පසුගිය අප්‍රේල් මාසයේ අස්වැසුම සුබසාධන දීමනා ගෙවීමේදී සිදුවූ රුපියල් මිලියන 248කට අධික අතිරික්ත ගෙවීම්, මෙරට රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දීර්ඝකාලීන අවිධිමත්භාවය යළිත් කරළියට ගෙනවිත් තිබේ.
2026 අප්‍රේල් උත්සව දීමනා සැකසීමේදී පවුල් 49,759ක් සඳහා වැරදීමකින් දෙවරක් මුදල් බැර වී ඇති අතර, මීට හේතු වී ඇත්තේ දත්ත ලිපිගොනු 90,000ක කාණ්ඩයක් බැංකු පද්ධතියට දෙවරක් ඇතුළත් වීමයි. මේ හේතුවෙන් රජයට රුපියල් මිලියන 248.7ක මුදලක් තාවකාලිකව අහිමි වී ඇති අතර, එම මුදල මැයි මාසයේ දීමනාවලින් අයකර ගැනීමට බලධාරීන් මේ වන විට පියවර ගෙන ඇත.

මෙම අක්රමිකතාවය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ෆ්‍රී ලෝයර්ස (Free Lawyers) සංවිධානය ප්‍රකාශ කරන්නේ සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය හරහා අස්වැසුම ප්‍රතිලාභීන් වෙත අතිරේක මුදලක් ලෙස රුපියල් ලක්ෂ 5,000කට ආසන්න මුදලක් ගෙවීම, සංවරණ හා තුලන පද්ධති ක්‍රමවේදයකින් තොරව සිදුව ඇති රාජ්‍ය මුදල් පරිහරණ, අපරාධයක්, දූෂණයක් සහ වංචාවක් බවයි.
අද දිනමිණ පුවත්පත වාර්තා කරන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට ලබාදුන් විශේෂ දීමනාවේදී සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පුද්ගලයින් 90,000කට පමණ සිදු වූ ද්විත්ව ගෙවීම් (Double Payments), ඔවුන්ගේ මැයි මාසයේ දීමනාවෙන් අයකර ගැනීමට සුබසාධන ප්රතිලාභ මණ්ඩලය මේ වන විට තීරණය කර ඇති බවයි.

මෙය අහඹුවක්ද? අතපසුවීමක්ද?
මෙම සිදුවීම හුදෙක් තාක්ෂණික දෝෂයකට ලක් කිරීමට වඩා, එහි පවතින පද්ධතිමය ගැටලු කෙරෙහි සිවිල් සංවිධාන සහ මූල්‍ය විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.
බැංකුවකට ගෙවීම් නියෝගයක් නිකුත් කිරීමට පෙර සිදුවිය යුතු ස්තර කිහිපයක පරීක්ෂාවන් (Multi-level Verification) ක්‍රියාත්මක නොවීම මෙහිදී ප්‍රශ්න කෙරෙන අතර මීට පෙරද විදේශ ගෙවීම් වැරදි ගිණුම්වලට බැර වීම සහ රාජ්‍ය සේවක වැටුප් දෝෂ වැනි සිදුවීම් හරහා මෙරට මූල්‍ය පද්ධතියේ දුර්වල ක්‍රියාකාරකම් නිරාවරණය වේ.
උත්සව සමයන්හි ජනප්‍රිය තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යෑමේදී මූල්‍ය විනය පසෙකලා කටයුතු කිරීම මෙම අර්බුදයට එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැක.
රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් පාලනයකින් තොරව සංසරණය වීමට ඉඩ හැරීම රාජ්‍ය මූල්‍ය විනය පිළිබඳ බරපතළ අවිශ්වාසයක් ඇති කරයි. මේ සම්බන්ධයෙන් කථානායකවරයා හරහා විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ඉල්ලා ඇති අතර, සමස්ත ගෙවීම් පද්ධතියම විධිමත් විගණනයකට ලක් කළ යුතු බවට පොදු මතයක් ගොඩනැගී ඇත.
හුදෙක් පරිගණක දෝෂයක් නොවන මෙම අස්වැසුම දෙවරක් ගෙවීම, මෙරට රාජ්‍ය මූල්‍ය පාලන තන්ත්රයේ පවතින වගවීම් සහ අධීක්ෂණ පද්ධතිවල පවතින ගැඹුරු සිදුරු පිළිබඳ අනතුරු ඇඟවීමකි!



