ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා වඩාත් ශක්තිමත් කරමින් දෙරටේම ව්‍යාපාරික නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් වෙළඳ, ආයෝජන, යටිතල පහසුකම්, සංචාරක, තාක්ෂණ සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි නව හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට එකඟතාවයකට පැමිණ තිබේ. ඒ මුම්බායි නුවර පැවැති ඉහළ පෙළේ ව්‍යාපාරික සංසදයකදීය.

ලංකා වාණිජ මණ්ඩලය සහ ඉන්දීය කර්මාන්ත සම්මේලනය (CII) එක්ව සංවිධානය කළ ‘ඉන්දියා–ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය ශ්‍රී ලංකාවේ වර්ධනය සහ ආයෝජන සඳහා හවුල්කාරිත්වය’ (India–Sri Lanka Business Forum: Partnering in Sri Lanka’s Growth and Investment) නමැති මෙම සමුළුව මැයි 13 වනදා පැවැත්වුණි. ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව සීග්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යාමට ඇති අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙරටේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආයතනික විධායක නිලධාරීන් රැසක් මේ සඳහා එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ බස්නාහිර කලාපීය ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන අනුකමිටුවේ සම-සභාපති අනුරාග් අගර්වාල් මහතා ප්‍රකාශ කළේ, දෙරටේ ආර්ථික සබඳතා ආයෝජන, සම්බන්ධතා සහ නවෝත්පාදන ඔස්සේ පරිවර්තනීය අවධියකට පිවිසෙමින් පවතින බවයි. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය, සැපයුම් දාම (Logistics), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඩිජිටල් සේවා, සෞඛ්‍ය සේවා, නිෂ්පාදන සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගිතාව පුළුල් කිරීමට විශාල අවස්ථාවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. මීට අමතරව සාගර හා ගුවන් සබඳතා, තොටුපළ සේවා සහ ඩිජිටල් ගෙවීම් පද්ධති දියුණු කිරීම හරහා කලාපීය වෙළඳාම තවදුරටත් ශක්තිමත් වන බවද ඔහු පැවසීය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිණී කොලන්න මහත්මිය මෙහිදී කියා සිටියේ, ඉදිරි සහයෝගිතාවන් හුදෙක් වෙළඳ පරිමාවන් ඉහළ නැංවීමට පමණක් සීමා නොවන බවයි. ඒ වෙනුවට දිගුකාලීන හවුල්කාරිත්වයන්, තාක්ෂණික හුවමාරුව, කලාපීය සැපයුම් දාමයන් සහ පෞද්ගලික අංශයේ සම්බන්ධතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ඇය අවධාරණය කළාය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා සභාව අමතමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථිකය ස්ථාවර කිරීමේ අදියරෙන් ඔබ්බට ගොස් සංවර්ධනය ඉලක්ක කරගත් ගමනක් අරඹා ඇති බවයි. ප්‍රවාහන, සැපයුම් දාම, සංචාරක, ඩිජිටල් සේවා සහ ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා උපායමාර්ගික විදේශ ආයෝජන ලබාදෙන ලෙස ඔහු ඉන්දීය ආයෝජකයින්ට ආරාධනා කළේය.
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති මෙන්ම ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයට දායක විය හැකි දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සහ ආයෝජන ගලා ඒම සඳහා වාණිජ මණ්ඩලය උපරිම සහය ලබාදෙන බවයි. ඔහු ඉන්දියාව හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධන සැලසුම්වල තීරණාත්මක උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙසය.

සංචාරක, යටිතල පහසුකම්, ඖෂධ, මූල්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයින් සහභාගී වූ මෙම සමුළුව අවසානයේ අදහස් දැක්වූ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ විශාල් කාමත් මහතා කියා සිටියේ, ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව මත පදනම් වූ නව අදියරකට පිවිස ඇති බවයි. ප්‍රතිපත්තිමය මැදිහත්වීම් සහ ආයෝජන පහසුකම් සැලසීම හරහා දෙරට අතර අඛණ්ඩ ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීමට CII කැපවන බවද ඔහු යළිත් තහවුරු කළේය.
දිගුකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ පෞද්ගලික අංශයේ සහයෝගිතාවය තුළින් කලාපයේ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා දෙපාර්ශවයම මෙහිදී සුභවාදී අපේක්ෂාවන් පළ කළහ.



