Latest Posts

සුප්‍රසිද්ධ ස්වාමින්වහන්සේට එරෙහි විමර්ශන පිළිබඳව “දිනන දකුණ” සාමූහිකයෙන් දැඩි විරෝධයක්

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන සහ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ චෝදනා විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය අතිශය පක්ෂපාතී සහ දෝෂ සහිත ආකාරයෙන් කටයුතු කර ඇතැයි “දිනන දකුණ” සාමූහිකය දැඩි සේ හෙළා දකී.

නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය පෙන්වා දෙන්නේ, මැයි 22 වනදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී සිදු වූ සිදුවීම්වලින් රටේ නීතිය ක්‍රියාත්මක වීමේ පවතින පිළිකුල්සහගත ද්විත්ව ප්‍රමිතිය මැනවින් නිරාවරණය වන බවයි. ධනවත්, දේශපාලනික හා ආගමික වශයෙන් බලවත් ප්‍රභූන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිය සිතාමතාම නමමින්, අසරණ වින්දිතයන්ගේ අයිතිවාසිකම් කුණු කූඩයට දමා ඇති බවට ඔවුහු චෝදනා කරති.

යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය තුළ සිදුව ඇති බව කියන බරපතල උල්ලංඝනයන් කිහිපයක් ද එම සාමූහිකය විසින් මෙසේ පෙන්වා දී ඇත

සැකකරුට “සුපිරි ප්‍රභූ” සැලකිලි සහ මාධ්‍ය අවහිරතා

සාමාන්‍ය සැකකරුවන්ට බරපතල අපරාධ චෝදනා එල්ල වන විට දැඩි රැඳවුම් රෙගුලාසි ක්‍රියාත්මක වුවද, මෙම සැකකරු පොලිස් ජීප් රථ දෙකක පෙරගමන් ආරක්ෂාව සහිතව අතිශය සුඛෝපභෝගී වෑන් රථයකින් අධිකරණයට කැඳවාගෙන ආ බව නිවේදනයේ සඳහන් වේ. එහිදී මාධ්‍යවේදීන්ට සිය රාජකාරිය කිරීමට ඉඩ නොතබා, මාර්ගය අවහිර කරමින් පොලිසිය සැකකරු ආවරණය කිරීමට කටයුතු කිරීම තුළින් පෙනී යන්නේ පොලිසිය අපරාධ නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට සැකකරුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස කටයුතු කර ඇති බවයි.

විමර්ශන යටගැසීමේ සහ ප්‍රමාද කිරීමේ උත්සාහයක්

වින්දිත දැරිය අප්‍රේල් 10 වනදා පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබුණද, පොලිසිය එම තොරතුරු ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් (NCPA) සිතාමතාම සඟවා තබාගෙන ඇති බවට සාමූහිකය චෝදනා කරයි. අප්‍රේල් 22 වනදා ස්වාධීන මාධ්‍යවේදියෙකු සෘජුවම පැමිණිල්ලක් ඉදිරිපත් කරන තෙක් සති දෙකකට ආසන්න කාලයක් පොලිසිය නිහඬව සිටීම පිටුපස ආයතනික අනුග්‍රහයක් පවතින බව ඔවුහු පවසති.

ඥාති සංග්‍රහය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ මඟහැරීම

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සැකකාර හිමියන් අතර පවතින සමීප ඥාති සබඳතාව හේතුවෙන් සමස්ත පරීක්ෂණයේ විනිවිදභාවය බරපතළ ලෙස අභියෝගයට ලක්ව ඇතැයි පෙන්වා දෙන “දිනන දකුණ” සාමූහිකය, සැකකරුට රිමාන්ඩ් බන්ධනාගාරගත නොවී පෞද්ගලික රෝහලක රැඳී සිටීමට ඉඩ හැරීම සහ ඇප ලබාදීමට පොලිසිය දැඩි ලෙස විරුද්ධ නොවීම පිටුපස මෙම රාජ්‍ය බලපෑම් පවතින බව සඳහන් කරයි.

එසේම, මෙම තීරණාත්මක ඇප විභාගය සඳහා පොලිසිය සහ ජාතික ළමාරක්ෂක අධිකාරිය ලිඛිතව ඉල්ලා තිබියදීත්, නීතිපති දෙපාර්තමේන්තුව වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥ සහායක් ලබා දී නැත. මේ හේතුවෙන් සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ 36 දෙනෙකුගෙන් යුත් නීතිඥ බලඇණියක් හමුවේ අසරණ දරුවා තනි වූ බවත්, එහිදී විවෘත අධිකරණය තුළ කඳුළින් යුතුව කරුණු දැක්වූ ජාතික ළමාරක්ෂක අධිකාරියේ (NCPA) නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ නිලධාරීන්ගේ නිර්භීත ස්ථාවරය තමන් අගය කරන බවත් ඔවුහු කියා සිටිති.

වත්මන් රජයෙන් සහ බලධාරීන්ගෙන් කෙරෙන ඉල්ලීම්

“දිනන දකුණ” සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව විසින් ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙතින් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත කරුණු ඉල්ලා සිටියි

තමන්ගේ තනතුරු සහ පවුල් සබඳතා අවභාවිත කරමින් විමර්ශනයට බාධා කළ බවට සැක කෙරෙන සියලුම ඉහළ නිලධාරීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පැවැත්වීම.

මෙම සිද්ධිය මුල් අවස්ථාවේදීම යටගැසීමට කටයුතු කළ ගම්පහ සහ නිට්ටඹුව පොලිස් කාන්තා කාර්යාංශයන්හි හැසිරීම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කිරීම.

සැකකරු සතු අතිවිශාල සමාජයීය සහ ආර්ථික බලපෑම් හමුවේ වින්දිත දැරියට සහ ඇයගේ මවට උපරිම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ රැකවරණය සහතික කිරීම.

යම් සමාජයක අපරාධ චෝදනා ලැබූ පුද්ගලයා බලගතු ආගමික ස්ථානයක වැජඹෙන නිසාම වින්දිත දරුවෙකුට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම්, රටේ පවතින “නීතියේ ආධිපත්‍යය” ප්‍රහසනයක් බව පවසන සාමූහිකය, සැබෑ යුක්තිය ඉටු වන තෙක් සිය හඬ නතර නොකරන බව අවධාරණය කරයි.

එසේම, බෞද්ධකමේ මුවාවෙන් අපරාධ චෝදනාවලින් ගැලවීමට උත්සාහ කරන අවස්ථාවාදීන්ට ඉඩ නොතබා, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය වෙනුවෙන් පෙරට එන ලෙස ද ඔවුහු රටේ සැබෑ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Latest Posts

spot_imgspot_img