“නීතියට ඉහළින් කිසිවෙකුත් නැත; තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙනු ලැබේ.”
වත්මන් ජනාධිපතිවරයා දිවුරුම් දුන් තැන් පටන් සමාජගත කළ සුපිළිපන් රාජ්ය පාලනයේ මුඛ්ය පාඨය මෙයයි. එහෙත් එම ප්රකාශය හුදු දේශපාලන සටන් පාඨයකට සීමා වී, තමන්ගේ හිතවතුන් ඉදිරියේ නීතියේ දෑස් අන්ධ වන බව තහවුරු කෙරෙන තවත් එක් බරපතළ වංචාවක් හා රාජ්ය දේපළ අවභාවිතයක් ජාතික චිත්රපට සංස්ථාව කේන්ද්ර කරගනිමින් මේ වන විට අනාවරණය වෙමින් පවතී.

සම්මානලාභී සිනමාවේදියෙකු මෙන්ම කලාකරුවෙකු වන අජිත් ධර්මසූරිය සිය සමාජ මාධ්ය ගිණුම ඔස්සේ ලිපි ලේඛන හා අංක සහිතව හෙළිදරව් කර ඇත්තේ, සංස්කෘතික අමාත්ය මහාචාර්ය හිනිඳුම සුනිල්සෙනෙවිගේ සහ චිත්රපට සංස්ථා බලධාරීන්ගේ සැබෑ නිරුවතයි.
විශ්රාම පූර්ව නිවාඩු අස්සේ ආයතන දෙකකින් වැටුප් ගත් ‘නාවික කොමාන්ඩර්’
සිද්ධියේ සුලමුල දිවයන්නේ ශ්රී ලංකා නාවික හමුදාවේ හිටපු කොමාන්ඩර්වරයෙකු වන කේ. ආර්. ප්රේමවීර නමැත්තා වෙතය.
- 2021 අගෝස්තු 02 දින නාවික හමුදාවෙන් විශ්රාම පූර්ව නිවාඩු ලබාගන්නා මොහු, නිසි කිසිදු පූර්ව රාජ්ය අනුමැතියකින් තොරව 2021 අගෝස්තු 05 දින ශ්රී ලංකා පදනම් ආයතනයේ (SLFI) අධ්යක්ෂ (පාලන) ධුරයේ වැඩ භාරගෙන තිබේ.
- ඔහු නාවික හමුදාවෙන් නිල වශයෙන් විශ්රාම ගොස් ඇත්තේ 2021 නොවැම්බර් 05 වනදාය.
එනම්, එකම කාලසීමාවක් තුළ ශ්රී ලංකා නාවික හමුදාවෙන් මෙන්ම ශ්රී ලංකා පදනම් ආයතනයෙන් ද එකවර වැටුප් හා දීමනා ලබාගනිමින් මොහු කර ඇත්තේ අමු අමුවේ රාජ්ය මුදල් කොල්ලකෑමකි. මෙම වංචාව හෙළිවීමත් සමඟ, ආයතන සංග්රහයේ පළමු වෙළුමේ V වන පරිච්ඡේදයේ 6.2 වගන්තිය ප්රකාරව කේ. ආර්. ප්රේමවීරව පදනම් ආයතනයේ ධුරයෙන් නෙරපා හරිනු ලබයි.
කැබිනට් මණ්ඩලය අන්දවා හිතවතා ඔසවා තැබූ හිනිඳුම සුනිල්සෙනෙවිගේ දේශපාලන ව්යාපෘතිය
රාජ්ය මුදල් වංචා කර ආයතන සංග්රහය යටතේ සේවයෙන් පහකළ මෙවැනි පුද්ගලයෙකුට සාමාන්ය ක්රමවේදය යටතේ යළි රාජ්ය සේවයේ පත්වීමක් ලබාගත නොහැකිය. එහෙත් ඔහුට තිබූ එකම සුදුසුකම වූයේ වත්මන් සංස්කෘතික අමාත්ය හිනිඳුම සුනිල්සෙනෙවිගේ “සමීප හිතවතෙකු හා පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම්වරයා” වීම පමණි.
2025 වසරේ අගභාගයේදී අමාත්ය හිනිඳුම සුනිල්සෙනෙවි විසින් කැබිනට් මණ්ඩලයට විශේෂ පත්රිකාවක් ඉදිරිපත් කරන්නේ මෙම පුද්ගලයාගේ මූල්ය වංචාව සහ සේවයෙන් පහකිරීමේ කුණු ගොඩ සඟවමිනි. සත්ය තොරතුරු වසන් කරමින් කැබිනට් මණ්ඩලය නොමඟ යවා, ප්රේමවීරව ජාතික චිත්රපට සංස්ථාවේ සාමාන්යාධිකාරී (General Manager) පුටුවේ වාඩි කරවීමට අමාත්යවරයා කටයුතු කළේය. හිතවතා පුටුවේ හිඳුවන අවස්ථාවට අමාත්යවරයා ද ගොස් පෞද්ගලිකවම ආශිර්වාද කළේ මේ “සුපිළිපන්” පාලනයේ සැබෑ තරම පෙන්වමිනි.
සුගීෂ්වරට එක නීතියක් – හිනිඳුමගේ සගයාට තවත් නීතියක්ද?
රාජ්ය ආයතන දෙකකින් වැටුප් ලබා ගැනීමේ වරදට හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ සුගීෂ්වර බණ්ඩාර අද පසුවන්නේ ඇප පවා නොලබා රිමාන්ඩ් බන්ධනාගාරයේය. එය නීතියේ නිසි ක්රියාමාර්ගය නම්, එකම වරද කර ආයතනයකින් පන්නා දැමූ කේ. ආර්. ප්රේමවීර නීතියෙන් බේරී නිදහසේ වැජඹෙන්නේ කාගේ රැකවරණයෙන්ද?
2026 ජනවාරි 20 වන දින අදාළ රේඛීය අමාත්යාංශය මේ පිළිබඳව දැනුවත් කර තිබියදීත්, ශ්රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය සීතා පී. බණ්ඩාර මහත්මිය 2026 ජුනි 17 දින ලිඛිතවම සංස්කෘතික අමාත්යාංශයට සහ චිත්රපට සංස්ථා සභාපතිවරයාට කරුණු වාර්තා කර තිබියදීත් ආණ්ඩුව මුනිවත රැක්කේ මන්ද?
අවසානයේ අල්ලස් කොමිසමට හා පාර්ලිමේන්තුවට පැමිණිලි ගලා ඒමත් සමඟ ඇති වූ බරපතළ අපහසුතාව හමුවේ පසුගිය සැප්තැම්බර් මස ප්රේමවීරට එම පුටුවෙන් රහසේම බැස යාමට සිදුවිය. එහෙත් ප්රශ්නය වන්නේ ඉල්ලා අස්වීමෙන් පමණක් මූල්ය අපරාධයක් යටපත් කළ හැකිද යන්නයි.
අල්ලස් කොමිසමෙන් ලිපි ගොනු තුනක්: සභාපති සුදත්ගේ ‘මානසික දඩයම’
චිත්රපට සංස්ථාවේ සිදුවන මෙම අක්රමිකතා සම්බන්ධයෙන් අමාත්යවරයාට කොතෙක් පෙන්වා දුන්නද ප්රතිචාරයක් නොලැබුණු තැන, අජිත් ධර්මසූරිය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නිල පැමිණිලි ඉදිරිපත් කර ඇත. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 41 වගන්තිය ප්රකාරව පහත ලිපිගොනු යටතේ මේ වන විට විධිමත් විමර්ශන ආරම්භ කර තිබේ:
- AC/0087/2026
- AC/1597/2026
- AC/1783/2026
මේ අතර, සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව නිර්මාණකරුවන්ගේ ව්යාපෘති කඩාකප්පල් කිරීමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා තිබියදී, ඊට අදාළ තොරතුරු ලබා දුන්නේ යැයි සැක කරමින් සංස්ථාවේ සාමාන්ය නිලධාරීන් ඉලක්ක කර අභ්යන්තර “දඩයමක්” දියත් කර ඇති බවට බරපතළ චෝදනාවක් එල්ල වේ. අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව සාක්ෂිකරුවන්ට හා නිලධාරීන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම අධිකරණයට අපහාස කිරීමක් බඳු බරපතළ වරදකි.
රට හමුවේ ඇති ප්රශ්න කිහිපයක්:
- කැබිනට් මණ්ඩලය මුළා කර වංචනිකයෙකුට තනතුරු ලබා දුන් අමාත්ය හිනිඳුම සුනිල්සෙනෙවිට එරෙහිව ආණ්ඩුව ගන්නා විනය පියවර කුමක්ද?
- නීතිය සැමට එක හා සමාන නම්, සුගීෂ්වර බණ්ඩාරලා හිරේ විලංගුවේ වැටෙද්දී කේ. ආර්. ප්රේමවීර අත්අඩංගුවට නොගන්නේ මාලිමාවේ දේශපාලන රැකවරණය නිසාද?
- රාජ්ය මුදල් ද්විත්ව වැටුප් ලෙස ලබාගත් මුදල් අයකර ගැනීමටත්, ඊට අනුබල දුන් දේශපාලනඥයන්ගෙන් වන්දි අයකර ගැනීමටත් අල්ලස් කොමිසම පියවර ගන්නේ කවදාද?
දේශපාලන හිතමිතුරුකම් වෙනුවෙන් දූෂිතයන් සුදුහුණු ගාන පාලනයක් තුළ “වෙනස” යනු තවත් එක් ලාභදායී මිථ්යාවක් පමණි. නීතිය කාටත් එක සමානව ක්රියාත්මක වන තුරු මේ ලිපිගොනු සහ හෙළිදරව් වැසී නොයනු ඇත.



