Latest Posts

රුපියලේ කඩාවැටීම ගැන පුබුදු ජාගොඩගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්!

රුපියල අවප්‍රමාණය වීම සහ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාව නොමඟ යවමින් සිටින බවත්, අත්තනෝමතික තීරණ හරහා රට නැවතත් දැවැන්ත අර්බුදයකට ඇදදමමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේ අද (22) පස්වරුවේ නුගේගොඩ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ඩොලරය ශක්තිමත් වීමේ කතාව අමූලික බොරුවක්

රුපියල කඩාවැටීමට හේතුව මැදපෙරදිග යුදමය තත්ත්වය සමඟ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම යැයි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙනහැර දක්වන තර්කය පුබුදු ජයගොඩ මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.

මේ වන විට ඇමරිකානු ඩොලරය පවතින්නේ 2023 ජුනි මාසයේ පැවති වටිනාකමටත් වඩා අඩු මට්ටමක බවත්, 2001 වසරේදී සමස්ත ලෝක සංචිතවලින් 72%ක් වූ ඩොලර් ප්‍රමාණය, 2025 වන විට 58% දක්වා පහළ වැටී ඇති බවත්, ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ආරම්භ කර ඇති යුද්ධය හමුවේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වන වෙළඳාම් පවා මේ වන විට යුවාන් සහ රූබල් යන මුදල් ඒකක හරහා සිදුවෙමින් ඇති බව අවධාරණය කරමින් පුබුදු ජාගොඩ කියා සිටියේ බ්‍රික්ස් (BRICS) රටවල නැගී සිටීම වැනි කරුණු නිසා ඩොලරයේ ආධිපත්‍යයට දැවැන්ත තර්ජනයක් වී තිබෙන අතර ලංකාවේ රුපියල කඩාවැටීමට සැබෑ හේතුව ඩොලරය ශක්තිමත් වීම නොවන බවයි.

වාහන ගෙන්වා ඩොලර් බිලියන 2.4ක් අහිමි කරගැනීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ලිබරල් ප්‍රතිපත්ති මත යැපීමෙන් සිදුවන විනාශය ගැන තම පක්ෂය මීට වසරකට පෙර සිටම අනතුරු ඇඟවූ බව ජයගොඩ සිහිපත් කළේය.

“වාහන ආනයන සීමා ලිහිල් කළහොත් ඩොලර් බිලියන 2ක පමණ විදේශ විනිමයක් අහිමි වන බව අපි 2024 දෙසැම්බර් 20 වැනිදා පැහැදිලිව කිව්වා. නමුත් ආණ්ඩුව එය ගණන් නොගෙන කටයුතු කිරීම නිසා මේ වන විට ඩොලර් බිලියන 2.4ක සංචිත අපට අහිමි වෙලා. ඉන් ගෙන්වා ඇත්තේ බස් රථ 700ක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි. ඉතිරි ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණය පෞද්ගලික සහ අධි සුඛෝපභෝගී වාහන. මේවා නිසා රටේ ඉන්ධන පරිභෝජනයත් දැවැන්ත ලෙස ඉහළ ගිහින්. අශ්වයා පැනගියාට පසු ආණ්ඩුව දැන් ඉස්තාලය වහන්න හදනවා,” ඔහු පැවසීය.

ඩොලරය ඉහළ යාමෙන් වාසිය කම්පැනිකාරයන්ට පමණයි!

ඩොලරයේ මිල ඉහළ යාම රටට වාසියක් බවට අමාත්‍ය අනිල් ජයන්ත කරන ප්‍රකාශය ද මෙහිදී දැඩි දෝෂදර්ශනයට ලක්විය. ඉන් වාසි ලබන්නේ අපනයන සමාගම් හිමියන් පමණක් බවත්, ආණ්ඩුවට ඡන්දය දුන් ඇඟලුම් කර්මාන්තයේ නියැළෙන සේවිකාවකගේ හෝ පඩිය ඉන් එක් රුපියලකින් හෝ වැඩි නොවන බවත් ජයගොඩ අවධාරණය කළේය.

පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වන විට උද්ධමනය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත්; සහල්, පරිප්පු, අල, ළූණු සහ කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යාමෙන් පහළ පන්තියේ වැඩකරන ජනතාව දැඩි ලෙස අසරණ වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඉන්දියාව පෙන්වා ප්‍රශ්නයෙන් පලා යාම

ඉන්දියානු රුපියලද කඩාවැටී ඇති බැවින් ලංකාවට එය සාමාන්‍ය තත්ත්වයක් බව ඒත්තු ගැන්වීමට ආණ්ඩුව දරන උත්සාහය පදනම් විරහිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඉන්දියාව ආර්ථික බලවතෙකු වුවද, එරට බහුතර ජනතාව අතිශය දිළිඳුභාවයෙන් සහ ආර්ථික අර්බුදවලින් පීඩා විඳින බව ඔවුහු පෙන්වා දෙති.

ආර්ථික අර්බුදයේ සැබෑ පදනම

රුපියල බාල්දු වීමට බලපා ඇති සැබෑ ව්‍යුහාත්මක ගැටලු ආණ්ඩුව විසින් සඟවමින් සිටින බව පුබුදු ජයගොඩ පැවසීය.

ඔහු පවසන්නේ ගෙවාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇති විදේශ ණය බර, ආනයන සහ අපනයන අතර පවතින දැවැන්ත පරතරය, සමස්ත ආර්ථිකයෙන් 77%ක්ම ආනයන සහ ණය මත රඳා පැවතීමත්, නිෂ්පාදන ආර්ථිකය 33%ක් දක්වා කඩාවැටී තිබීමත් වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හේතු වී ඇති බවයි.

“ජනතාවාදී ආර්ථිකයකට යන්න” ජනපති අනුරට සිහිකැඳවීමක්!

ආයෝජකයන් පැමිණි පමණින් රටේ ආර්ථිකය ශක්තිමත් නොවන බවත්, ඔවුන් කරන්නේ ලාභය උපයාගෙන තම රටවලට රැගෙන යාම පමණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. IMF උපදෙස් මත තවදුරටත් ණය ගැනීම මගින් සාමාන්‍ය ජනතාව මත බදු බර පටවමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විනාශ මුඛයට ඇදදමමින් සිටින බවට ඔහු චෝදනා කළේය.

“පිටරට වෙන දේවල් දිහා බලලා අපේ රටේ භාණ්ඩ මිල වැඩි කරනවා නම් ජනාධිපතිවරයෙක් මොකටද කියලා ඒ කාලේ ඇහුවේ වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාමයි. අපි කියනවා ජනතාව ඔහුගෙන් ඒ ප්‍රශ්නයම අහන්න කලින්, ධනපතියන් පිනවන ආර්ථිකය පසෙකලා වහාම ජනතාවාදී ප්‍රතිපත්තිමය විසඳුම් කරා යොමු වන්න කියලා. එසේ නොවුණහොත් ඉදිරියේදී රටම දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දෙනු ඇති,”

Latest Posts

spot_imgspot_img