Latest Posts

ආණ්ඩුවේ ‘පික්පොකට්’ න්‍යාය දැන් ‘හැකර්’ න්‍යාය බවට පත්වෙලා – නාමල් රාජපක්ෂ

රජයේ විවිධ ආයතනවල සිදුවන මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල කරනවා. හොරණ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සිදුවන සිදුවීම් දෙස බලන විට මෙය “හැකර්ලාගේ ආණ්ඩුවක්” බව පෙනී යන බවයි බවයි.

ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය සහ වංචා චෝදනා

මුදල් අමාත්‍යාංශයේ ණය ගෙවීමේ ක්‍රියාවලියට ‘හැකර්’ කෙනෙකු පැනීමෙන් රුපියල් කෝටි 80 කට අධික මුදලක් අහිමි වී ඇති බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන් නිහඬ බවත් ඔහු පැවසීය. පෞද්ගලික බැංකුවක බිලියන 13ක් අතුරුදහන් වීම, තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය දෝෂ සහ වරායෙන් බහාලුම් 323ක් අතුරුදහන් වීම වැනි සිදුවීම් හරහා ආණ්ඩුවේ “පික්පොකට් න්‍යාය” දැන් “හැකර් න්‍යාය” බවට පත්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නෙ.

අධිකරණ ඇමතිවරයා නීතිඥවරයෙකු ලෙස කටයුතු කර තිබියදීත්, අධිකරණයේ පවතින නඩු දේශපාලන වේදිකාවල සාකච්ඡා කිරීමට ඉඩ දීම ලැජ්ජා සහගත බව නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

ආණ්ඩුව ප්‍රශ්න කරන පුද්ගලයන්ගෙන් කටඋත්තර ගැනීම හරහා මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බව ප්‍රකාශ කරමින්, 88/89 කාලයේ මෙන් අද කාලයේ තොරතුරු සැඟවිය නොහැකි බවට ඔහු ආණ්ඩු පාර්ශවයට අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දුම්රිය වේගය වැඩි කරන බව පවසා බලයට ආ ආණ්ඩුව දුම්රිය සේවය තවදුරටත් අඩාල කර ඇති බවත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කයිවාරු ගැසූවද, අවසානයේ මෙම සියලු මූල්‍ය පාඩු විඳීමට රටේ අහිංසක මහජනතාවට සිදුවන බවයි.

Latest Posts

spot_imgspot_img