Tuesday, April 7, 2026
spot_img

Latest Posts

2026 ගල්ෆ් යුද්ධය සහ පැරණි ලෝක අනුපිළිවෙලේ අවසානය

විජේපාල දිසානායක


2026 ගල්ෆ් යුද්ධය: ඇමරිකානු ආධිපත්‍යයේ අවසානය සහ නව ලෝකයක ආරම්භය ද?

2026 වසරේදී ඉරානය ඉලක්ක කරගනිමින් දියත් වන මිලිටරි මෙහෙයුම, හුදෙක් මැදපෙරදිගට සීමා වූ තවත් එක් කලාපීය යුද්ධයක් පමණක් නොවේ. එය දශක ගණනාවක් පුරා ලෝකය පාලනය කළ ඇමරිකානු ඒක ධ්‍රැවීය බලය සහ 'පෙට්‍රෝඩොලරයේ' ආධිපත්‍යය බිඳවැටීමේ ආරම්භක වෙඩි මුරය ලෙස ලොව පුරා විද්වත්හු පෙන්වා දෙති. ගෝලීය බල කේන්ද්‍රය බහු ධ්‍රැවීය ලෝකයක් කරා වේගයෙන් ගමන් කරද්දී, ඛණ්ඩනය වන ලෝක ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවලට මුහුණ දීමට සිදුවන ඛේදනීය කම්පනය පිළිබඳව 'හරි දේශය' විශේෂ ලියුම්කරුවකු වූ විජේපාල දිසානායක විසින් ලියන ලද  භූ-දේශපාලනික සහ ආර්ථික විශ්ලේෂණ ලිපිය පහතින් කියවන්න.

පවතින පද්ධතිමය බිඳවැටීමක්  සංඥා කරන යුද්ධයක්.

2026 පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කළ ආක්‍රමණික මිලිටරි ප්‍රයත්නය සාම්ප්‍රදායික කලාපීය යුද්ධයක් පමණක් නොවේ. එය මෙතෙක් පැවති ගෝලීය ක්‍රමයේ පද්ධතිමය බිඳ වැටිමක පැහැදිලි සලකුණක් ලෙස ලොව පුරා බුද්ධි මණ්ඩපවල අවධානයට ලක්ව ඇත.  එනම් IMF වැනි සංවිධාන වල සිට යුරෝපීය මධ්‍යම බැංකුකරුවන් දක්වා ප්‍රතිපත්ති කවයන්ගේ, වගේම ස්වාධින මත සම්පාදකයින්,   මෙම ගැටුම බලශක්ති, මූල්‍ය, සහ භූදේශපාලනික, බලයේ මුලික අත්තිවාරම් නැවත සකස් කරමින් සිටින බවට පිළිගැනීමක් වර්ධනය වෙමින් පවතී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් අනතුරු අඟවා ඇත්තේ මෙම යුද්ධය සමස්ත ලෝකයම   නොවැලක්විය හැකි මිල ගණන් ඉහල යාමකට  සහ මන්දගාමී ආර්ථික වර්ධනයක් කරා තල්ලු කරනු ලබන බවයි. ඒ වගේම  එය විශේෂයෙන් ලෝකයේ සැම කලාපයකම අවදානමට ලක්විය හැකි ආර්ථිකයන්ට තීරණාත්මකව බලපානු ලබන බවයි.

එමෙන්ම  මෙම ගැටුමේ ක්ෂණික ආර්ථික ප්‍රතිවිපාකවලට අමතරව, ලොව  ප්‍රමුඛ විද්වතුන් සහ විශ්ලේෂකයින් ගැඹුරු සමාජ දේශපාලන පර්යායක පරිවර්තනයක් පිළිබඳව තර්ක ගොඩනගමින් සිටිති.

ඒ අතරින් සුවිශේෂ මතයක් වන්නේ, මෙම අර්බුදය විසින් එක්සත් ජනපදය ප්‍රමුඛ ඒක ධ්‍රැව පිළිවෙලේ අවසානයෙහි ආරම්භය මෙයින් සනිටුහන් කළ හැකි බවට වූ තර්කනයයි.

ඒක පාර්ශ්විකත්වය සහ නීත්‍යානුකූලභාවයේ අර්බුදය.

ගෝලීය විද්වතුන්ගේ කේන්ද්‍රීය සහ බරපතල විවේචනයක් වන්නේ, මෙම යුද්ධය ජාත්‍යන්තර නීතිය සහ බහුපාර්ශ්වික සම්මතයන් නොසලකා හරිමින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අත්තනෝමතික ඒකපාර්ශවිකත්වයක්  අනුව කටයතු කල බවයි.

දේශපාලන ආර්ථික විද්‍යාඥ ගිල්බට් අච්කාර් (Gilbert Achkar) එවැනි මැදිහත්වීම් විස්තර කරන්නේ “තුවක්කු බෝට්ටු රාජ්‍යතාන්ත්‍රිකත්වය” (Gunboat diplomacy) ලෙසයි. එය බලහත්කාරයේ අඛණ්ඩ පැවැත්මක් වනවා පමණක් නොව පුරාතන අධිරාජ්‍ය පාලනයේ භාවිතයන්ගේ නුතන මුහුණුවර මෙතුලින්  ප්‍රතිරාවය කරනු ලබන බව මහාචාර්ය ගිල්බට් පෙන්වා දෙයි.

මහාචාර්ය ගිල්බට් හා සමානව, ගෝලීය දකුණ පුරා විශ්ලේෂකයින් මෙම යුද්ධය ආරක්ෂක අවශ්‍යතාවයක් ලෙස නොව, (Not as a security imperative) “තේරීමේ යුද්ධයක්” (war of choice) ලෙස විග්‍රහ කරති. ඇත්ත වශයෙන්ම එය   රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ බරපතල ඛේදජනක  අසාර්ථකත්වයක් ලෙසද ඔවුන් අර්ථකථනය කරයි.

ගෝලීය දේශපාලන යථාර්තය තුල මෙය වැදගත් වන්නේ ඇයි?

ඇමරිකන් ඊශ්‍රායල් මිලිටරි ආධිපත්‍ය විසින් ඇතිකරන ලද මෙම යුධමය තත්වය විසින් ජාත්‍යන්තර දේශපාලන නීත්‍යානුකූලභාවය බලවත් ලෙස ඛාදනය ලක්කරමින් සිටි. එම තත්වය හේතුවෙන්  බටහිර නායකත්වයෙන් යුත් ආයතනවල අධිකාරිය ලෝක මට්ටමින් ප්‍රශ්න කරනු ලබන තත්වයක් නිර්මාණය වී ඇත.

එහි ප්‍රතිපලයක් ලෙස ගෝලීය දකුණ නව ජවයකින්  පෙළගැසෙමින් සිටින අතර බොහෝ  රටවල් බටහිර බලපෑමට විරුද්ධ වීමට හෝ මඟ හැරීමට කටයුතු කරමින් සිටි.

ඒ වගේම පිළිගත් සම්මතයන් බිඳවැටීම හේතුවෙන් ජාත්‍යන්තර නීතිය දුර්වල වීම නිසා ලොව බොහෝ රාජ්‍යයන්, බලය මත පදනම් වූ භූ දේශපාලනය වෙනුවට දියුණු මානව ලෝකයක් දෙසට වේගවත් මාරුවීමක්  අපේක්ෂා කරයි.

එබැවින් මෙම නීත්‍යානුකූලභාවයේ සෝදාපාළුව  බහු ධ්‍රැවීයතාව සඳහා ප්‍රධාන ව්‍යුහාත්මක උත්ප්‍රේරක සපයන කොන්දේසියක් බවට පත්වෙමින් තිබේ.

බලශක්ති කම්පනය සහ ගෝලීය ආර්ථික බිඳවැටීම

ගෝලීය තෙල් සැපයුමෙන් 30% ක් පමණ ප්‍රවාහනය කරනු ලබන  හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම  ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය  විග්‍රහ කරන ලද්දේ, ඉතිහාසයේ මෙතුවක් සිදු වූ විශාලතම සැපයුම් බාධාව ලෙසයි.

මේ හේතුවෙන් ගෝලීය තෙල් මිල දරා ගත නොහැකි ලෙස ඉහළ ගිය අතර, එය ලොව පුරා  සියලු මහාද්වීපවල 12% ක ගෝලීය සැපයුම් හිඟයකට සහ දැඩි උද්ධමන කම්පන තරංග ඇති කිරීමට හේතු වී ඇත.

යුරෝපීය මහ බැංකු ප්‍රතිපත්ති සම්පාදක ෆේබියෝ පැනෙටා (Fabio Panetta) බරපතල  අනතුරු ඇඟවීමක් කරමින් පවසා සිටියේ, මෙම  අර්බුදය සමස්ත මූල්‍ය ස්ථායිතාවයටම තර්ජනයක් වන බවයි. ඒ වගේම ඔහු තවදුරටත් පවසන්නේ ණය ආතතිය ඉහළ යාම නිසා  අවදානමට ලක්විය හැකි ආර්ථිකයන්ගෙන් ප්‍රාග්ධනය ක්ෂණයකින් වාෂ්ප වී පලා යා හැකි බවයි.

මෙම අර්බුදය විසින් අප වැනි රටවල ආර්ථිකයන්ට සිදුකරන අඟවුම්ද මෙහිදී අවධානය යොමු කිරීම වැදගත්ය. එනම්

  • ගෝලීය උද්ධමනය සහ ආර්ථිකය එකතැන පල්වීමේ අවදානම.
  • ශ්‍රී ලංකාව වැනි ආනයන මත යැපෙන ආර්ථිකයන් මත එල්ල විය හැකි දැඩි පීඩනය.
  • පොහොර මිල ඉහළ යාම නිසා උද්ගත විය හැකි ආහාර අනාරක්ෂිතභාවය.
  • සංචාරක ඉපයීම් පහත වැටීම.
  • විදේශ ප්‍රේෂණ පහළ යාම.
  • අපනයන වෙළඳපල හැකිලීම.
  • බලශක්ති පිරිවැය ඉහල යාම.
  • ආනයනික පිරිවැය ඉහල යාම.
  • ඩොලරයේ පීඩනය වැඩි වීම.

ආදී බොහෝ ක්ෂේත්‍ර වලින් අප රටේ ආර්ථිකයට දිගු කාලීනව ඉතාමත් නරක ප්‍රතිවිපාක වලට මුහුණ දීමට ඉඩ තිබේ.

දැඩි ලෙස පීඩනයට ලක්වන පෙට්‍රොඩොලරය. (The Petrodollar Under Pressure.)

ඇමෙරිකාව විසින් මුලපුරන ලද මැදපෙරදිග ගැටුමේ බොහෝ විට වඩාත්ම ගැඹුරුතම  පරිවර්තනය ගෝලීය මූල්‍ය පද්ධතිය තුළ ඇති විය හැකිය.

පෙට්‍රොඩොලර් පද්ධතිය දශක ගණනාවක් තිස්සේ, එක්සත් ජනපද ආධිපත්‍යය තුල පවතී.   එමගින් ගෝලීය තෙල් වෙළඳාම ඇමරිකානු ඩොලර් වලින් පමණක් නම් කරනු ලැබ තිබේ. එහෙත් යුද්ධය විසින් ඇතිකරන ලද නව තත්වයන් තුල මතුවෙමින් පවතින සාක්ෂිවලින් පෙනී යන්නේ මෙම පදනම දැන් දරුණු පීඩනයට ලක්ව ඇති බවයි.

පසුගිය දිනවල සිදුවුන බොහොමයක් තෙල් ගනුදෙනු දෙස බැලීමේදී මෙම තත්වය ඉතාමත් පැහැදිලිය. විශේෂයෙන් ඉරානය සහ රුසියාව සිය සැපයුම් සඳහා චීන යුවාන් වලින්  පියවීම් ඉල්ලා සිටීම  බලශක්ති  මුල්‍යන විකල්ප මාර්ග උත්තේජනය කරමින් තිබේ.

ඒ වගේම විකල්ප ගෙවීම් පද්ධති (උදා: චීනයේ CIPS) තවදුරටත් පුළුල් වෙමින් පවතී. ලොව ප්‍රධාන ආර්ථිකයන් මේ වනවිටත් තීරණාත්මක ලෙස  ඩොලරය මඟ හරිමින් සිටී.

මෑත දිනක ඉකොනොමික්ස් සඟරාව සිය ප්‍රධාන විශ්ලේෂණයකින්  අනතුරු අඟවා සිටියේ,  “ඩොලරයේ ඒකාධිකාරය කැපිපෙනෙන ලෙස බිඳ වැටී ඇත” යනුවෙනි.

මේ අතර, මෑත කාලීන ගෝලීය විවරණයක් සටහන් කරන්නේ විශාල ආර්ථික සහිත ලොව බොහෝ රටවල් එක්සත් ජනපද මූල්‍ය පද්ධති මත යැපීම අඩු කිරීමට උත්සාහ කරන බැවින්, යුද්ධය තුලින්   ඩොලරීකරණය (Dollarization) වේගවත් වී ඇති බවයි.

මෙම තත්වයේ ඇති න්‍යායාත්මක වැදගත්කම වන්නේ, එම්මානුවෙල් වොලර්ස්ටයින් (Immanuel Wallerstein) වැනි ආර්ථික විද්‍යාඥයින්ගේ දිගුකාලීන විවේචන සමඟ මෙය සමපාත වන නිසාය.  එනම් ඔවුන්ගේ ආර්ථික ආධිපත්‍යය ඔවුන්ගේ මිලිටරි ප්‍රවේශයට වඩා වේගයෙන් ඛාදනය වන විට ආධිපත්‍ය බලතල පහත වැටෙන බව ඔහු ඉතා නිශ්චිතවම පෙන්වා දුන්නේය.

මෙහි අවසන් ප්‍රතිවිපාක ලෙස,

  • එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ඇති ඉල්ලුම නියත ලෙසම අඩුවී යනු ඇත.
  • ඇමරිකා එක්සත් ජනපදය සඳහා ණය ගැනීමේ පිරිවැය ඉහළ යනු ඇත.
  • ගෝලීය මූල්‍ය ආධිපත්‍ය කලාපීය මුදල් ඒකක  වලට ඛණ්ඩනය වනු ඇත.

අවසානයේ එක්සත් ජනපද ගෝලීය අධිපත්‍යයේ  මුල් ගල වන පෙට්‍රෝඩොලර් පද්ධතිය දැන් ව්‍යුහාත්මකව අවදානමට ලක්ව ඇත.

ගෝලීය බල කේන්ද්‍රය ඒකධ්‍රැවීයතාවයේ සිට බහුධ්‍රැවීයතාවය දක්වා වෙනස් වෙමින් තිබේ.(The global center of power is shifting from unipolar to multipolar)

ලෝක මට්ටමින් විවිධ විද්වතුන් සිදුකරනු ලබන විමර්ශන සහ  විශ්ලේෂණ සමූහයකින් පෙනී යන්නේ මෙම යුද්ධය බහු ධ්‍රැවීය ලෝක පිළිවෙලක් කරා වන සංක්‍රමණය වේගවත් වී ඇති බවයි.

ඒ අතර උපායමාර්ගික නිරීක්ෂකයින් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ අධිරාජ්‍ය ආධිපත්‍යයේ පරිහානිය සනිටුහන් කළ 1956 සූවස් අර්බුදයට වර්තමාන ගල්ෆ් යථාර්තය සමානකම් දක්වන බව පෙන්වා දෙයි.

වත්මන් මොහොත වන විට එම තත්වය හා සබැඳි සමාන ගතිකතාවයන් දෘශ්‍යමාන වෙමින් තිබේ.

  • එනම් චීනය “ස්ථාවරත්වයේ කුළුණක්” ලෙස ස්ථානගත වෙමින් තිබේ.
  • කලාපීය බලවතුන් ස්වයං පාලනය ආඛ්‍යානයක් තහවුරු කිරීමට කටයුතු කරයි.
  • එක්සත් ජනපද අවධානය බහු ක්ෂේත්‍ර රැසකට විසිරි ගොස් ඇත.

මෙම තත්වය න්‍යායාත්මකව විමසන විට පෙනී යන්නේ, ජාත්‍යන්තර සබඳතා න්‍යාය, විශේෂයෙන් කෙනත් වෝල්ට්ස්ගේ (Kenneth Waltz) කෘතිය, යෝජනා කරන්නේ ආධිපත්‍ය බලයක් මිලිටරිමය වශයෙන් අධික ලෙස ව්‍යාප්ත වන විට, තුලනය කිරීමේ හැසිරීම මතුවන අතර එය බහු ධ්‍රැවීයතාවයට මග පාදනු ලබන බවයි.

ඒ අනුව දැනටමත් එම බහු ධ්‍රැවීය යථාර්තය අප ඉදිරියේ දිස්වෙමින් පවතී. එනම්

  • ඩොලර් නොවන වෙළඳ පද්ධති සහ මුල්‍ය ඒකක පුළුල් වීම.
  • විකල්ප සන්ධාන ශක්තිමත් වීම.  (BRICS, කලාපීය කණ්ඩායම්)
  • ගල්ෆ් රාජ්‍යයන් අතර උපායමාර්ගික ස්වාධීනත්වය වර්ධනය වීම.

වත්මන් අර්බුදය බහු ධ්‍රැවීයතාවයක් සෘජුවම නිර්මාණය නොකරනු ඇත. එහෙත් එය විසින් ලෝකයෙන් දැනටමත් ඉල්ලා සිටින යුක්තිය වෙනුවෙන් දිග හැරෙන සංක්‍රාන්තිය වේගවත් කරනු ඇත.

බලයේ ප්‍රතිවිරෝධය, මිලිටරි ශක්තිය, සහ උපායමාර්ගික දුර්වලතාවය

බොහෝ විශ්ලේෂකයින්ගේ ඉතාමත් කැපී පෙනෙන නිගමනවලින් එකක් වන්නේ ගෝලීය ආධිපත්‍යය නඩත්තු කරමින් පවත්වා ගෙන යාමට මිලිටරි හැකියාව පමණක් තවදුරටත් ප්‍රමාණවත් නොවන බවයි.

එම නිගමන සාධාරණිකරණය කිරීමට ඔවුන් රැගෙන එන ප්‍රසිද්ධ උදාහරණයක් වන්නේ, අතිමහත් හමුදා බලයක්  තිබියදීත්, එක්සත් ජනපදය මේ මොහොතේ මුහුණ දෙන ප්‍රතිවිරෝධයයි.

ඒ අතර

  • ඉහළ යන ආර්ථික සහ සමාජ පිරිවැය.
  • උපායමාර්ගික ක්‍රියාමාර්ග වල අධික දිගුව සහ අදෙනසුළු බව.
  • රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගෙන් වර්ධනය වන යුධ විරෝධී ප්‍රතිරෝධය. පෙන්වා දිය හැකිය.

ඉතිහාසඥ පෝල් කෙනඩි (Paul Kennedy) “අධිරාජ්‍ය අධික දිගුව” (Imperial overextension) ලෙස විග්‍රහ කරනු ලබන න්‍යායාත්මක විමර්ශනයේ පදනම මෙයින් මනාව පිළිබිඹු වේ. එහිදී හමුදා කැපවීම් ආර්ථික හැකියාවන්  ඉක්මවා යනු ලබයි.

අසමානතාවයේ, අස්ථාවරත්වයේ, සහ ප්‍රතිරෝධයේ, සමාජ ප්‍රතිවිපාක 

ඕනෑම ආකාරයක යුද්ධයක් විසින්  භූ දේශපාලන ආතතියට අමතරව, ගැඹුරු සමාජ ප්‍රතිවිපාක ඇති කරනු ලබයි.

ඒ අතර

  • ගෝලීය ආහාර මිල ඉහළ යාම.
  • සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය වැඩි වීම.
  • සංක්‍රමණ පීඩනය සහ අස්ථාවරත්වය.
  • බලශක්ති කම්පනය නිසා නිෂ්පාදන ක්‍රියාවලිය අඩපන වීම.

විශේෂයෙන් ආහාර සහ පොහොර හිඟය හේතුවෙන් දුප්පත් රටවල් අසීමාන්තික දුක් වේදනාවලට මුහුණ දීමට සිදුවන බවට IMF විසින් දැනටමත් අනතුරු අඟවා ඇත.

මෙම සන්ධර්භය තුල ගෝලීය දකුණේ ඉදිරිදර්ශනය තීරණය වනු ඇත. ඒ අනුව

බොහෝ රාජ්‍යයන් වෙත මෙම අර්බුදය සාධනීය විශ්වාසයන් රැගෙන එනු ලබයි.

එම තත්වය තුල  “ගෝලීය පද්ධතිය ව්‍යුහාත්මකව අසමාන” බවට වූ විශ්වාසය තහවුරු වේ. ඒ විතරක් නොව බොහෝ බටහිර මැදිහත්වීම් විසඳුම් වලට වඩා අස්ථාවරත්වය  උග්‍ර කිරීමට හේතුවන බවට විශ්වාසයක් ගොඩ නැගේ.

යුගයක අවසානය?

2026 ගල්ෆ් යුද්ධය අවසානය සිහිපත් කළ හැක්කේ හුදෙක්ම යුධ පිටියේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමෙන් පමණක් නොවේ. එතුලින් නියත ලෙසම හට ගන්නා, පද්ධතිමය ප්‍රතිවිපාක ඉතා බලවත් වගේම තීරණාත්මක ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනවා නොඅනුමානය.

දැනටමත් හෙළිවන යථාර්තයට අනුව

  • ඒකපාර්ශ්වික මිලිටරි අධිපත්‍යයේ  සීමාවන්,
  • පෙට්‍රෝඩොලර් පද්ධතිය  බිඳවැටීම සහ  අස්ථාවරත්වය, නිර්ඩොලරිකරණය,
  • බහු ධ්‍රැවීය ලෝක පිළිවෙලක් වෙතට සිදුවන  වේගවත් මාරුව,

පෙන්වා දිය හැකිය.

මෙම නව තත්වය ශ්‍රී ලංකාව වැනි රටවලට රැගෙන එන ඇඟවුම් ඉතා ගැඹුරු ය. එනම්

ගෝලීය කම්පනවලට මුහුණ දිය හැකි ආර්ථික අවදානම, විවිධාංගීකරණය වූ භූ දේශපාලනික පෙළගැස්මක අවශ්‍යතාවය, අප වෙත මෙයින් අවධාරණය කරනු ලබයි. ඒ වගේම බලශක්ති සහ ආහාර සුරක්ෂිතතා උපාය මාර්ගවල  කඩිනම් බවද අත්‍යාවශ්‍ය සාධකයකි.

එහෙත් මේ මොහොතේ ලොව හමුවේ ඇති කේන්ද්‍රීය ප්‍රශ්නය තවදුරටත් ගෝලීය පිළිවෙල වෙනස් වේද යන්න නොවේ. එය ඓතිහාසිකව වෙනස් වීමට නියමිතය. එහෙත් එය කෙතරම් ඉක්මනින් සහ කුමන වියදමකින්ද යන්න අප හමුවේ තිබේ.

20 වන සියවස බටහිර ආධිපත්‍යය විසින් නිර්වචයන කර තිබිණ. 21 වන සියවසේ මුල් භාගය  ක්‍රමයෙන්, ගැටුම් ධාවනය වූ ප්‍රතිවිරෝධතා මගින් අර්ථ දැක්විය හැකිය.

පැහැදිලිවම මෙය සංක්‍රාන්තික මොහොතකි.  එම සංක්‍රාන්තියේදී, මෙවැනි යුධ ගැටුම්  විෂමතා නොවේ. ඒවා ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍ය වේ.

ලිව්වේවිජේපාල දිසානායක විසිනි.

Latest Posts

spot_imgspot_img