Saturday, April 4, 2026
spot_img

Latest Posts

රනිල්ගේ නඩුව : ශානි – දිලීප ප්‍රබල ගැටුමක් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ශානි අබේසේකර අතර ගැටුමක් ඇතැයි පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අවධාරණය කර සිටියි.


ශ්‍රී ලංකා පොලි­සිය දේශ­පා­ල­න­යෙන් මුදා­ගැ­නීමේ ජාත්‍ය­න්තර සංවි­ධා­නයේ ‘IODPP Police’  නමැති යූටි­යුබ් නාළි­කාවේ අජිත් ධර්ම­පාල අද (22) විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරමින් ඊට අදාළ කරුණු ඉදිරිපත් කර ඇත.

‘ගහයි -පොත්තයි’ සේ එකට එක්වී රට වෙනුවෙන් සේවය කරන ශානි -දීලීප ජාතික වීරයින් දෙදෙනා අතර ගැටුමක් ඇතැයි කටකතා පතුරුවා හරින්නේ නීතිපතිවරයා විසින් බව ද අජිත් ධර්මපාල පවසයි.

රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරයේ පැමිණිලි පාර්ශවයෙන් වෙනුවෙන් පෙනීසිටින ශානි – දීලීප දෙදෙනා අතර ගැටුමක් ඇතැයි ජනමතයක් ගෙනයන රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, මේවනවිට කටයුතු කරන්නේ  රනිල් වික්‍රමසිංහ ගලවා ගැනීම වෙනුවෙන් ඔහුගේ නීති උපදේශකයා ලෙස දැයි සාධාරණ සැකයක් මතුවන බවද අජිත් ධර්මපාල කියා සිටියි.

රනිල් වික්‍රමසිංහ ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම කල්දැමීමට නීතිපතිවරයා සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවටද ඔහු චෝදනා කර සිටියි.


විමර්ශනයක් වෙනුවෙන් නීතිපති MLA ලියන සම්ප්‍රදායයක් මෙතෙක් තිබී නැහැ! – සනත් බාලසුරිය


මේ අතර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසුරිය පවසන්නේ, විමර්ශනයක් වෙනුවෙන් නීතිපති MLA ලියන සම්ප්‍රදායයක් මෙතෙක් තිබී නොමැති බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් (University of Wolverhampton) කරන ලදැයි කියන ආරාධනාවේ සත්‍ය අසත්‍යතාව නිල වශයෙන් දැනගැනීම සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව ඉල්ලා තිබියදීත්, එවැනිම අන්‍යෝන්‍ය නීති සහයෝගීතාව (Mutual Legal Assistance – MLA) යටතේ කරන ඉල්ලීමක් ලියා යැවීමට නීතිපතිවරයා ද මේ වනවිට කටයුතු කරමින් සිටින බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇතැයි සනත් බාලසුරිය පවසයි.


සනත් ගේ සටනට කමෙන්ට් කරන සරෝජ් පතිරණ කියන කතාව

සනත් බලසුරියගේ ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දක්වා ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ මතු දැක්වෙන සටහන පළකර ඇත.

”MLA එකක් මාර්ගයෙන් විශ්වවිද්‍යාලයෙන් කරුණු විමසන්න  කියල නීතිපති පාරින්ද රණසිංහ මීට කලිනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීල තිබුණ. අන්ධ භක්තියෙන් රනිල් අදහන අය ඇරුණම අනිත් අය හිතුවෙ ඒක රනිල් ගෙ case එක කල් දාගන්න නීතිපති අනුගමනය කරන උපායක් කියල. මොකද MLA එකකට ප්‍රතිචාර ලැබෙන්න මාස ගාණක් හෝ අවුරුදු ගාණක් ගතවෙන්නත් පුලුවන් නිසා. කොටින්ම CID කණ්ඩායම නීතිපතිට නොදන්වා ලන්ඩන් ගියෙත් ඒ සැකය නිසා.

පොලිසිය MLA එකක් යවල තියෙද්දි දැන් ආයෙත් නීතිපති MLA යවන්න හදනව නම් ඒක delaying tactic එකක් කියල සාධාරණ සැකයක් මතුවෙන්න පුලුවන්.”

නීතිපතිවරයා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය රනිල්ගේ පාර්ශවයටත් ප්‍රශ්නයක් වෙලා !


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී, ස්ථාපිත අන්‍යෝන්‍ය නීති සහයෝගීතා ප්‍රතිපාදන (Mutual Legal Assistance) භාවිත කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ නීති කණ්ඩායම අභියෝග කර සිටියි.

මෙමගින් අදාළ විමර්ශනවල පවතින සර්වසම්පූර්ණභාවය පිළිබඳව ඔවුන් ප්‍රශ්න මතු කරයි.


හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අපරාධ නඩු විධිවිධාන යටතේ විදේශීය රටවලින් සාක්ෂි ලබාගැනීම සඳහා පැහැදිලි යාන්ත්‍රණයක් සපයන අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතා පනත 13 වැනි වගන්තිය නීතිපති කාර්යාලය විසින් මගහැර ඇති බවට කරුණු දැක්වීමට නීතිඥයන් සූදානම් වන බවයි.

මෙම ප්‍රතිපාදනය මගින් ශ්‍රී ලංකා බලධාරීන්ට පහත සඳහන් දෑ සඳහා විදේශීය අධිකරණ, නඩු පවරන බලධාරීන් හෝ පරිපාලන ආයතනවල සහය පැතීමට අවසර ලැබේ.

එසේම, විදේශීය අධිකරණ බල ප්‍රදේශවලින් සාක්ෂි ලබාගැනීම හා ලේඛන සහ සංචාරක වාර්තා ලබාගැනීම සදහා, නීති ප්‍රතිපාදන ඇත.

වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරය පිළිබඳ ගැටලු පවතී නම්, අසම්පූර්ණ දේශීය සාක්ෂි මත යැපෙනවා වෙනුවට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ බලධාරීන්ගෙන් නිල වශයෙන් සාක්ෂි ඉල්ලා සිටිය හැකිව තිබූ බවත්, එසේ නොකොට විශ්ව විද්‍යාලයෙන් තොරතුරු විමසීම පලදායක නොවනබවත් හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් පවසති.

 පවතින නීතිමය මාර්ග උපරිමයෙන් භාවිතා නොකර ගොඩනගන ඕනෑම නඩුවක විශ්වසනීයත්වය මෙමගින් පළුදු වන බවට වික්‍රමසිංහ ගේ පාර්ශ්වය තර්ක කරයි.

මෙම මතභේදාත්මක තත්ත්වයත් සමඟ ඉහළ පෙළේ දේශපාලන නඩුවලදී පැමිණිල්ල මෙහෙයවන ආකාරය පිළිබඳව මහජන අවධානය දැඩි වී තිබේ.


නීතිපතිගේ මේසය මත ඇති රහසිගත ලේඛන !



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉලක්ක කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාව, මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව අතට පත්ව ඇත.

මේ අතර නීතිපතිවරයාගේ අතට පත්වී තිබෙන, විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කර ඇති ‘ලිඛිත කරුණු දැක්වීම්’ (Written Submissions) හෙවත් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ මුල් ලේඛන පරීක්ෂා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත්කර ඇති කරුණු බරපතල ලෙස අභියෝගයට ලක්වේ.
 
මෙම අතිශය සංවේදී ලේඛන අපගේ ගවේෂණාත්මක කණ්ඩායම විසින් ගැඹුරින් අධ්‍යයනය කර ඇත. ඒ හරහා මතුවන, මෙතෙක් අනාවරණය නොවූ  නෛතික සහ රාජ්‍ය තාන්ත්‍රික සත්‍යය පහතින් විච්ඡේදනය කෙරේ.


“පෞද්ගලික ගමන” සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝකෝලය


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකම තර්කය වන්නේ මෙය කිසිදු නිල ආරාධනාවක් නොමැතිව සිදු කළ පෞද්ගලික සංචාරයක් බවයි. එහෙත් නීතිපතිවරයාට යොමුකර  ඇති විශ්වවිද්‍යාලයේ නිල උත්සව කාලසටහන (Event Schedule) සහ ප්‍රධාන පිටුව තුළින් මෙය ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් (High-level Diplomatic Engagement) බව තහවුරු කිරීමට විත්ති පාර්ශවය උත්සහ දරයි.
 
උත්සවයේ කාලසටහනට අනුව, එය හුදෙක් උපාධි ප්‍රදානෝත්සවයක් පමණක් නොව, කුලපති ස්වරාජ් පෝල් සාමිවරයාගේ 25 වැනි සංවත්සරය සැමරීමේ නිල රාජ්‍ය උත්සවයයි. ඊට බර්මින්හැම් හි ඉන්දීය කොන්සල් ජනරාල්වරයා මෙන්ම වුල්වර්හැම්ප්ටන් නගරාධිපතිවරයා ද නිල වශයෙන් එක්ව සිට ඇත.

එහි ප්‍රොටෝකෝල ප්‍රධානියා (Chief of Protocol) ලෙස සෙනරත් දිසානායක ද, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ද නිල වශයෙන් ලැයිස්තුගත කර තිබේ. විදේශීය විශ්වවිද්‍යාලයක කුලපතිවරයෙකුගේ නිල සංවත්සරයකට රාජ්‍ය නායකයෙකු සහභාගී වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(h) වගන්තිය යටතේ වන විධායක රාජකාරියකි.


ආරක්ෂක සැලැස්ම (Security Protocol) සහ හිරුණි රාජපක්ෂගේ භූමිකාව



පොදු දේපළ පනත යටතේ ‘මහජන මුදල් අවභාවිතයක්’ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හුවා දක්වන ප්‍රවාහන සහ ආරක්ෂක වියදම්වල සැබෑ හිමිකරුවන් කවුරුන්ද යන්න මෙම ලේඛන මගින් පෙන්වාදෙයි.

උත්සවයේ කාලසටහනට අනුව, ආරක්ෂක සහ ප්‍රවාහන ප්‍රධානියා (Head of Security, Transport & Fleet) ලෙස කටයුතු කර ඇත්තේ ක්‍රිස්ටෝපර් රොබින්සන් නැමැත්තෙකි. ඒ සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කර ඇත්තේ ‘හිරුණි රාජපක්ෂ’ බව පැහැදිලිව සඳහන් වේ.
 
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සෘජුවම මැදිහත් වී, විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ සමඟ එක්ව රාජ්‍ය නායකයෙකුගේ ආරක්ෂාව සහ ප්‍රවාහනය සැලසුම් කර ඇති බව විත්ති පාර්ශවයේ අදහසයි. එසේ නම්, රාජ්‍ය යාන්ත්‍රණය විසින් නිල වශයෙන් සැලසුම් කළ ආරක්ෂක පිරිවැයක් ‘අවභාවිතයක්’ (Misappropriation) වන්නේ කෙසේද? යන කාරණය විත්ති පාර්ශවය විමසා සිටියි.


සරෝජා සිරිසේනගේ අමතක වීම සහ නීතියේ ද්විත්ව ප්‍රමිතිය

නීතිපතිවරයා මුහුණ දෙන බරපතලම නෛතික අර්බුදය නිර්මාණය කරන්නේ හිටපු මහ කොමසාරිස් සරෝජා සිරිසේනය. ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  පවසා තිබුණේ “තමා ආරාධනා පත්‍රයක් දැක්කේවත් නැති” බවයි. එහෙත් රනිල් වික්‍රමසිංහ ගේ නීතිඥයින් ලිඛිත සාක්ෂි මගින් පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා සෘජුවම “අතිගරු සරෝජා සිරිසේන” වෙත නිල ආරාධනය යවා ඇති බවයි.
 
තවද, උත්සව කාලසටහනට අනුව ඇය අතිවිශේෂ (VIP) අමුත්තන්ගේ ලැයිස්තුවේ නමවැනියා ලෙස අසුන්ගෙන සිට ඇත. ඇගේම කාර්ය මණ්ඩලයේ ‘හිරුණි රාජපක්ෂ’ සමස්ත උත්සවය සම්බන්ධීකරණය කර ඇත.



මේ සියල්ල සිදුවෙද්දී “මම මුකුත් දන්නේ නෑ” කියා ඇය අතපිහදා ගනිද්දී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයව සාක්ෂිකාරියක් කර, කොළඹ සිටි ජනාධිපති ලේකම්වරයාව අත්අඩංගුවට ගනී.

ඒ අනුව මෙම ක්‍රියාදාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය සෘජුවම උල්ලංඝනය කරන අන්ත දේශපාලන දඩයමක් බවව විත්තියේ නීති විශාරදයින් තර්ක කරති.

සටහන | කෙෂාල් ජයසිංහ

උපුටාගැනීම – ද ලීඩර්

Latest Posts

spot_imgspot_img