Sunday, March 15, 2026
spot_img

Latest Posts

ආණ්ඩුව හුංඩුවක් වූ රටේ නීතිය අධිකරණය වණ්ඩු පිට්ටුවක් නොවේවා

| නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ හුංඩුවේ කතාවට සතියක් ගත වීමටත් පළමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේ පසුවන තුවාන් සුරේෂ් සලේ අත් අඩංගුවට ගත් හේතුව අධිකරණයට ප්‍රකාශ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂකයන් අපොහොසත්වීම පහසුවෙන් අමතක නො කළ යුතුවේ.


මේ රටේ සිද්ධ වෙමින් පවත්නේ ජනතාව අපෙක්ෂා කළ රටේ පාලකයන් කරනවා කී වෙනස නම් නොවේ. හැට නව ලක්ෂයක බහුතරය බලයට පත් කළ පාලකයන්ගේ හැසිරීම් වලට සිනාසිය හැකි වුවද, ෂානි අබේසේකරලා පාලකයන්ගේ කැමැත්තට දිලිප පිරිස්ලා නීතිය සහ අධිකරණ කටයුතු  හසුරුවන බෙහෙවින් බරපතල වේ. එබැවින් ආණ්ඩුව හුංඩුවක් කීම අමනෝඥ කතාවක් වුවද, නීතිය අධිකරණය දෙක වණ්ඩු පිට්ටු කන උජාරැයෙන් කටේ දමා ගැනීමට ඉඩදිය නොහැකි බවය.

සුරේෂ් සලේ – ෂානි අබේසේකර

මිනී මරා වරදකරු වී එල්ලා මරා දැමීමට නියමිතව සිටි මරු සිරාගේ මුහුණ අවසන් වතාවට දැක බලා ගැනීමට පැමිණි රන් මැණිකාට ලැබුණ අවසරය අයිතියක් මිස දීමනාවක් නොවේ. එවැනි අවස්ථාවක විවාහ සහතිකය ගෙන ආ යුතු බවට නියෝග කළොත් එය අයිතිවාසිකම් අහිමි කිරීමකි. රන් මැණිකා සමග සිරිපාල නිත්‍යනුකූලව විවාහ වී නො සිටි පසුබිමක මරු සිරාට මරණීය දණ්ඩනය දුන් දවසේ ෂානි අබේසේකර බෝගම්බර ජේලර් රස්සාව කළා නම්, රන්මැණිකාගෙන් විවාහ සහතිකය ඉල්ලීමට ඉඩ තිබිණ. ෂානි එසේ හැසිරෙන්නේ තම වාසියට කාට හෝ කඩේ යාමට ඇති කැමැත්තට මිස නීතිය නො දැන නොවේ.



මේ උප කල්පනීය උදාහරණය ගන්නේ තුවාන් සුරේෂ් සලේට ෂානි අබේසේකරලා සලකන විදිය තේරුම් ගැනීමටය. මේ ෂානි අබේසේකරට එරෙහිව හෝ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ. අත් අඩංගුවට පත් සැක කරුන්නේ අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීමකි.

වරෙන්තුවක් නැතද, සංඥය වරදක්ය යන හේතුව මත පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම නීත්‍යානුකූල වුවද, පාස්කු ප්‍රහාරය සම්බන්ධව ගොනු කළ නඩු ගණනාවක් විභාග වෙමින් පවත්නා පසුබිමක සුරේෂ් සලේ පොලිසියට කැදවා කට උත්තරයක් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් නො කළේ කාව සතුටු කිරීමටද?  තුවාන් සුරේෂ් සලේ රස්සාවට යන අතරමග පෑලියගොඩදී ඔහු ගමන් කළ වාහනය නවතා අත් අඩංගුවට ගැනීමට ෂානි අබේසේකර පෙළඹවූ හේතුව අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කිරීමේ අයිතියටද යම් බලපෑමක් එල්ල වුණොත්……?

මේ වනවිට නිතිඥයන්ට කෙසේ වුවද සලේගේ දරුවන්ට හෝ සලේ හමුවිමට යාමට ඇති අයිතිය අහිමි කර ඇති බවට බොහෝ වාර්තා පළවේ. සලේගේ 21 හැවිරිදි පුතා සිය පියා දැකීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ පොලිස් අපරාධ අංශයේ අධ්‍යක්ෂගේ නියෝග මත පොලිස් නිෂ්කාෂණ වාර්තාව (Police Clearance Report)ක් නොමැති නම් දරුවාට පියා දැකීමට යාමට නොහැකි බව දන්වා ඇති  බව වාර්තාවේ.



ඕනෑම පුරවැසියෙකුට අත්අඩංගුවේ පසුව ස්වකීය සමීපතමයෙකු දැකීමට ඇති අයිතිය සලේගේ ඥාතින්ට අහිමි කළ නොහැකිය. දරුවන්ට තම පියා දැකීමට ඇති නෛතික අයිතිය නැති කිරීමට ෂානි අබේසේකරට බලය දුන්නේ කවුද? සුරේෂ් පුතාට පියා බැලීමට අවසරය ලබා දීමට පොලිස් නිෂ්කාෂන වාර්තාවක් ඉල්ලා සිටීම හුණ්ඩුවක් වූ ආණ්ඩුවේ පුරවැසි අයිතිය වණ්ඩු ආප්පයක් කර ෂානි අබේසේකරලා විසින් කටේ ඔබා ගැනීමක් නො වන්නේද?

පොලිස් නිෂ්කාෂණ වාර්තාවක් ඉල්ලා සිටින්නේ යහපත් කල් ක්‍රියාවකින් ජීවත්වූ බවට සහතික කර ගැනීම සඳහාය. අත් අඩංගුවට පත් තම පියා බැලීමට යන පුතාගන් පොලිස් නිෂ්කාෂණ වාර්තාවක් ඉල්ලීම පුරවැසි අයිතිය පොළොවේ ගසා කුඩුපට්ටම් කිරීමකි. සලේට අවශ්‍ය ආහාර පාන ගෙදරින් සැපයීමට සලේගේ බිරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමද සරලව බැහැර කළ නො හැකිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කිසිදු අවලාදයක් තවමත් ප්‍රතික්ෂේප කර නැත.

සති කිහිපයකට පෙර ජින්තු පිටි නගරයේදී  මහ දවල්  සිදුවූ වෙඩි තැබිමක් සම්බන්ධව රාජකාරි පැහැර හැරීමක් සම්බන්ධව වගකිව යුතු පොලිස් නිලධාරින් සිව් දෙනෙකු ගෙන් දෙදෙනෙකු පමණක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ සිද්ධිය වූ ස්ථානයේ රාජකාරි කළ අනෙක් පෙලිස් නිලධාරින් දෙදෙනා ගැන අධිකරණය ප්‍රශ්න කළ අවස්ථාවේ පොලිසිය කීවේ පොලිසියේ නම්බුව ආරක්ෂා කිරීමට දෙදෙනෙකු පමණක් අත් අඩංගුවට ගත් බවය.



ජින්තු පිටි සිද්ධිය මෙහිදි උපුටා දක්වන්නේ සිද්ධිය වූ ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි දෙදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ පොලිසියේ නම්බුව ආරක්ෂා කිරීමට මිස රටේ ජනතාවගේ ආරක්ෂාව සැලසීම පිළිබද වගකීමෙන් නොවේ. මාසයකට වරක් නඩුවක් පැවරීමට අහිංසක කුලී කාරයෙකු පොලිසියට එවීමේ එකගතාව මත හොර සුරා පෙරා විකිණීමට ප්‍රදේශයේ කසිප්පු කාරයන්ට අවසර දීමද පොලිසියේ නම්බුව ආරක්ෂා කරන තවක් විදියක් බව රහසක් නොවේ. මෙවැනි අවස්ථාවල ෂානිලා තම වාසියට පවත්වා ගෙන යන නීතිය අධිකරණය වන්ඩුපිට්ටුවක් හැටියට සලකා කටේ ඔබා ගැනීමේ පීඩාවෙන් ජන ජීවිතය ආරක්ෂා කිරීමේ වගකීමක් අධිකරණය වෙත පැවරෙන බවද ගෞරවයෙන් සැලකර සිටිය යුතුවේ.

තුවාන් සුරේෂ් සලේ අත් අඩංගුවට ගැනීම එළඹෙන අප්‍රේල් පාස්කු දිනය වෙනුවෙන් ආණ්ඩුවෙන් පිදෙන දෙවන පාස්කු දිව්‍ය පූජාව වන්නේ පසුගිය වර්ෂයේ පාස්කු සංහාරයට සැක පිට අත් අඩංගුවට ගත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  තවමත් රැදවුම් භාරයේ  රදවා ගෙන සිටින  නිසාය. පාස්කු ප්‍රහාරය සිදුවිමට ආසන්න කාලයේ පිල්ලේයාන් සිටියේ මඩකලපුව බන්ධනාගාරයේ බව දැන දැනම පාස්කු ප්‍රහාර සිද්ධියට සැක කර ඔහුව අත් අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා ගෙන සිටීම, මාලිමා පාලකයන් කාදිනල් වරයාට දුන් ඡන්ද පොරොන්දුව වාර්ෂිකව අලුත් කිරීමක් පමණක්  බව රටම දනිති.

කුමන දේශපාලන මතවාද දැරුවද ලාංකේය පුරැවැසියෙකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ ජනාධිපති නීතිඥ නිලන්ත ජයවර්ධන මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහුට විරුද්ධව මහාධිකරණයේ අධි චෝදනා නගා නඩු පවරා තිබුණද එකී සියලු චෝදනා වලින් තම සේවාදායකයා නිදොස් කොට නිදහස් ඇති හෙයින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවේ පසුවන සිය සේවාදායකයා හමුවී උපදෙස් ලබා ගැනීමට අවසර දිය හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේදී විමසා සිටියේය. ඒ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ඇමතූ විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධව විමසූ අවස්ථාවේ එවැනි අවසරයක් ඉල්ලා සිටියි නම් ඊට අවසර ලබාගත හැකි බවට ප්‍රකාශ කළේය.  මේ සංසිද්ධියට සමගාමිව තුවන් සුරේෂ් සලේ හමුවිමට ගිය නීතිඥයන්ට ඔහු සමග නිදහසේ කතා කිරීමට අවසර නැති බව සිහිපත් කළ යුතුවේ. වරක් තුවාන් සලේ සමග නීතිඥවරුන් කළ කතාබහ රහසිගතව ටේප් කළ බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නැගෙන අවලාදය සාක්ෂි ආඥා පනතින් සහතික කළ  Privileged Communication  අයිතිය අහිමි කිරීමකි.


මේ තත්වය අද පමණක් නොව පසුගිය කාලයේද අඩුවැඩි වශයෙන් පැවති අතර, සමහර පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට මෙන්ම නඩු නො පවරා සිටිමටද පොලිසිය ක්‍රියා කළ අවස්ථාවන්හිදී අධිකරණයද යම් යම් අපහසුතාවන්ට මුහුණ දුන් බව  රවි සෙනෙවිරත්නගේ රිය අනතුර සම්බන්ධ බී වාර්තා කැදවූ අවස්ථාවේ ගල්කිස්ස උසාවියේ සිද්ධින් එක් උදාහරණයක් පමණකි. සරත් පොන්සේකාට එරෙහිව පැවති සුදු කොඩි නඩුවේ විසම්මතික තීන්දුවක් ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු  ටි.බී.වරාවැව මහතාට අභියාචනාධිකරණයට පත් නො කිරීමෙන් විශ්‍රාම යාමට සිදුවිම තවත් අපකීර්තිමත් සිද්ධියකි. එසේම සුනාමි නඩු තීන්දුව මෙන්ම පී.බී.ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් බේරා රාජපක්ෂලාගේ උවමනාවට නිදොස් කොට නිදහස් කිරීම ආදි අවස්ථාවන්හි නිර්මානය වූ සමාජ ආලෝලන නිසා තවමත් සමහර අග විනිසුරුවන්ගේ ක්‍රියා කලාපයන් යළි යළි ඉස්මතුවේ.

2015 ජනාධිපති මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම අනුව බෞද්ධ කාන්තාවන්ට රජයේ විදමින් සිල්රෙදි සැපයීම මැතිවරණයක් ආසන්නයේ සිදුවීම කෙසේ වෙතත් විදුලි සංදේශ නියාමන කොමිෂමේ විෂය පථය තුළට අයත් වගකීමක් නොවූ අතර, එකී ක්‍රියාව විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන් නියෝගයකට අවනත වීමක් හැටියට දැක්වූ විත්ති වාචකය රජයේ මුදල් රෙගුලාසි වලට පටහැනි හෙයින් එකී වගකීම ඍජුව නිලධාරින් විසින් දැරිය යුතුය යන පදනමෙන් 2017 සැප්තැම්බර් මස 07 වනදා සිල් රෙදි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ  අනුෂ පැල්පිට දෙදෙනාට එරෙහිව අධි සියලු චෝදනාවන් සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවූ බවට ප්‍රකාශ කරමින් චුදිතයන් දෙදෙනාට බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් ලබා දෙමින් ඊට අමතරව ලක්ෂ 20ක දඩයක් හා එක් චූදිතයකු විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට මිලියන 50 බැගින් මිලියන 100ක වන්දියක් ගෙවිය යුතු ලෙසටද නියම විය.

රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට සාක්ෂි ආනවරණය නොවීම අනුව මහාධිකරණයේ ගොනු කර තිබූ අධිචෝදනා තුනම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව දක්වා සිල් රෙදි නඩුවේ අභියාචන නඩු විභාගය අවසානයේ චුදිතයන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කෙරිණ. මේ අභියාචන නඩු තීන්දුව රටේ මුදල් භාවිතා කළ නිලධාරියෙකුගේ වාසියට අධිකරණයකදී සලකා බලා නැති අතර, දිට්වා ව්‍යසනයෙන් හානියට පත් අයට ආධාර ලබා දීමේදී එක එකා කිව්වාට ඕවා කරලා හිරේ යන්න බෑ කියමින් රාජ්‍ය සේවය කල් මරන්නේ සිල් රෙදි නඩුවේ මහාධිකරණ තීන්දුවේ බලපෑම නිසාය.



ෂානි අබේසේකර පසුගිය අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂයාට සහාය ලබා ගැනීමට පැවති  දේශපාලන ප්‍රචාරක රැස්වීම්වලට සහභාගිවූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ දිවුරැම් ප්‍රකාශයකින් තහවුරු වි ඇති පසුබිමක පිල්ලෙයාන්ලා සුරෙස් සාලේලා රදවා තබා ගෙන කරන සෙල්ලම නිත්‍යානුල විය හැකිද යන්න විවෘත ප්‍රශ්නය වැඩි කල් නොයා අධිකරණ ශාලාවකදී ප්‍රශ්න කෙරෙනු ඇත.



ආරක්ෂක අංශවල සේවය කරන පහළම සාමාජිකයාටත් පක්ෂ දේශපාලන ක්‍රියාකාරකම් අහිමි වන පසුබිමක ෂානි අබේසේකර වහා එකී වගකීම් වලින් බැහැර කළ යුතුවේ. ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න දෙදෙනා පාස්කු ප්‍රහාරය සම්බන්ධ සමකාලීන විමර්ෂණ වලට සම්බන්ධව සිටියා නම් මහමොළකරු සෙවීමේ දේශපාලන ව්‍යාපෘතිය භාරව ක්‍රියා කිරීමට ඉඩ සැලසීම රටේ පුරවැසි ආරක්ෂාවට පමණක් නොව අධිකරණයේ ස්වාධිනත්වයද අස්ථාවර කිරීමකි. සුනාමි, සුදු රෙදි හා සිල් රෙදි වැනි නඩු තීන්දු පිළිබ‍දව පවත්නා අනුමාන හරහා ෂානිලාට අවදානම වැට පැන යාමට ඉඩ දිය යුතු නැත.

1972 ජනරජ ව්‍යවස්ථාව කෙටුම් පත් කළ අවස්තාවේ සෝල්බරි ව්‍යවස්ථාවේ පැවති එංගලන්තයේ ප්‍රිවී කවුන්සිලයට අභියාචනා කිරීමේ අවසරය ඒ ආකායෙන්ම තබා ගැනීම වැදගත් බව ව්‍යවස්ථා සම්පාදන අමාත්‍ය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ දැඩි ස්ථාවරය වුවද, අමාත්‍ය ෆීල්ක්ස් ඩයස් බණ්ඩානායක ඊට දැඩි සේ විරුද්ධ වෙමින් 62 රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ නඩුවේ විත්තිකරුවන් නිදහස් වුණේ ප්‍රිවී කවුන්සිල තීන්දුව නිසා බව සිහිපත් කොට ජන රජයේ  ආරක්ෂාව පිණිස ප්‍රිවී කවුන්සිල ප්‍රතිපාදනය ප්‍රතික්ෂේප කෙරිණ. පසු කලෙක තම දේශපාලන සගයෙකු වූ ජයා පතිරණ අධිකරණ සේවයට එක් කරන ලද්දේද අමාත්‍ය ෆීල්ක්ස් ඩයස් බණ්ඩාරනායක විසිනි.

මේ අනුව රටේ ව්‍යවස්ථාව පුරවැසි හිමිකම් සියල්ල පිළිබද රටේ පවත්නා උපරිමාධිකරණ අපේක්ෂාව ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් බව ජනතාවගේ පරම විශ්වාසය වේ. ආණ්ඩුව හුංඩුවක් වුණාට රටේ නීතිය සහ අධිකරණය වණ්ඩු පිට්ටුවක් කර කටේ ඔබා ගැනීමට කිසිවෙකුට ඉඩදිය යුතු නැත.

(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
[email protected]

Latest Posts

spot_imgspot_img