ශ්රී ලංකාවේ මූල්ය සහ ආයෝජන ක්ෂේත්රය තුළ නීතියේ හිඩැස් භාවිතා කරමින් සිදුකරන තවත් දැවැන්ත මූල්ය අර්බුදයක ඛේදවාචකය මේ වන විටත් දිගහැරෙමින් තිබේ. ඒ ‘ඒෂියා ප්ලාන්ටේශන්’ (Asia Plantations) ව්යාපෘතිය වටා ගෙතී ඇති බරපතළ සැක සංකා සහ ගිණුම් හිස්වීමේ අභිරහසයි.

මේ වන විට අදාළ ආයතනයේ ගිණුම්වල මුදල් නොමැති බවට තොරතුරු වාර්තා වන අතර, පළාත් මට්ටමින් පිහිටුවා ඇති ශාඛාවල සේවය කරන සේවකයින්ට මාසික වැටුප් පවා ගෙවීමට ආයතනය අපොහොසත් වී ඇත. ගම්බද අහිංසක ජනතාවගෙන් මුදල් එකතු කර දුන් මෙම සේවකයින් අද වන විට අසරණ වී ඇති අතර, ඔවුන් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයෙන් අසන ප්රධානතම ප්රශ්නයක් ඇත; “අපගේ ගිණුම් අත්හිටුවා නැති පසුබිමක, අපි එකතු කරල දුන්න සල්ලිවලට මොකද වුණේ?” යන්නයි.
ඒෂියා ප්ලාන්ටේශන් යනු හුදු වගා ආයෝජන ආයතනයක් පමණක් නොවන බවත්, ඔවුන් ‘කසාගල’ වැනි ආයතන අනුගමනය කරමින් ‘වගා ආයෝජන’ යන නාමයට මුවා වී මහජනතාවගෙන් ‘වගා තැන්පතු’ ලෙස මූල්ය තැන්පතු ලබාගෙන ඇති බවත් අදාළ ගිවිසුම් නිරීක්ෂණය කිරීමේදී ඉතා පැහැදිලිව තහවුරු වේ. එසේ නම්, මෙතරම් බරපතළ මූල්ය ක්රියාවලියක් සිදුවෙද්දී ඊට වගකිවයුත්තන් නිදැල්ලේ සිටින්නේ කෙසේද?
නන්දලාල්ට මඟහැරුණු ‘ඒෂියා ප්ලාන්ටේශන්’
මෙහිදී මූලිකවම ප්රශ්න කළ යුතු වන්නේ ශ්රී ලංකා මහ බැංකුවේ භූමිකාව පිළිබඳවයි. මහජනතාවගේ මූල්ය ආරක්ෂාව තහවුරු කිරීමේ පරම වගකීම පැවරී ඇති මහ බැංකුව, මූල්ය තැන්පතු භාර නොගත්, හුදෙක් වගා ආයෝජන පමණක් සිදු කළ ඇතැම් ආයතන විමර්ශන කටයුතු වෙනුවෙන් යැයි පවසමින් වහාම ක්රියාත්මක වන පරිදි ගිණුම් අත්හිටුවීමට (Freeze) පියවර ගත්තේය. එහෙත්, පැහැදිලිවම මූල්ය තැන්පතු ලබාගත් ‘ඒෂියා ප්ලාන්ටේශන්’ වැනි ආයතනවලට මෙතරම් නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබුණේ කෙසේද?
දැඩි තීරණ ගන්නා බවට පුරසාරම් දොඩන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ උකුසු ඇසට මේ තරම් දැවැන්ත ‘මූල්ය තැන්පතු’ ජාලයක් මඟහැරුණේ කෙසේද යන්න බරපතළ සැකයට කරුණකි. සාමාන්ය ව්යාපාරිකයින්ගේ ගිණුම් එක රැයින් අත්හිටුවීමට සමත් මහ බැංකුව, ඒෂියා ප්ලාන්ටේශන් ආයතනය සම්බන්ධයෙන් ගත් තීරණය කුමක්ද? නැතහොත් මහ බැංකුව යම්කිසි අදෘශ්යමාන හස්තයක බලපෑමට යටත් වූයේද? මහජනතාව මහ බැංකුවෙන් ඇසිය යුතු ප්රධානතම ප්රශ්නය මෙයයි.
නීති උපදෙස් සහ මුදල් එළියට ඇදීමේ කූටෝපාය
ගිණුම් අත්හිටුවීමක් (Freeze) සිදු වී නොමැති නම්, සේවකයින්ට පඩි ගෙවීමට පවා නොහැකි වන තරමට ආයතනයේ ගිණුම් හිස් වූයේ කෙසේද? මෙහිදී මතුවන බරපතළම සැකය නම්, එකතු කළ මුදල් ආයතනයේ ගිණුම්වලින් ඉතා සූක්ෂම ලෙස එළියට ඇද්දේද යන්නයි.
ආයතනයක් බිඳ වැටෙන විට හෝ විමර්ශන ආරම්භ වීමට පෙර ඊට නීතිමය ආවරණයක් සපයා ගනිමින් මුදල් ඉවත් කරගැනීම යනු ඉහළ පෙළේ ආයතනික අපරාධවල සුලබ ලක්ෂණයකි. මෙම ක්රියාවලිය සඳහා ඒෂියා ප්ලාන්ටේශන් ආයතනය ප්රමුඛ පෙළේ නීති උපදේශන ලබා ගත්තේද? ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්රතිස්ස වැනි ඉහළ පෙළේ නීතිවේදීන්ගේ උපදෙස් හෝ උපාය මාර්ග මෙම ක්රියාවලිය පසුපස ක්රියාත්මක වූයේද යන සාධාරණ සැකය මේ වන විට මතුවෙමින් තිබේ. මහ බැංකුව ගිණුම් අත්හිටුවීමට පෙර, නීතියේ ඇති හිඩැස් සහ අර්ථකථන භාවිතා කරමින් ආයෝජකයින්ගේ මුදල් ආරක්ෂිත තැන්වලට හෝ වෙනත් ගිණුම් ජාල හරහා පිටමන් කළේද යන්න වහාම විමර්ශනය කළ යුතුව ඇත.
ඒෂියා ප්ලාන්ටේශන් යනු තවත් එක් වගා ව්යාපෘතියක් බිඳ වැටීමක් පමණක් නොවේ. එය මෙරට මූල්ය නියාමනයේ ඇති දුර්වලතා සහ නීතියේ සිදුරු භාවිතා කරමින් මහජන මුදල් කොල්ලකෑමේ සංකේතයකි. මහ බැංකුව වහාම මෙම ද්විත්ව ප්රමිතිය නවත්වා, ඒෂියා ප්ලාන්ටේශන් ආයතනයේ අතුරුදන් වූ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි සෙවීමට වෝහාරික මූල්ය විගණනයක් සිදු කළ යුතුය. එසේ නොමැති වුවහොත්, නීතියේ රැකවරණය මධ්යයේ සිදුවන මෙවැනි “සුදු කරපටි මංකොල්ලකෑම්” ඉදිරියටත් නිර්බාධිතව සිදුවනු ඇති අතර, අවසානයේ ඊට වන්දි ගෙවීමට සිදුවන්නේ සිය දහදිය මහන්සියෙන් මුදල් උපයාගත් අහිංසක තැන්පත්කරුවන්ට සහ ගම්බද සේවකයින්ට පමණි.
සංවාදයට විවෘතයි
Source: voiceofsrilanka



