කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පරිහරණය කරන්නේ යැයි පැවසෙන රජයේ නිල නිවාස, වාහන සහ ඉන්ධන කෝටාවන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ තොරතුරු ඉල්ලා ඊයේ (22) රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත යළිත් වරක් අයදුම්පතක් යොමු කර තිබේ.
නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සහ නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් ඇතුළු පිරිසක් විසින් මෙම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ (RTI) අයදුම්පත ඉදිරිපත් කර ඇත.
වසරකට ආසන්න කාලයක් තොරතුරු වසා තැබීමක්
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් අවධාරණය කළේ, අදාළ නිලධාරීන්ගේ නිල නිවාස ඇතුළු පහසුකම් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා පසුගිය වසරේ ජුලි මාසයේ සිට අවස්ථා තුනකදී අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කළ ද, බලධාරීන් මේ දක්වා ඒ කිසිදු ඉල්ලීමකට පිළිතුරු ලබා දී නොමැති බවයි.
මෙම තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු බලධාරීන් වෙතද මීට පෙර ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත්, එතැනින්ද කිසිදු තොරතුරක් අනාවරණය කිරීමට කටයුතු කර නැතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉල්ලා ඇති ප්‍රධාන තොරතුරු:
මෙම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ (RTI) අයදුම්පත හරහා කතානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පාවිච්චි කරන රජයේ නිල නිවාස සංඛ්‍යාව, ඔවුන් වෙත වෙන් කර ඇති නිල වාහන සහ මාසික ඉන්ධන කෝටාවන්, ඔවුන් ලබන සෙසු වරප්‍රසාද සහ පහසුකම් පිළිබඳ විස්තර ඉල්ලා ඇත.
“මෙය අවසාන අයදුම්පතයි”
රටේ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මෙවැනි කරුණක් සම්බන්ධයෙන්, වගකිවයුතු රාජ්‍ය ආයතන තොරතුරු ලබා නොදී මගහැරීම කණගාටුවට කරුණක් බව පෙන්වා දෙන දිනේෂ් අබේකෝන්, තමා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන අවසාන අයදුම්පත මෙය බවද ප්‍රකාශ කළේය.
සිවුවැනි වරට ඉදිරිපත් කළ මෙම අයදුම්පතට හෝ අදාළ බලධාරීන් මෙවර නිසි ප්‍රතිචාරයක් දක්වන්නේද යන්න පිළිබඳව තමන් ඉතා විමසිල්ලෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



