Latest Posts

TV Supreme වෙත නව පණක්: ලාංකේය මාධ්‍ය කලාව උඩුයටිකුරු කරන දැවැන්ත පුනරාගමනය!

වර්තමානය වන විට සාම්ප්‍රදායික රූපවාහිනීකරණය ක්‍රමයෙන් ජන සමාජයෙන් ඈත්වෙමින් පවතින බව රහසක් නොවේ. අද වන විට රූපවාහිනිය සාලයේ ඇති පෙට්ටියෙන් නික්මී, ප්‍රේක්ෂකයාගේ අතැති ස්මාර්ට් දුරකථනය දක්වා සංක්‍රමණය වී හමාරය. මෙම නවීන ප්‍රවණතාවයට සමගාමීව, සමාජ මාධ්‍ය මුල්කරගත් නවමු මාධ්‍ය ක්‍රමවේදයක අත්‍යවශ්‍යතාව මේ යුගයේ දැඩිව පැන නැගී ඇත. පසුගිය කාලසීමාව පුරාවට විවිධ පරිපාලනමය අභියෝග රැසකට මුහුණ දුන් ‘TV Supreme’ නාලිකාව, මෙකී යථාර්ථය මැනවින් අවබෝධ කරගනිමින්, සිය විකාශන රටාව මුළුමනින්ම නව්‍යකරණය කරමින් ප්‍රබල පුනරාගමනයකට මේ දිනවල සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

මෙම තීරණාත්මක වෙනසේ පළමු පියවර ලෙස, Supreme නාලිකාවේ සමස්ත පරිපාලන සහ මෙහෙයුම් කටයුතු ප්‍රකට ‘Red Circle Productions’ ආයතනය වෙත පවරා තිබීම සුවිශේෂී සිදුවීමකි.

නාලිකා ප්‍රධානී ලෙස රූපවාහිනී ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක්

මෙම දැවැන්ත ගමනේ නාලිකා ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ සන්නිවේදකයෙකු වන නිමල් ඒකනායක මහතාය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් තැබූ හෙතෙම, ජාතික රූපවාහිනියේ “චැනල් අයි (Channel Eye)” නාලිකාව දියත් කිරීමට මූලිකත්වය ගත් පුරෝගාමියෙකි. එසේම සියත රූපවාහිනියේ අධ්‍යක්ෂවරයා ලෙස එහි දෙමළ සහෝදර නාලිකාව වන “වෙට්රි (Vettri TV)” ජනගත කිරීමේ ප්‍රමුඛ මෙහෙවර ද ඔහු අතින් සිදුවිය. මෙම නව තනතුරට පත්වන විට ඔහු සුප්‍රීම් නාලිකාව හා සම්බන්ධ ටීඑන්එල් (TNL) නාලිකාවේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

TV Supreme ප්‍රධාන විධායක ධුරයට කාන්තාවක්

නව පරිපාලන ව්‍යුහය තුළ ප්‍රධාන විධායක නිලධාරිනිය (CEO) ලෙස ප්‍රවීණ නිර්මාණකාරිනී දර්ශී ගමගේ මහත්මිය පත් කර ඇත. ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ ප්‍රධාන පෙළේ රූපවාහිනී ආයතනයක විධායක නායකත්වය කාන්තාවක අතට පත්වීම සුවිශේෂී කඩඉමකි. ඇයගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණශීලී දායකත්වය හරහා නාලිකාවේ ගුණාත්මකභාවය ඉහළම තලයකට පිවිසෙනු ඇති බව විචාරකයින්ගේ අදහසයි.

ඩිජිටල් මෙහෙයුම තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකුගේ අතට

නාලිකාවේ අනාගතය රැඳී පවතින ඩිජිටල් අංශයේ ප්‍රධානියා ලෙස මාධ්‍ය, තොරතුරු තාක්ෂණ සහ උපායමාර්ගික සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ඩිලන්ත විතානගේ මහතා පත්කර තිබේ. දශක දෙකකට අධික කාලයක් තොරතුරු තාක්ෂණ සහ මාධ්‍ය උපදේශන ක්ෂේත්‍රයේ සක්‍රීයව නියැලී සිටින හෙතෙම, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නිර්මාතෘ සාමාජිකයෙකු මෙන්ම අමාත්‍යාංශ රැසක උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති ඒ මහතා, ජාතික තරුණ සේවා සභාවේ සහ SLIIT ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද සිය දායකත්වය සපයා තිබේ. විශේෂයෙන්ම ‘e-Society’ සහ ‘e-Journalists’ වැනි ව්‍යාපෘති හරහා දේශීය මාධ්‍යවේදීන් නවීන තාක්ෂණයට හුරුකිරීමේ සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ පුරෝගාමියෙකු ලෙසද ඔහු සැලකේ.

පුවත් කලාවේ ආක්‍රමණශීලී පෙරළියක් සහ තිරය පිටුපස සිටින “දැවැන්තයා”

මීට අමතරව, TV Supreme නාලිකාවේ පුවත් සහ කාලීන වැඩසටහන් කෙරෙහි නව පරිපාලනය විසින් විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ අනුව, ඉදිරියේදී වාර්තාකරණය සහ දේශපාලන විග්‍රහයන් සම්ප්‍රදායික රාමුවෙන් මිදී, “නව මුහුණුවරකින්” සහ වඩාත් “ආක්‍රමණශීලී” ස්වරූපයකින් ප්‍රේක්ෂකයන් වෙත සමීප වීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙහි ඇති වඩාත්ම කුතුහලය දනවන කරුණ වන්නේ මේ සියලු පෙරළියන් පිටුපස මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා පළපුරුදු ‘දැවැන්තයෙකු’ සැඟවී සිටීමයි. ඔහු කවුරුන්දැයි මෙතෙක් නිල වශයෙන් හෙළිදරව් කර නොමැති වුවද, මෙම මෙහෙයුම හරහා මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශාල ප්‍රවෘත්තිමය හා දේශපාලනික විප්ලවයක් නුදුරේදීම සිදුවනු ඇති බවට විචාරකයෝ අනාවැකි පළ කරති.

නව දැක්මක් ඔස්සේ ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීමට සැරසෙන Supreme TV ප්‍රධානීන් වන නිමල් ඒකනායක, දර්ශී ගමගේ සහ ඩිලන්ත විතානගේ යන මහත්ම මහත්මීන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

සුප්‍රිම් ගමනට ‘හරි දේශ‌යෙනුත්’ සුභ පැතුම්!

Latest Posts

spot_imgspot_img