පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවත්, පවතින තාක්ෂණික ගැටලු මුවාවෙන් එය තවදුරටත් කල් නොදැමිය යුතු බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) අවධාරණය කරයි. මාතරදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා මේ බව ප්‍රකාශ කළේය.
පළාත් සභාවල නිල කාලය 2017 සිට 2019 දක්වා කාලය තුළ අවසන් වූ බව පෙන්වා දුන් මකීන් මහතා, දකුණු පළාත් සභාව උදාහරණයට ගනිමින් ප්‍රකාශ කළේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කළ මන්ත්‍රීවරුන් 55 දෙනාගේ මහජන නියෝජනය මේ වන විට අහිමි වී ඇති බවයි. වර්තමානයේ දකුණු පළාතේ සමස්ත පරිපාලනයම ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයකු වන ආණ්ඩුකාරවරයා යටතේ පවතින බවත් එහි මහජන හඬක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුව මැතිවරණ පොරොන්දු කඩ කිරීම
පසුගිය මැතිවරණ සමයේදී ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයින් බලයට පත්වී වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට පොරොන්දු වුවද, නව ආණ්ඩුව පත්වී වසර එකහමාරකට වැඩි කාලයක් ගත වී ඇතත් මැතිවරණය පැවැත්වීමට මෙතෙක් කිසිදු සූදානමක් නැති බව කැෆේ සංවිධානය මෙහිදී අවධාරණය කරයි.
මැතිවරණය පැවැත්විය යුත්තේ කෙසේද?
මැතිවරණය පැවැත්වීමට අදාළව තාක්ෂණික ගැටලු තිබිය හැකි වුවත්, ඒවා ඉදිරියට දමමින් මැතිවරණය කල් දැමීම පිළිගත නොහැකි බවත්, අවශ්‍ය නම් පැරණි ක්‍රමයට හෝ හැකි ඉක්මනින් මැතිවරණය පවත්වන ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා සහ සියලු දේශපාලන පක්ෂ වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද මකීන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කාන්තා නියෝජනය ප්‍රමාණවත්ද?
පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේදී කාන්තා නියෝජනය පිළිබඳ ගැටලු පැන නැගිය හැකි බවත්, පසුගිය මැයි රැළි වලදී කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන බවට සියලු පක්ෂ පොරොන්දු වූ බවත් මෙහිදී සිහිපත් කෙරිණි. එම නිසා කිසිදු දේශපාලන පක්ෂයක් එම පොරොන්දුව අමතක නොකළ යුතු බව කැෆේ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කළේය.



