Latest Posts

රජයට රුපියල් ලක්ෂ 396ක පාඩුවක් කළ වැලිගම හිටපු ප්‍රාදේශීය සභා සභාපති රක්ෂිත බන්ධනාගාරයට

වැලිගම ප්‍රාදේශීය සභාවට සහ රජයට රුපියල් ලක්ෂ 396කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබූ එම සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා ඊයේ (08) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුට එරෙහිව මේ වන විට දූෂණ චෝදනා හතරක් යටතේ විමර්ශන ක්‍රියාත්මක වේ. අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව සැකකරුට එරෙහිව පවතින ප්‍රධාන චෝදනා කිහිපයකි.

  1. අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමේ ව්‍යාපෘතියක් නිසි අනුමැතියකින් තොරව ආරම්භ කර, රුපියල් 26,025,650.00ක අභ්‍යාස පොත් මිලදී ගෙන ව්‍යාපෘතිය අතරමඟ නතර කිරීම.
  2. පෞද්ගලික ආයතනයක් විසින් ප්‍රාදේශීය සභාවට වෙන්කර තිබූ පර්චස් 202ක ඉඩමක් රුපියල් ලක්ෂ 2ක් වැනි ඉතා අඩු මුදලකට සිය ඥාතිවරයෙකුට පවරා සභාවට පාඩු සිදු කිරීම.
  3. තමාට හිමි ඉඩමක් නීතිවිරෝධී ලෙස ප්‍රාදේශීය සභාවට අත්පත් කර දීමට කටයුතු සලස්වා රුපියල් ලක්ෂ 94ක මුදලක් ලබා ගැනීම.
  4. රජයට අයත් ඉඩමක් ප්‍රාදේශීය සභාවට අත්පත් කර ගැනීමට කටයුතු කරමින්, එහි දීමනාපත්‍ර හිමිකරුට රුපියල් ලක්ෂ 40ක් ගෙවා එම ඉඩම සභාවට අත්පත් කර නොගැනීමෙන් රජයට පාඩු කිරීම.

මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන අතර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා සියලු කටයුතු නිත්‍යානුකූලව සිදුකර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ලේඛන පවතින බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසත්ය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Latest Posts

spot_imgspot_img