ශ්‍රී ලංකන් ගුවන් ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන ‘එයාර්බස්’ ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුවෙකු වූ කපිල චන්ද්‍රසේනගේ දේහය හමුවීමත් සමඟ දේශපාලන සහ නීතිමය ක්ෂේත්රය තුළ දැඩි කතාබහක්!
මෙම මරණය හුදෙක් ‘සියදිවි නසාගැනීමක්’ ද,
නැතහොත් බලවත් දේශපාලන රහස් රැසක් වැළලී යන තවත් එක් ‘සැලසුම් සහගත අතුරුදන් කිරීමක්’ ද යන්න පිළිබඳව සමාජය තුළ ප්‍රශ්නාර්ථ මතු වෙමින් පවතී.
කපිල චන්ද්‍රසේන අතුරුදන් වීම සහ මරණය
ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත පොලිසිය ඔහුව බාන්ස් පෙදෙසේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද ඔහු එහි සිටියේ නැත. පසුව කොල්ලුපිටියේ නිවසක තිබී ඔහුගේ දේහය හමුවූ අතර, පොලිසිය දැනට මෙම මරණය එය සියදිවි නසාගැනීමක් ලෙස සැක කළද නිල විමර්ශන අවසන් වී නොමැත.
මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන් වන නිමල් පෙරේරා සහ ප්‍රියංකා නියෝමාලි මීට පෙර තමන්ට ජීවිත තර්ජන ඇති බව ප්‍රකාශ කර තිබීම මෙම මරණය කෙරෙහි ඇති සැකය තව තවත් තීව්ර කරයි.
දින 54ක් රිමාන්ඩ් කර සිටි කපිල චන්ද්‍රසේනට ඇප ලැබුණද, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනා ඔහු සමග කිසිදු පෞද්ගලික සම්බන්ධයක් නැති බව හෙළි වීම නිසා ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ සිද්ධිය හේතුවෙන්, අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් මත ඇප අවලංගු කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කපිල චන්ද්‍රසේන මහතාව යළි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ඊයේ වරෙන්තු නිකුත් කර තිබෙනවා.
එයාර්බස් ගනුදෙනුව සහ අල්ලස් චෝදනා

2013 වසරේදී එයාර්බස් යානා 14ක් මිලදී ගැනීමේ සහ බදු පදනම මත ලබා ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන ගණනක අල්ලස් ලබාගත් බවට කපිල චන්ද්‍රසේනට චෝදනා එල්ල විය ඔහු මුලින් අල්ලස් කොමිසමට ප්‍රකාශ කර තිබුණේ මෙම කොමිස් මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට ලබා දුන් බවයි, නමුත් පසුව ඔහු දිවුරුම් ප්‍රකාශයක් මගින් සඳහන් කළේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ තර්ජන හමුවේ එම නම් සඳහන් කළ බවයි.
එයාර්බස් ගනුදෙනුවේදී තම බිරිඳගේ නමින් බෲනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා සිංගප්පූරු බැංකු ගිණුම් හරහා යුරෝ දාහතර ලක්ෂ පනස් හතර දහසකට අධික අල්ලස් මුදල් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී ඇත. එම මුදල් ඕස්ට්‍රේලියාවේ පිහිටි ඔහුගේ පෞද්ගලික ගිණුමකට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ඇතුළු පිරිසකගේ ගිණුම් වෙත සංසරණය කර ඇති බවට විමර්ශනවලදී මේ වන විට අනාවරණය වී තිබෙනවා.
මියයාමට පෙර කපිල චන්ද්‍රසේන විසින් නිකුත් කළ බව කියන දිවුරුම් ප්‍රකාශය ඉතාමත් තීරණාත්මක සාක්ෂියකි.
“අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක;- මීට සති දෙක තුනකට කලින් කෙනෙක් ආවා… ඒ කෙහෙළියගේ නඩුවේ කෙනෙක්. මිනිහට මම චාන්ස් දෙකක් දුන්නා, ගත්තේ නෑ. මිනිහා එල්ලිලා මැරුණා… තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දාගන්න තැනට මම වැඩ කරනවා.”
මෙම ප්‍රකාශය හරහා පෙනී යන්නේ කපිල චන්ද්‍රසේන දැඩි මානසික පීඩනයක සහ මරණ බියක පසු වූ බවයි. විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ගේ නම් හෙළි කරන ලෙස ඔහුට බලපෑම් එල්ල වූ බවට ඔහු කළ චෝදනාව, මෙම මරණය දේශපාලන පළිගැනීමක් ද නැතහොත් සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක් ද යන්න තවදුරටත් ව්‍යාකූල කරයි.
සිදුවීම පිටුපස ඇති දේශපාලන සහ මාධ්‍ය හැසිරීම
මෙම මරණය පිළිබඳ පුවත මුලින්ම වාර්තා වූ ආකාරය ද සැක සහිතය.
පොලිසිය සිදුවීම දැන ගැනීමටත් පෙර ඇතැම් දේශපාලන කඳවුරු සහ මාධ්‍ය ජාල මෙය “සියදිවි නසාගැනීමක්” ලෙස හංවඩු ගැසීමට උත්සාහ කළ බවට වාර්තා වෙනවා.
රංග රාජපක්ෂගේ මරණය මෙන්ම කපිල චන්ද්‍රසේනගේ මරණය ද ප්‍රබල දේශපාලන බලවේග දෙකක් අතර දෝලනය වන “සැකකටයුතු මරණ” දාමයක පුරුක් ලෙස පෙනීයයි.
කපිල චන්ද්‍රසේනගේ මරණයත් සමඟ එයාර්බස් වංචාවේ ප්‍රධාන සාක්ෂිකරුවකු නිහඬ වී ඇත.
ඔහු සැබවින්ම පීඩනය දරාගත නොහැකිව සියදිවි නසාගත්තාද? නැතහොත් ඔහු දන්නා ‘බරපතල රහස්’ නිසා ඔහුව නිහඬ කරනු ලැබුවාද? එහෙමත් නැතිනම් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව කළ චෝදනා සත්‍යයක්ද?
මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක වගකීමකි. එහෙත් ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි ‘අබිරහස් මරණ’ බොහෝ විට විමර්ශනවලින් තොරවම වැළලී ගිය බව අමතක කළ නොහැක. රජීව් ජයවීර, මීගස්ආරේ කජ්ජා සහ රංග රාජපක්ෂ, දිනේෂ් ශාෆ්ටර් ඇතුළු දීර්ඝ නම් ලැයිස්තුවට කපිල චන්ද්‍රසේනගේ නමද දැන් එකතු වී හමාරය.



