Latest Posts

“පාස්කු ඛේදවාචකය දේශපාලන දඩයමකට යොදාගන්න එපා!” – පිල්ලෙයාන් හමුවීම ගැන නාමල්ගෙන් ආණ්ඩුවට සැර උත්තරයක්

තමන් බන්ධනාගාරයේදී පිල්ලෙයාන් හමුවූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) අධිකරණයට කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන්නාමල් රාජපක්ෂ සිය නිල X ගිණුම ඔස්සේ රජයට දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

රජය දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සංදර්ශන පසෙකලා ජනතාවට අර්ථවත් ප්‍රතිඵල ලබාදීමට කටයුතු කළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා එහිදී අවධාරණය කර සිටියි.

පිල්ලෙයාන් හමුවීම රහසක් නොවේ

2018/19 කාලසීමාවේදී ටී.එම්.වී.පී. (TMVP) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ තමා ඔහුව බැලීමට ගිය බව කිසිදු රහසක් නොවන බවත්, අදාළ බන්ධනාගාර වාර්තා ඕනෑම අවස්ථාවක පරීක්ෂා කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි. එම වකවානුව වන විට පිල්ලෙයාන් 2015 ජනාධිපතිවරණයට සහ 2018 පළාත් පාලන මැතිවරණයට තම සන්ධානය සමඟ එක්ව තරග කළ පාර්ශ්වකරුවකු බවද නාමල් රාජපක්ෂ ආණ්ඩුවට සිහිපත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රංශය දක්වා ගමන් කර ඇති බව පවසන නාමල් රාජපක්ෂ, එය සිදු කළේ හුදෙක් තමා පිල්ලෙයාන් හමුවූ බව තහවුරු කරගැනීමට පමණක් නම් එය බරපතළ මහජන මුදල් නාස්තියක් බවට චෝදනා කරයි.

දැනට පිල්ලෙයාන් රඳවාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරයට අදාළව නොවන බවද නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි. ඔහු ප්‍රකාශ කරන්නේ,

“රජය දැන් මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා යොදා ගැනීමට උත්සාහ කරන්නේ නම්, තවමත් සැබෑ පිළිතුරු සහ සාධාරණය අපේක්ෂාවෙන් සිටින වින්දිතයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණයක් ලෙස එය සැලකිය හැක.”

ජාතික ජන බලවේගය (NPP) ද විවිධ අවස්ථාවල පාස්කු ප්‍රහාරය ගැන කතාන්දර සමාජගත කළ බව පවසන නාමල් රාජපක්ෂ, ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවත්, පවතින සැකයන් විනිවිදභාවයෙන් යුතුව නිරාකරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපරිම සහාය ලබාදෙන බවත් අවධාරණය කර ඇත.

රජයේ ප්‍රමුඛතාවය විය යුත්තේ මෙවැනි දේශපාලන මාධ්‍ය සිරස්තල මැවීම නොව, මෙරට ජනතාව වෙනුවෙන් සැබෑ වැඩකොටසක් ඉටුකිරීම බව ඔහු වැඩිදුරටත් සිය X පණිවිඩය මඟින් පෙන්වා දී තිබේ.

Latest Posts

spot_imgspot_img