වර්තමාන අස්ථිර ගෝලීය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය, ස්ථාවරතාව සහ සංවර්ධනය ආරක්ෂා කිරීම උදෙසා ‘2026 වසර සඳහා යාවත්කාලීන කරන ලද ජාතික ආරක්ෂක ක්‍රමවේදයක්’ (National Security Strategy – NSS) හඳුන්වා දීමට පාත්ෆයින්ඩර් පදනම ඊයේ (මාර්තු 05) පියවර ගත්තේය.
කොළඹ දී පැවති මෙම යෝජනාවලිය එළිදැක්වීමේ අවස්ථාවට එය සකස් කිරීමට දායක වූ විද්වතුන්, විශ්‍රාමලත් හමුදා නිලධාරීන්, නීති හා ප්‍රතිපත්ති විශේෂඥයින් පමණක් නොව, දේශීය බුද්ධි ආයතනවල ප්‍රධානීන් සහ මාධ්‍ය නියෝජිතයින් ද සහභාගී වීම සුවිශේෂී විය. මෙය හුදෙක් සිවිල් සමාජ කතිකාවතකට එහා ගිය, රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ ද ඉහළ අවධානය දිනාගත් කාලීන සහ ප්‍රායෝගික පියවරක් බව මින් ගම්‍ය වේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකාවේ පසුගාමීත්වය
මෙම අවස්ථාවේදී වාර්තාව ඉදිරිපත් කරමින් සමාරම්භක අදහස් දැක්වූ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් කොතරම් පසුගාමී තත්ත්වයක පසුවන්නේ ද යන්නයි.
ඇමරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය වැනි ගෝලීය බලවතුන් පමණක් නොව, කලාපීය සහ අසල්වැසි රාජ්‍යයන් වන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ මැලේසියාව වැනි රටවල් ද නිල ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති (National Security Policies) මත පදනම්ව කටයුතු කරයි. එහෙත්, දශක ගණනාවක යුධ අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවට මෙතෙක් නිල වශයෙන් අනුමත කරන ලද ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් හෝ ක්‍රමවේදයක් නොමැති වීම බරපතල උපායමාර්ගික දුර්වලතාවක් බව ඔහු මෙහිදී දැඩිව අවධාරණය කළේය.

සම්ප්‍රදායික ආරක්ෂාවෙන් ඔබ්බට: DIME රාමුව සහ නව ප්‍රමුඛතා
යෝජිත ක්‍රමවේදය මගින් ජාතික ආරක්ෂාව යන්න සාම්ප්‍රදායික යුධමය රාමුවෙන් ඔබ්බට ගෙන ගොස් ඇත. රාජ්‍ය තාන්ත්‍රික (Diplomatic), තොරතුරු (Information), හමුදාමය (Military) සහ ආර්ථික (Economic) යන ජාත්‍යන්තරව පිළිගත් ‘DIME’ රාමුව භාවිතා කරමින් ජාතික බලය ක්‍රියාවේ යෙදවීම වාර්තාව මගින් යෝජනා කරයි.
රටක අභ්‍යන්තර ස්ථාවරත්වය සහ පැවැත්ම සඳහා පහත සඳහන් ක්ෂේත්‍ර ජාතික ආරක්ෂාවේ ප්‍රධාන උපායමාර්ගික ප්‍රමුඛතා ලෙස වාර්තාවෙන් ඉස්මතු කර ඇත :
- යහපත් පාලනය සහ අභ්‍යන්තර ආරක්ෂාව: පාරදෘශ්‍යභාවය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම.
- සයිබර් ආරක්ෂාව: ඩිජිටල් තර්ජනවලින් තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම.
- බලශක්ති සහ ආහාර ආරක්ෂාව: ආර්ථික කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව.
- සෞඛ්‍ය, මානව සම්පත් සහ පරිසර ආරක්ෂාව.

ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා වූ දැඩි නිර්දේශ
ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, සම්පූර්ණ හා රාජ්‍ය නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික ආරක්ෂක රාමුවක් සකස් කිරීමේ හදිසි අවශ්‍යතාවය වාර්තාව පෙන්වා දෙයි. ඒ සඳහා:
- පූර්ණ නීතිමය බලය සහිත ජාතික ආරක්ෂක මණ්ඩලයක් (NSC) පිහිටුවීම.
- ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම.
- රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය සඳහා ජාතික ආරක්ෂක උපදේශකයෙකු (NSA) නිල වශයෙන් පත් කිරීම.

විද්වත් කතිකාවත සහ ඉදිරි මාවත
වාර්තාවේ ප්‍රධාන කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති විද්වත් අදහස් දැක්වීම සඳහා හිටපු තානාපති රවිනාථ ආරියසිංහ, හිටපු නාවික හමුදාපති සහ තානාපති ජයනාත් කොළඹගේ මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවණමුත්තු යන මහත්වරුන් එක්වූහ. රාජ්‍ය තාන්ත්‍රිකභාවය, යුධෝපාය සහ සිවිල් සමාජ කතිකාවත නියෝජනය කරන මෙම පිරිසගේ අදහස් හරහා, ජාතික ආරක්ෂාව සඳහා මිලිටරි-සිවිල් සහයෝගීතාවයේ වැදගත්කම තවදුරටත් තහවුරු කෙරිණි.
අවසාන වශයෙන්, මෙම යෝජනාව රජය, ආරක්ෂක ආයතන, ක්ෂේත්‍ර විශේෂඥයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව, සම්පූර්ණ හා දිගුකාලීන නිල ජාතික ආරක්ෂක රාමුවක් සකස් කිරීම සඳහා ශක්තිමත් පදනමක් ලෙස ක්‍රියා කරනු ඇති බව පාත්ෆයින්ඩර් පදනමේ අපේක්ෂාවයි.




