයි. මෙහි ඇති වඩාත් තීරණාත්මක හා උද්ධච්ච පැතිකඩ වන්නේ වාහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසමින් මීට පෙර අදාළ මූල්‍ය පාර්ශ්වය විසින්ම නානුඔය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ පසුබිමක මෙය සිදුවී තිබීමයි.
“වාහනයේ හිමිකරු සමඟ සාකච්ඡා කර ඔහුගේ කැමැත්ත මත පමණක් වාහනය ලබාගන්නා ලෙස පොලිසිය අදාළ පාර්ශ්වයට තරයේ අවවාද සහ උපදෙස් ලබාදී තිබුණා. හිමිකරු දැනුවත් කිරීමකින් තොරව වාහනය රැගෙන යාම පැහැදිලි සාපරාධී වරදක්.” — ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ජේ.කේ.එන්. විජේරාම (නානුඔය පොලිස් ස්ථානාධිපති)
පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පවා බල්ලාට දමා මහමඟ නවතා ඇති වාහනයක් උස්සාගෙන යාමට තරම් ලීසිං කොම්පැණිවල සීසර් පාතාලය නිර්භීත වී ඇත්තේ, ඔවුන් පිටුපස සිටින මාෆියා පන්නයේ ආයතනික ලොක්කන් රටේ නීතියටත් පොලිසියටත් වඩා තමන් බලවත් යැයි සිතා සිටින නිසා නොවේද යන්න බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතුය.
නීතියත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුත් පයට පාගන මූල්‍ය මාෆියාව
ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුව තුළ කල්බදු හෝ මූල්‍ය පහසුකමක් යටතේ ලබාගත් වාහනයක් නැවත අත්පත් කරගැනීම සඳහා පැහැදිලි සීමා මායිම් පනවා තිබේ. 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනතේ 21 වන වගන්තිය අනුව වාරික පැහැර හැරියද, ගිවිසුම අවලංගු කිරීමට හෝ සම්පූර්ණ මුදල ඉල්ලා සිටීමට පෙර හිඟ මුදල් පියවීමට අවම වශයෙන් දින 7ක කාලයක් ලබා දෙමින් ලියාපදිංචි තැපෑලෙන් ව්‍යවස්ථාපිත නොතීසියක් යැවීම අනිවාර්ය වේ.
එමෙන්ම පනතේ 27 සහ 28 වගන්ති ප්‍රකාරව වාහනයක් නැවත අත්පත් කරගත හැක්කේ සාමකාමීව පමණක් වන අතර, හිමිකරුගේ විරෝධයක් පවතී නම් බලහත්කාරකම් පෑම නීතිවිරෝධී වේ. එවැනි විටෙක නිසි දිසා අධිකරණ නියෝගයක් ලබාගැනීම අනිවාර්ය බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු (S.C. CHC. Appeal No. 19/2022) සහ ශ්‍රී ලංකා මහ බැංකු නියෝග මඟින්ද තහවුරු කර තිබේ. ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය (SLEA) විසින් පළ කරන ලද මූල්‍ය නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ විද්වත් ග්‍රන්ථය මඟින් පවා මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ පවතින අධීක්ෂණ දුර්වලතා සහ පාරිභෝගික ආරක්ෂණයේ හිඩැස් පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබේ.
නීතිය මෙතරම් නිරවුල්ව පවතිද්දීත් රට පුරා දිනෙන් දින වාහන ඉස්සීමේ මාෆියාව ජයටම ක්‍රියාත්මක වන්නේ නීතියේ අඩුවක් නිසා නොව, මහ බැංකුවේ අධීක්ෂණය නිදිවැදීමත් ඇතැම් පොලිස් ස්ථානවල නිලධාරීන් ලීසිං කොම්පැණි කාරයන්ගේ සහ උන්ගේ සීසර් මැරයන්ගේ අතකොළු බවට පත්ව සිටීමත් නිසා බව පැහැදිලිය.
ඇතුගල්පුර ‘හොර ෆිනෑන්ස්’ මාෆියාව සහ පොලිස් අතපෙවීම්
විධිමත් ලීසිං කොම්පැණි කාරයන්ගේ සීසර් පාතාලය මෙසේ නීතිය නමන අතරේ, කුරුණෑගල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා මහ බැංකුවේ පවා ලියාපදිංචි නොවූ ‘හොර ෆිනෑන්ස් මාෆියාවක්’ පිළිබඳව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා කුරුණෑගල මහාධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දැවැන්ත අනාවරණයක් සිදු කළේය.
ඇතුගල්පුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මෙම අවිධිමත් මූල්‍ය ජාලය මඟින් ණය ලබාගත් පුද්ගලයන්ගේ වාහන උපක්රමශීලීව පැහැරගන්නා බවට පැමිණිලි 30කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දිනවල සිය සංගමයට ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.
"වාහනය ගේන්න කියලා වාහනය පැහැරගෙන යනවා. පැහැරගෙන ගිහිල්ලා හොඳම කාරණාව තමයි එදින හෝ ඊට පහුදින ඔවුන්ගේ නමටම මේ වාහනය පවරගන්නවා. අහිංසක මිනිසුන්ගේ ලක්ෂ 100ක් වටින වාහනයට ලක්ෂ 50ක් ලබා දීලා, නැවත මේ වාහනය පවරගෙන ලක්ෂ 100කට විකුණනවා. එතකොට මේ මිනිසුන්ට සත පහක මුදලක් නැවත දෙන්නේ නැහැ." — අසංක රුවන් පොතුපිටිය (සභාපති, ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය)
මෙම වාහන කොල්ලකෑමේ ජාවාරමට මෑත කාලීනව කුරුණෑගල පොලිසියේ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ද සහයෝගය ලැබී ඇති බවට පොතුපිටිය මහතා සෘජුවම චෝදනා කරන අතර, පැය 24ක් හෝ 48ක් වැනි කෙටි කාලයක් තුළ පැහැරගත් වාහනයක අයිතිය පැවරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න වගකිවයුතු ආයතනවල දැඩි අවධානයට ලක්විය යුතුය.
පසුගිය මැයි 02 වන දින මේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව තමා ඇතුළු අසාධාරණයට ලක්වූ වින්දිතයන් 15 දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ව්‍යාජ ක්‍රමවේදයකට නඩුවක් ගොනු කළ බවත්, මහේස්ත්‍රාත්වරයා එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කළ පසු ප්රතිශෝධන පෙත්සමක් මත මහාධිකරණයේ පෙනී සිටීමට පෙර දින රාත්‍රියේ සිටම තමන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවත් ඔහු හෙළි කළේය.
මූල්‍ය මාෆියාවට එරෙහිව නියාමකයන් සහ පොලිසිය හමුවේ ඇති තියුණු ප්‍රශ්න
නානුඔය සිදුවීම සහ කුරුණෑගලින් මතුවන චෝදනා එකම සමීකරණයකට ගෙන විමසන විට, මෙරට පාලන හා නියාමන ආයතන වෙත මඟහැර යා නොහැකි බරපතළ ප්‍රශ්න කිහිපයක් එල්ල වේ.
- හොර ෆිනෑන්ස් ජාලය වැටලීම: ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවී පුරවැසියන්ගේ කෝටි ගණන් වටිනා වාහන කොල්ලකන ඇතුගල්පුර ඇතුළු රට පුරා ක්‍රියාත්මක හොර ෆිනෑන්ස් මාෆියාව වැටලීමට මහ බැංකුව මෙතෙක් නිදිවැදුණේ ඇයි?
- ලීසිං ලොක්කන්ගේ වගවීම: බලපත්‍රලාභී ලීසිං කොම්පැණි කාරයන් මූල්‍ය කල්බදු පනතේ 21, 27 සහ 28 වගන්ති උල්ලංඝනය කරමින් සීසර් පාතාලය ලවා මහමඟ කොල්ලකෑම් සිදු කරන විට, හුදෙක් කුලී සීසර්වරුන් පමණක් නොව එම නියෝග දෙන මාෆියා පන්නයේ ආයතනික කළමනාකාරීත්වය නීතිය හමුවට නොගෙනෙන්නේ ඇයි?
- පොලිස් දෙපාර්තමේන්තුවේ දෙබිඩි පිළිවෙත: නානුඔය පොලිසිය මූල්‍ය කල්බදු පනතේ හරයට අනුකූලව ක්ෂණිකව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක වෙද්දී, කුරුණෑගල ඇතුළු ඇතැම් ප්‍රදේශවල පොලිස් නිලධාරීන් වාහන ඉස්සීමේ ක්‍රියාවලියට සීසර් කල්ලිවලට සහාය දෙමින් පාරිභෝගිකයා අසරණ කිරීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම අවධානය යොමු නොවන්නේ ඇයි?
ණය වාරිකයක් ගෙවාගත නොහැකි වීම යනු පුරවැසියෙකුගේ දේපළ කොල්ලකෑමට ලීසිං කොම්පැණි කාරයන්ට හෝ උන්ගේ සීසර් පාතාලයට දෙන බලපත්‍රයක් නොවේ. මහ බැංකුවත්, මුදල් අමාත්‍යාංශයත්, පොලිසියත් වහාම ක්‍රියාවෙන් නීතිය තහවුරු නොකළහොත්, නීතියේ ආධිපත්‍යය අභිබවා ලීසිං මාෆියාවේ කැලෑ නීතිය රට පුරා රජයන දිනය වැඩි ඈතක නොවනු ඇත.



