Saturday, April 4, 2026
spot_img

Latest Posts

රනිල්ගේ ලන්ඩන් ගමන: රහසිගත අපරාධයක්ද? රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්ද? – තිරය පිටුපස සත්‍ය කතාව මෙන්න!

පසුගිය දිනවල මෙරට දේශපාලන කරළියේ මෙන්ම මාධ්‍ය අවකාශයේද දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රධානතම මාතෘකාවක් වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයයි. එක්සත් රාජධානියේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ (University of Wolverhampton) පැවති උත්සවයකට සහභාගී වීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියමින් මේ වන විට අපරාධ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

බැලූ බැල්මට මෙය හුදෙක් බලය අයුතු ලෙස භාවිත කිරීමක් සේ පෙනී යා හැකිය. එහෙත්, මෙම සිදුවීම පිටුපස ඇති ලේඛන, කාලසටහන් සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝල ගැඹුරින් ගවේෂණය කරන විට අපට හමුවන්නේ මුළුමනින්ම වෙනස් කතාවකි. මෙය සැබවින්ම මහේස්ත්‍රාත් අධිකරණයකට ගෙන යා යුතු අපරාධයක්ද? නැතහොත් රටේ විගණන ක්‍රියාවලිය හරහා විසඳිය යුතු පරිපාලනමය කාරණයක් දේශපාලනික දඩයමක් බවට පත්කර ගැනීමක්ද? අප මේ හෙළිදරව් කරන්නේ ඒ පිළිබඳව සිදුකළ ගවේෂණාත්මක වාර්තාවයි.

දිනයන්රට/නගරයනියෝජිත පිරිස – අරමුණ/විස්තර
සැප්. 13 – සැප්. 16හවානා-කියුබාවG77 + චීන නියෝජිත පිරිස – විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සමඟ
සැප්. 16 – සැප්. 21නිව්යෝර්ක්(i) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය; (ii) අනෙකුත් රැස්වීම් අතර, IMF හි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා හමුවීම, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ සමන් ඒකනායක මහතා ප්‍රමුඛ කණ්ඩායම්
සැප්. 22 – සැප්. 23එක්සත් රාජධානියේ සංක්‍රමණය (සහ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ ආරාධනය)*ලන්ඩන් සංක්‍රමණය *වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ උත්සවය. ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ඉන්දියාවේ කොන්සල් ජනරාල්, වුල්වර්හැම්ටන් නගරාධිපති සහ සම්භාවනීය අමුත්තන්. 22 වන දින පෙ.ව. 7.10 ට පමණ පැමිණියේය – කෙලින්ම වුල්වර්හැම්ටන් වෙත ගමන් කළේය, උත්සවයට සහභාගී වී නැවත ලන්ඩනයට පැමිණියේය. පසුදින (23) පිටත් විය. 23 වන දින ප.ව. 2.20 ට කොළඹ බලා පිටත් විය.
සැප්. 24 – සැප්. 25කොළඹ*පෙ.ව. 8.35 ට ශ්‍රී ලංකාවට පැමිණියේය. (i) IMF රැස්වීම – 24 ඉරිදා (ප.ව. 3.30) සහ ඉන්පසු කැබිනට් රැස්වීම – 25 සඳුදා (ප.ව. 3.00); (ii) නැවත IMF රැස්වීම 26 අඟහරුවාදා පෙ.ව. 11.00 ට
සැප්. 27 – සැප්. 30බර්ලින්බර්ලින් ගෝලීය සංවාදයට සහභාගී විය

නිව්යෝර්ක් සිට කොළඹට එන අතරමග යෙදුණු අහඹු ලන්ඩන් ට්‍රාන්සිට්එක!

මෙම කතාවේ වඩාත් කුතුහලය දනවන සහ බොහෝ දෙනෙකුගේ අවධානයෙන් ගිලිහී ගිය ප්‍රධානතම සාධකය වන්නේ මෙම ගමනේ ස්වභාවයයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම කියන කාල සීමාව තුළ එක්සත් රාජධානියට ගියේ වුල්වර්හැම්ටන් සරසවියේ උත්සවය වෙනුවෙන්මද? සත්‍යය නම්, එය එසේ නොවන බවයි.

අප 2023 සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරයාගේ කාලසටහන නිරීක්ෂණය කළෙමු. එය ශ්‍රී ලංකාව ආර්ථික අගාධයෙන් ගොඩගැනීම සඳහා දිවා රෑ නොබලා කළ තීරණාත්මක මෙහෙයුම් මාලාවකි. සැප්තැම්බර් 13 වැනිදා කියුබාවේ හවානා නුවර G77 සමුළුවෙන් ඇරඹෙන මෙම ගමන, ඉන්පසු ඇදී යන්නේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය වෙතටයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ඇතුළු කණ්ඩායම සමඟ අතිශය තීරණාත්මක සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණි. ඉන් අනතුරුව, නැවතත් ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදයට සහභාගී වීමට නියමිතව තිබුණි.

නිව්යෝර්ක් නුවර සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන දීර්ඝ ගුවන් ගමනේදී, වෛද්‍ය උපදෙස් මතද ඇතුළුව, ජනාධිපතිවරයාට එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කෙටි ‘සංක්‍රමණික’ (Transit) කාලයක් ගත කිරීමට සිදුවේ.

මෙම ලන්ඩන් ට්‍රාන්සිට් එක කෙතරම් කෙටිද යන්න ගුවන් ගමන් වාර්තා පිරික්සීමේදී පැහැදිලි වේ.

  • සැප්තැම්බර් 22: උදෑසන 7.10 ට ලන්ඩන් නුවරට ගොඩබසී. කෙලින්ම වුල්වර්හැම්ටන් බලා පිටත් වේ. උත්සවයට සහභාගී වී එදිනම යළි ලන්ඩන් නුවරට පැමිණේ.
  • සැප්තැම්බර් 23: පස්වරු 2.20 ට යළි කොළඹ බලා පිටත් වේ. (24 වැනිදා කොළඹදී නැවතත් IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා වලට එක්විය යුතුව තිබුණි).

මෙයින් පැහැදිලි වන ප්‍රධානතම කරුණ නම්, මෙය වුල්වර්හැම්ටන් සරසවියේ උත්සවය වෙනුවෙන් ජාතික ධනය වියදම් කරමින් කළ වෙනමම සංචාරයක් නොව, අත්‍යවශ්‍ය සංක්‍රමණික කාලයක් (Transit) තුළ රාජ්‍ය නායකයෙකු සතු කාලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් සිදුකළ නිල කාර්යයක් බවයි. වියනා සම්මුතියේ 40 වැනි වගන්තියට අනුවද, ඕනෑම රාජ්‍ය නායකයෙකුට ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී මෙවැනි සංක්‍රමණික පහසුකම් භුක්ති විඳීමේ පූර්ණ අයිතියක් පවතී.

වුල්වර්හැම්ටන් ගියේ ඇයි? ලෝඩ් ස්වරාජ් පෝල් නම් ‘තුරුම්පුව’

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය හුදෙක් සිය බිරිඳට ගෞරව සම්මානයක් පිරිනැමීම දැකබලා ගැනීම සඳහාම වූ පෞද්ගලික ගමනක් බවට විශාල මඩ ප්‍රචාරයක් දියත් විය. නමුත් සැබෑ තත්ත්වය ඊට වඩා ඉතා සංකීර්ණ රාජ්‍යතාන්ත්‍රික මානයක් ගනී.

මෙම උත්සවය සමගාමීව සංවිධානය කර තිබුණේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ලෝඩ් ස්වරාජ් පෝල් (Lord Swraj Paul) ගේ 25 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ දිවා භෝජන සංග්‍රහයයි. ලෝඩ් ස්වරාජ් පෝල් යනු කවුද? ඔහු අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින, ශ්‍රී ලංකාවට ඉතා හිතවත් ප්‍රබල චරිතයක් මෙන්ම ජාත්‍යන්තර ලොබිකරුවෙකි. ඔහුගේ අභාවයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා සිය ශෝකය පළ කරමින් එක්ස් (X) පණිවිඩයක් නිකුත් කිරීමෙන් ඔහුගේ ජාත්‍යන්තර බර පැහැදිලි වේ. එවැනි ප්‍රබල චරිතයක් වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකට ලන්ඩන් නුවර සිටින අතරතුර සහභාගී වීම යනු, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව තිබූ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමේ රාජ්‍යතාන්ත්‍රික පියවරකි.

එපමණක් නොව, මෙම සංක්‍රමණික කාලය තුළදී බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ගෝඩන් බ්‍රවුන් සමඟද ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ බව අපගේ ගවේෂණයේදී හෙළි වූ තවත් රහසකි.

රහසක් නැති ‘විවෘත’ සංචාරය සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝලය

මීළඟට නැගෙන චෝදනාව නම් මෙය රහසිගතව සිදුකළ බවයි. එය සහමුලින්ම අසත්‍යයකි. වුල්වර්හැම්ටන් සරසවියේ උපකුලපති මහාචාර්ය ජෝන් රෆ්ටරි විසින් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් ආරාධනා කර තිබූ අතර, එහි පිටපත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයටද යොමු කර තිබුණි. ඒ අනුව මෙය සම්පූර්ණයෙන්ම රාජ්‍ය මට්ටමින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුවත්භාවය මත සිදුවූවකි.

සරසවිය විසින් සකස් කළ නිල න්‍යායපත්‍රය (VIP Agenda) අප නිරීක්ෂණය කළෙමු. ඒ අනුව මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් ස‍රෝජා සිරිසේන මහත්මිය, බර්මින්හැම් හී ඉන්දීය කොන්සල් ජනරාල්වරයා, මෙන්ම වුල්වර්හැම්ටන් නගරාධිපතිවරයාද නිල වශයෙන් සහභාගී වී ඇත. එසේ නම් එය පෞද්ගලික පවුලේ සාදයක් වන්නේ කෙසේද?

වියදම් කළේ කාටද? මුදල් කාබාසිනියා කළේ කවුද?

මෙම සිදුවීමේ වඩාත්ම ආන්දෝලනාත්මක කොටස වන්නේ රුපියල් මිලියන 16ක පමණ වියදමක් දරා ඇති බවට නැගෙන චෝදනාවයි. පොලිස් වාර්තා වල සෘජුවම ජනාධිපතිවරයාට ඇඟිල්ල දිගු කළද, සත්‍යය එය නොවේ.

මෙවැනි නිල ගමන් වලදී ජනාධිපතිවරයාට හෝ ආරක්ෂකයන්ට අවශ්‍ය ප්‍රවාහන, නවාතැන් ආදිය සූදානම් කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික යන්ත්‍රණය විසිනි. මෙම අවස්ථාවේදී එය සිදු කළේ ලන්ඩන් හී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසිනි. අපගේ ගවේෂණයේදී අනාවරණය වූ අතිශය තීරණාත්මක කරුණක් වන්නේ, ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂකයන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් එක්සත් රාජධානියේ රජය විසින් නිල වාහන දෙකක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී තිබූ බවයි!

එසේ තිබියදී, ප්‍රවාහන සහ නවාතැන් වියදම් ලෙස විශාල මුදලක් ගෙවා ඇත්තේ “Sky Wings Ltd” නැමති බාහිර නියෝජිත සමාගමකට සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුටය. මෙහිදී සැබවින්ම විමර්ශනය කළ යුත්තේ ජනාධිපතිවරයාව නොව, එක්සත් රාජධානියෙන් වාහන පවා ලැබී තිබියදී මෙතරම් විශාල මුදලක් අදාළ සමාගම් වලට ගෙව්වේ කවුද? බිල්පත් ඉහළ දැමුවේ කවුද? යන්නයි.

මෙය අපරාධයක්ද? නැතහොත් විගණනයක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(h) වගන්තියට අනුව රාජ්‍ය නායකයෙකු ජාත්‍යන්තර චාරිත්‍ර වාරිත්‍ර සහ ප්‍රොටෝකෝල වලට අනුව කටයුතු කිරීම අපරාධයක් නොවේ. එසේම, ජනාධිපති, අගමැති ආදීන්ගේ විදෙස් ගමන් සඳහා සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට බලපාන මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ අදාළ නොවේ. එය අතීතයේ සිටම එන සම්ප්‍රදායකි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා රජයේ මුදලින් ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට යාමත්, වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පෞද්ගලික ආයතනයක් වන ලෝක ආර්ථික සංසදයේ උත්සවයකට ඩාවෝස් වෙත යාමත් මේ සඳහා කදිම නිදසුන්ය.

මෙහිදී යම් මූල්‍ය අක්‍රමිකතාවක් හෝ අසාධාරණ වියදමක් සිදුවී ඇත්නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තියට අනුව එය සොයා බැලිය යුත්තේ විගණකාධිපතිවරයා විසිනි. ජාතික විගණන පනත යටතේ ඒ සඳහා ‘අධිභාර’ (Surcharge) පැනවීමේ නෛතික ප්‍රතිපාදන ඇත. එහෙත් අද වනතුරුත් විගණකාධිපතිවරයා විසින් මෙම සිදුවීමට අදාළව කිසිදු විගණන විමසුමක් (Audit Query) සිදුකර නොමැත.

එසේ තිබියදී, රාජ්‍ය යාන්ත්‍රණයේ පරිපාලනමය සහ විගණනමය ක්‍රියාවලියක් ඔස්සේ විසඳිය යුතු කාරණයක්, හදිසියේම මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනගොස් අපරාධ නඩුවක් බවට පත්කිරීමට උත්සාහ කරන්නේ ඇයි?

අපරාධයක් ඔප්පු කිරීමට නම් ‘අපරාධමය චේතනාවක්’ (Mens rea) තිබිය යුතුය. විදේශ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවේද නිල වශයෙන් සටහන් කර ඇති, මහකොමසාරිස්වරුන් පිරිවරාගෙන, බ්‍රිතාන්‍ය පොලිසියේ ආරක්ෂාව මැද සිදුකළ විවෘත ගමනක ඇති අපරාධමය චේතනාව කුමක්ද?

මෙම ගවේෂණය අවසානයේ අපට ඉතිරි වන්නේ එක් බරපතල ප්‍රශ්නයකි. ජනාධිපතිවරයෙකු සිය විදෙස් ගමනකදී ට්‍රාන්සිට් කාලය තුළ නිල ආරාධනයකට සහභාගී වීම සාපරාධී වරදක් ලෙස අර්ථ දක්වන්නේ නම්, හෙට දිනයේ පත්වන ඕනෑම රාජ්‍ය නායකයෙකුට ජාත්‍යන්තර තලයේ නිදහසේ කටයුතු කිරීමට හැකිවනු ඇත්ද? මෙය හුදෙක් එක් පුද්ගලයෙකුට එරෙහි දේශපාලන දඩයමක් පමණක් නොව, සමස්ත ‘ජනාධිපති ධූරය’ (Office of the Presidency) නම් ආයතනයේ ක්‍රියාකාරීත්වයටම එල්ල කරන මරු පහරක් නොවේද? තීරණය බුද්ධිමත් ජනතාව සතුය.

Latest Posts

spot_imgspot_img