විශේෂ ලිපිය | සී. කේ. අමරතුංග (අමරසිරි)
සිරගත කර සිටින බොදුබල සේනා මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්යානයේ දින ගණනාවක් පුරා ඇදී යන සත්යග්රහය වටා නිර්මාණය වූ නීතිමය හා දේශපාලන ගැටුම අද (23) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

එහිදී වඩාත්ම අවධානයට ලක්වූ කරුණ වූයේ, විරෝධතාවයේ නිරත පිරිස වහා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව කළ අත්තනෝමතික ඉල්ලීම ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවේ සෘජුවම ප්රතික්ෂේප වීමයි.
හිමිවරුන් කොටු කරන්න නීතිපති කළ මෙහෙයුම කුඩුපට්ටම් වෙයි
අධිකරණය හමුවේ දෙපාර්ශ්වය විසින්ම මෝසම් පත්ර දෙකක් ගොනු කර තිබූ අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කලණ බුද්ධදාස දැඩි ස්ථාවරයක සිටිමින් ඉල්ලා සිටියේ ඊයේ දින නිකුත් කළ අධිකරණ නියෝගය කියවා දුන් පසුවත් එම ස්ථානයෙන් ඉවත් නොවූ භික්ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන් වහා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසයි.
කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුවේ එම ආවේගශීලී ඉල්ලීම දැඩි විනිශ්චයකට ලක්කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම, එවැනි වරෙන්තුවක් නිකුත් කිරීම තරයේ ප්රතික්ෂේප කරමින් මෙසේ සඳහන් කළේය:
“එම ස්ථානයේ වරෙන්තු නිකුත් කිරීමට තරම් දෙයක් සිදුව නැහැ.”
නීතිපති දෙපාර්තමේන්තුව විරෝධතාකරුවන් නීතියේ දැලට හසුකර ගැනීමට දැරූ ක්ෂණික ප්රයත්නය එම තීරණයත් සමඟ අධිකරණය හමුවේ අසාර්ථක විය.
“විරෝධතා පෑම මූලික මිනිස් අයිතිවාසිකමක්” — ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න
ඊයේ ලබාදුන් ඉවත් වීමේ ආඥාව බලරහිත කරන ලෙස හෝ වෙනස් කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එල්ල වන චෝදනා දැඩි ලෙස ප්රශ්න කළේය.
- “ස්වාමීනි, අපි රැඳී සිටින්නේ විහාරමහාදේවි උද්යානයේ බුදුපිළිම පර්යන්තයේ. කිසිදු පොදු දේපළකට හානි කර නැහැ. දින හතක් එකදිගට රැඳී සිටින්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් විදිහට. අපි නීතියට ගරු කරනවා.”
- “මේ දිනවල සිදුවන්නේ කඨින චීවර සකස් කිරීම සහ ආගමික වතාවත්. මහසෝන් යාගය කියන්නෙත් අපේ සංස්කෘතියේ කොටසක්. බුදුපිළිම පර්යන්තයේ රැඳී සිට විරෝධතාවයේ යෙදෙන්න අවසර ලබාදෙන්න.”
“අවසර නැති මහසෝන් යාග සහ පිරිත් ශබ්ද” — රජයේ නීතිඥවරයාගේ තර්කය
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කලණ බුද්ධදාස අධිකරණය හමුවේ තර්ක කළේ, නාගරික කොමසාරිස්වරයාගේ පැමිණිල්ලකට අනුව මහජන පීඩාව වැළැක්වීමට මෙම ක්රියාමාර්ග ගත් බවයි.
කොළඹ මහ නගර සභාවෙන් නිසි අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්ර භාවිත කරමින් පිරිත් ප්රචාරය කර අධිකරණ නියෝගය කියවීම කඩාකප්පල් කළ බවත්, එම ස්ථානයේ මහසෝන් යාග පවත්වමින් මහජනතාව දැඩි අපහසුතාවට පත්කර ඇති බවත් ඔහු සඳහන් කළේය. එසේම මෙම අඛණ්ඩ රැඳී සිටීම හරහා දීර්ඝකාලීනව දේශපාලනික හා මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවීය.
මහේස්ත්රාත්වරයාගේ අවසන් තීන්දුව: “ආඥාව වෙනස් කරන්නේ නෑ — නීතිය ක්රියාත්මක කරන්න පොලිසියට බලය තියෙනවා”
දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අවධාරණය කළේ, පොදු දේපළවලට හානිවීම වැළැක්වීම සහ මහජන සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඊයේ නිකුත් කළ නියෝගය කිසිසේත්ම වෙනස් නොකරන බවයි.
- “යම්කිසි වැඩසටහනක් හෝ ආගමික කටයුත්තක් ක්රියාත්මක කරනවා නම් එම ආයතනය භාර බලධාරීන්ගෙන් නීත්යනුකූලව අවසර ලබාගත යුතුයි. මහජන සාමය ආරක්ෂා කිරීම මූලික අවශ්යතාවක්.”
- “ඊයේ ලබාදුන් නියෝගය වෙනස් කළ නොහැකියි. එම නියෝගයට එරෙහිව කිසියම් හෝ පාර්ශ්වයක් නීතිය කඩකරමින් කටයුතු කළහොත්, දණ්ඩ නීති සංග්රහය ප්රකාරව අවශ්ය නීතිමය පියවර ගැනීමට පොලිසියට පූර්ණ බලය තිබෙනවා.”
අද දින මෙම තීරණාත්මක නඩු විභාගය සඳහා පූජ්ය උලපනේ සුමංගල හිමි, පූජ්ය බලංගොඩ කස්සප හිමි, මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, පූජ්ය තීනියාවල පාලිත හිමි සහ පූජ්ය විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් මෙන්ම විශාල පාක්ෂිකයන් පිරිසක් අධිකරණ පරිශ්රය වෙත පැමිණ සිටියහ.
නීතිපතිගේ වරෙන්තු උගුලෙන් හිමිවරුන් තාවකාලිකව බේරුණද, අධිකරණ ආඥාව නොවෙනස්ව පැවතීම හමුවේ විහාරමහාදේවි භූමියෙන් සත්යග්රහය ඉවත් කිරීමට පොලිසිය මීළඟට ගනු ලබන දැඩි ක්රියාමාර්ගය කුමක්ද යන්න ඉදිරි පැය කිහිපය තුළ තීරණය වනු ඇත.



