Latest Posts

අධිකරණය අල්ලන්න හදන ආණ්ඩුවේ ‘වයස් නාටකය’ හෙළිවේ!: විනිසුරු ප්‍රශ්නය පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය ගැන පෙරටුගාමීන්ගෙන් තද ප්‍රහාරයක්

අද (අගෝස්තු 05) පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේ, “හොරු ඇල්ලීම සහ නඩු ප්‍රමාදය වැළැක්වීම” සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ආණ්ඩුව පවසන කතාව මුළුමනින්ම ව්‍යාජ සහ ජනතාව මුලා කරන එකක් බවයි.

නඩු ප්‍රමාදයට හේතුව විනිසුරුවන්ගේ වයස නොවේ: විනිසුරු ප්‍රශ්නයේ ඇත්ත මෙන්න!

ආණ්ඩුවේ තර්කය මුළුමනින්ම බිඳ හෙළමින් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දුන්නේ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු විභාග වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නොව මහේස්ත්‍රාත් සහ මහාධිකරණවල බවයි. එම අධිකරණවල සේවය කරන බහුතරයක් විනිසුරුවරුන් වයස අවුරුදු 30ත් 50ත් අතර පසුවන බැවින්, ඔවුන් නඩු අවසන් වීමට පෙර විශ්‍රාම ගොස් නඩු කඩාකප්පල් වීමේ කිසිදු ඉඩක් නොමැත.

කෘතිමව නිර්මාණය කළ පුරප්පාඩු සහ ආණ්ඩුවේ කිඹුල් කඳුළු

ආණ්ඩුව අධිකරණයේ කාර්යක්ෂමතාව ගැන කතා කරන්නේ මහජනතාව රවටමින් බව හෙළිවන ප්‍රධාන කරුණු කිහිපයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අනාවරණය කරන ලදී:

  • උසස් අධිකරණවල පුරප්පාඩු: ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් දීර්ඝ කාලයක් තිස්සේ පුරවා නොමැත. ජනාධිපතිවරයාට මෙම පුරප්පාඩු පිරවීම හරහා පද්ධතිය කාර්යක්ෂම කිරීමට හැකියාව තිබියදීත් එය පැහැර හැර ඇත.
  • පහළ අධිකරණවල තත්ත්වය: පූර්ව නඩු විභාග අධිකරණවල පුරප්පාඩු 50ක් සහ සුළු හිමිකම් අධිකරණවල පුරප්පාඩු 50ක් පවතිද්දී, ප්‍රතිපාදන නැති බව පවසමින් බඳවාගෙන ඇත්තේ මහේස්ත්‍රාත්වරුන් 33 දෙනෙකු පමණි.
  • නීතිපති දෙපාර්තමේන්තුව: නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 200කගේ පමණ හිඟයක් පවතින අතර, ඒ පිළිබඳව ආණ්ඩුව පසුවන්නේ පූර්ණ නිහඬතාවකය.

විපක්ෂයේ කිඹුල් කඳුළු සහ අධිකරණය දේශපාලනීකරණය කළ අතීතය

වර්තමාන පාර්ලිමේන්තු විපක්ෂය අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීම හාස්‍යජනක බවත්, ලංකා ඉතිහාසය පුරා අධිකරණය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමේ නරක පූර්වාදර්ශ සැපයූවේද ඔවුන්ම බවත් මෙහිදී මතක් කර දෙන ලදී.

  • 1948: ජ්‍යෙෂ්ඨතම විනිසුරු රෙජිනෝල්ඩ් ඩයස් බණ්ඩාරනායක මඟහැර ආතර් විජේවර්ධන අගවිනිසුරු ලෙස පත්කිරීම.
  • 1977 (ජේ. ආර්. ජයවර්ධන පාලනය): විනිසුරුවරයෙකු නොවන නීතීඥ නෙවිල් සමරකෝන් දේශපාලන හිතවත්කම් මත අගවිනිසුරු කිරීම.
  • චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය: සුදුසුකම් ලත් මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා කපා හැර කැබිනට් නීති උපදේශක සරත් එන්. සිල්වා පත්කිරීම.
  • මහින්ද රාජපක්ෂ පාලනය: ආණ්ඩුවට අවාසිදායක තීන්දු දුන් ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් නෙරපා, විනිසුරුවරයෙකු නොවන මොහාන් පීරිස් පත්කිරීම.
  • යහපාලන පාලනය: මොහාන් පීරිස් ඉවත් කර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු නොවන නීතිපති ජයන්ත ජයසූරිය පත්කිරීම.

ජනතා අයිතීන්ට එරෙහි තර්ජනයට එරෙහිව නව බලවේගයක්

ශ්‍රේෂ්ඨාධිකරණය යනු රාජ්‍ය ආයතන විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරන අවස්ථාවලදී සහ පාර්ලිමේන්තුවට ගෙනෙන ජනතා විරෝධී පනත්වලට එරෙහිව ජනතාවට ඇති එකම නෛතික ශමනය බව පෙන්වා දුන් පුබුදු ජයගොඩ මහතා, ආණ්ඩුවේ මේ පියවර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කළ බරපතල තර්ජනයක් බව පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන, ජාතික ගැටලුවට විසඳුම් දෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වූ ආණ්ඩුව, වර්තමානයේ කරන්නේ පවතින ජනතා අයිතීන් පවා උදුරා ගැනීමයි. එම නිසා පාර්ලිමේන්තුව ඇතුළේ සිටින ආණ්ඩුවේ සහ විපක්ෂයේ කඳවුරුවලට පරිබාහිරව, මහජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් පිටත නව ජනතා කඳවුරක් ගොඩනැගීමට සංවිධානය වන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Latest Posts

spot_imgspot_img