Latest Posts

පාරිභෝගිකයාට මරණ වරෙන්තුවක් ලියන ‘නම නැති’ යකඩ කම්බි ජාවාරම!

පාරිභෝගික අධිකාරිය රකින්නේ ජනතාවගේ ජීවිතද?
ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරද?

හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි මහා පරිමාණ යකඩ කම්බි (Steel Bars) නිෂ්පාදන කර්මාන්තශාලාවකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ඊයේ (09) දින මුද්‍රා තැබීමේ සිදුවීම මේ වන විට දැඩි ආන්දෝලනයකට සහ බරපතල සැකසංකා රැසකට තුඩු දී තිබේ. ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළෙඳපොළට මුදාහරින ආයතන වැටලීම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමක් ලෙස බැලූ බැල්මට පෙනී ගියද, මෙම මෙහෙයුමේ ක්‍රියාකලාපය සූක්ෂමව නිරීක්ෂණය කිරීමේදී මෙය හුදෙක් මහජනතාව රැවටීමේ ‘මාධ්‍ය සංදර්ශනයක්’ ද යන බලවත් ප්‍රශ්නය පැන නගී.

ඇත්තටම මොකක්ද මේ කම්බි කර්මාන්තශාලා වැටලීම?

අදාළ කර්මාන්තශාලාව විසින් ඉදිකිරීම් සඳහා යොදාගන්නා මිලිමීටර් 6 (6mm) යකඩ කම්බි, ඒ සඳහා වන අනිවාර්ය ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය වන SLS 375 (Specification for Ribbed Steel Bars for the Reinforcement of Concrete) නොමැතිව වෙළෙඳපොළට නිකුත් කර ඇත. වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ, මෙම නීතිවිරෝධී ක්‍රියාව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ අඛණ්ඩව සිදුවී ඇති බව නිලධාරීන් විසින්ම පිළිගැනීමයි.

විනිවිදභාවය ප්‍රශ්න කරන නම නැති කම්බි ජාවාරම

මෙම සමස්ත ක්‍රියාදාමය තුළ පාරිභෝගික සේවා අධිකාරිය එල්ල කර ගන්නා බරපතලම චෝදනාව වන්නේ අදාළ කර්මාන්තශාලාවේ හෝ ඔවුන් නිකුත් කළ යකඩ කම්බිවල “සන්නාමය (Brand Name)” මහජනතාවගෙන් දැඩි සේ වසන් කිරීමයි.

වසර තුනක් පුරා ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි වෙළෙඳපොළට මුදාහැරියේ නම්, එම කාලය තුළ ඉදිවූ ගොඩනැගිලි සහ නිවාසවල ආරක්ෂාව මේ වන විටත් පවතින්නේ දැඩි අවදානමකය. තමන් මිලදී ගත්තේ කුමන සමාගමේ යකඩදැයි දැනගැනීමට පාරිභෝගිකයාට ඇති මූලික අයිතිය උල්ලංඝනය කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක.

ව්‍යාපාරිකයන් සුරැකීමේ න්‍යායපත්‍රයක්?

නීතිය කඩ කළ ආයතනයක නම හෙළි නොකිරීම හරහා වක්‍රව සිදුවන්නේ කුමක්ද? එය එම කූට ව්‍යාපාරිකයාගේ ඉදිරි කීර්ති නාමය සහ අනාගත වෙළෙඳපොළ සුරක්ෂිත කර දීමක් ලෙසයි විවිධ පාර්ශව ප්‍රකාශ කරන්නේ. වැරදිකරුවන්ගේ නම් හෙළි නොකිරීම පිටුපස ඇති ඩීල් එක කුමක්දැයි සමාජය ප්‍රශ්න කරන්නේ එබැවිනි.

කර්මාන්තශාලාවට මුද්‍රා තැබුවද, පසුගිය වසර තුන පුරා ඔවුන් නිෂ්පාදනය කළ ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි තොග මේ වන විටත් දිවයින පුරා හාඩ්වෙයාර් වෙළෙඳසැල්වල අලෙවිය සඳහා තිබිය හැකිය. ජනතාව තම ජීවිතයේ සියලු ඉතුරුම් යොදවා ගොඩනගන නිවසට මේ මොහොතේත් යොදාගන්නේ එම මාරාන්තික යකඩ කම්බි විය හැකය. නම හෙළි නොකිරීම හේතුවෙන් වෙළෙඳපොළේ ඇති අනෙකුත් ප්‍රමිතියෙන් යුතු සන්නාම කෙරෙහිද පාරිභෝගිකයා තුළ අනවශ්‍ය සැකයක් නිර්මාණය වීමටද මෙය හේතු වේ.

කෙසේවෙතත් පාරිභෝගික සේවා අධිකාරිය සැබවින්ම පෙනී සිටින්නේ පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් නම්, ඔවුන්ගේ පළමු රාජකාරිය විය යුත්තේ වහාම මෙම ආයතනයේ නම සහ සන්නාමය රටට හෙළි කිරීමයි. එසේ නොමැතිව සිදුකරන මෙවැනි වැටලීම්, හුදෙක් නිලධාරිවාදී අරමුණු ඉටුකරගැනීමක් හෝ අභ්‍යන්තර ගනුදෙනුවක් පියවා ගැනීම සඳහා කළ නාඩගමක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

ඉදිකිරීම් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී කිසිදු විටෙක වෙළෙන්දාගේ වාචික සහතිකවීම් මත පමණක් යැපෙන්න එපා!
යකඩ කම්බි මිලදී ගැනීමේදී එහි SLS 375 ප්‍රමිති ලාංඡනය මුද්‍රණය කර ඇතිදැයි අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න.
ප්‍රමිතියෙන් තොර යකඩ යනු ඔබගේ ජීවිතයටත්, දේපළටත් එල්ල කරගත් මරණ වරෙන්තුවක් බව තරයේ සිහි තබාගන්න.

Latest Posts

spot_imgspot_img