අද්මිරාල් විසිනි
තමන් කිසිදා නැවක් පදවා නොතිබූ, එහෙත් ගොඩබිමට වී මුහුදේ යන නැව්වලට ගල් ගැසීමේ පරම දක්ෂතාවයක් තිබූ එක්තරා ‘කැප්ටන්’ කෙනෙක් සිටියේය. ඔහුට හදිසියේම නැවක සුක්කානම ලැබුණි. නැව පදවන හැටි නොදැන සිටියත්, “නැව් පැදවීම යනු මොන මහලොකු දෙයක්ද”යි සිතූ ඔහු සුක්කානම තදින් අල්ලා ගත්තේය.
ගුරුවරුන්, නාවිකයන් සහ ලක්ෂ සංඛ්‍යාත මගීන් පිරිසකගේ ජීවිත පිළිබඳ වගකීම එක රැයකින් ඔහු මත පැටවුණි. නැවේ නාවිකයන්ගෙන් බහුතරයක් අත්දැකීම් නැති අලුත් අය විය. ඉතිරි පිරිස, පරණ නැව් වනසා මගීන්ගේ අප්‍රසාදයට ලක්ව පන්නා දැමූ ප්‍රතික්ෂේපිත පිරිසකි. කෙටියෙන් කිවහොත්, එය කිසිසේත්ම ‘ඩ්‍රීම් ටීම්’ එකක් නොවීය.
කැප්ටන්ගේ ප්‍රධාන රාජකාරිය වූයේ නැව කුණාටු අතරින් ආරක්ෂිතව පදවාගෙන යාම සහ මගීන්ගේ සුභසිද්ධිය බැලීමයි. නමුත් කැප්ටන්ට එක්තරා බරපතල ප්‍රශ්නයක් තිබුණි. ඔහු යමෙකුට අන්ධ ලෙස ආදරය කළේය. ඒ නැවට නොවේ, මගීන්ට නොවේ, තමන්ගේ වගකීමටද නොවේ. ඔහු ආදරය කළේ තමන්ගේ ‘දේශපාලන බලයට’ සහ ඒ බලය රැකගැනීමට ඇති කෙටි මාර්ගවලටය.
ආදරය සුන්දරය; නමුත් අන්ධ ආදරය මිනිසුන්ව අන්ත මෝඩයන් බවට පත් කරයි.
ඉතින්, මේ පෙම්වතුන් ලෝකයේ ඕනෑම කෙනෙකු කරන දෙයක් කැප්ටන් ද කළේය. ඔහු නැවේ මීට පෙර කිසිදා නොතිබූ, කිසිවෙකුටත් අනවශ්‍ය වූ අලුත්ම ‘සංශෝධන’ මාලාවක් නිර්මාණය කළේය. ඒ, 22 වන ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ ඇයි? අධිකරණය තමන්ගේ සාක්කුවට දමාගෙන, තමන්ට අවශ්‍ය පරිදි නීතිය නැමීමේ බලය තමන් සන්තකයේම තබා ගැනීමටයි.
පරණ නැව්වලින් පන්නා දමන ලද ‘ප්‍රතික්ෂේපිත’ නාවිකයෝ මෙය දුටුවෝය. ඔවුන් කැප්ටන්ට වල කැපීමට පටන් ගත්හ. නමුත් කැප්ටන්ගේ අන්ධ ආදරයට ඒ කිසිවක් ඇසුණේ නැත.
නමුත් මේ අතරතුර, නැවේ ස්වාධීනව සිටි නීතිඥයන්, ආගමික නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන නැවේ දොර ඇරගෙන ඇතුළට වැදුණහ. එහිදී ඔවුන් දුටු දසුන පුදුම සහගතය.
කැප්ටන් තම දෑතින්ම අධිකරණයේ ස්වාධීනත්වයට මාංචු දමමින්, තමන්ට හිතවත් විනිසුරුවරුන්ට සහ දේශපාලන සගයන්ට ‘කෑම කවමින්’ සිටියේය! තමන්ගේම පිරිස ආරක්ෂා කරගැනීමට අධිකරණ පද්ධතියම සූදුවකට තබා ඇති බව මුළු ලෝකයම දැක්කේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පාරට බැස්සේය. මල්වතු මහනායක හිමියන් ඇතුළු ආගමික නායකයන් මේ අනතුර ගැන කෑගැසූහ. 1953 සිට පැවතෙන, ඉතාලියේ රෝමය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ) පවා එළිපිටම කිව්වේ, “ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට අතතිබීම වහාම නතර කරනු, මේ අනවශ්‍ය සංශෝධන හකුලා ගනු!” කියාය.
ලෝකයම නිරුවත දැක්කත්, කැප්ටන් කළේ ඒ රහස දන්නා සහ ඊට එරෙහි වූ නීතිඥයන්ටත්, ස්වාධීන ආයතනවලටත් චෝදනා එල්ල කරමින් ඔවුන්ව දඩයම් කිරීමට තැත් කිරීමයි. ආදරය සහ කේන්තිය එකතු වූ විට මිනිසා “අන්ත මෝඩයෙකු” බවට පත් වේ.
තමන්ගේ රහස් හෙළි වන විට, විවේචන එල්ල වන විට, ඒවායින් බේරෙන්නට අලුත් අලුත් සංශෝධන ගෙන ඒමෙන් සිදුවන්නේ තමන්ගේම නිරුවත මුළු රටටම සහ ලෝකයටම උත්සවයක් බවට පත්වීමයි.
අනිත් පසින්, කැප්ටන්ගේ අමාත්‍ය මණ්ඩලයේ රඟපෑම් තවත් විහිළුවකි! මහර බන්ධනාගාරයේ සැකකටයුතු ලෙස සිරකරුවන් මියයද්දී, අධිකරණ අමාත්‍යාංශය අසාර්ථක වෙද්දී, අධිකරණ ඇමතිවරයා කරන්නේ හරක් නිදහස් කරමින් “අමාත්‍යාංශයේ දෝෂ ඇරියා” කියා ෆේස්බුක් පෝස්ට් දැමීමයි! අමාත්‍යාංශවල දෝෂ අරින්න හරක් නිදහස් කරන මොනතරම් අද්භූත නාට්‍යයක්ද මේ?
ජනාධිපතිතුමනි, දැන්වත් ඇහැරෙන්න! ඔබ ඉන්නේ ඉතා අමාරු සහ අන්තරායකර තැනකය.
මේ මොහොතේ රටට කිසිසේත්ම අනවශ්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය වළපල්ලට යවන 22 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ඔබ තමන්ගේම බෙල්ලට දමාගන්නා තොණ්ඩුවකි. නැවේ සිදුරු පිරී වතුර දමද්දී, මගීන්ට කන්න නැතිව බඩගින්නේ සිටිද්දී, ඔබ කරන්නේ නැවේ තට්ටුව උඩ නිරුවතින් ඔටුන්න දාගෙන ‘22 වන සංශෝධනයේ’ හොරණෑව පිඹීමයි.
ජනාධිපතිතුමනි, තීරණය ඔබ සතුයි!
බලයේ මදය තාවකාලිකයි… හැබැයි නීතියට සහ මාතෘභූමියට කරන ද්‍රෝහිකම සදාකාලිකයි!
අධිකරණය කියන්නේ ඔබේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව නොවේ. විනිසුරුවරුන් කියන්නේ ඔබේ දේශපාලන අවශ්‍යතාවලට අනුව නටන පඹයන් නොවේ.
මෙම 22 වන ව්‍යවස්ථා සංශෝධනය නැමැති අනවශ්‍ය කෙටුම්පත වහාම කුණු බාල්දියට දමන්න. හරක් නිදහස් කරමින් මාධ්‍ය සංදර්ශන දමන අසාර්ථක ඇමතිවරුන්ව ගෙදර යවන්න. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් නැගෙන හඬට කන් දී, අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන්න.
නැවට තවමත් බේරෙන්නට පොඩි ඉඩක් ඇත. හැබැයි ඒ, කැප්ටන් තමන්ගේ අන්ධ ආදරයෙන් සහ බලයේ මදයෙන් අවදි වී, සුක්කානම නිසියාකාරව පාලනය කළහොත් පමණි.
බුද්ධිමත්ව තීරණය කරන්න. මුළු රටම ඔබ දෙස බලා සිටී. ළඟදීම මුළු ලෝකයම ඔබ දෙස බලනු ඇත.
නිසි ලෙස නායකත්වය දෙන්න. නැතිනම් ඔබටත්, මුළු රටටත් සියල්ල අහිමි වනු ඇත!
දැන්වත් ඇහැරෙන්න!



