Latest Posts

ඩොලර් මිලියන 22ක් දීලා චීනා එළෙව්වේ කාගේ උවමනාවටද? කොළඹ වරායේ SACLH ව්‍යාපෘතිය අකුලාගත් භූ-දේශපාලනික කුමන්ත්‍රණයේ සුලමුල!

කොළඹ වරාය තුළ වසර 50ක කාලයක් චීන සමාගමකට හිමිවීමට තිබූ ඒකාධිකාරී සැපයුම් පාලනය හිටිහැටියේම අවලංගු කර තිබේ. ඒ නිකම්ම නොවේ; චීන සමාගමට ඩොලර් මිලියන 21.9ක (රුපියල් බිලියන 6.6කට අධික) දැවැන්ත මුදලක් දින 30ක් ඇතුළත වන්දි ලෙස ගෙවා දමමිනි. මතුපිටින් මෙය “සාමාන්‍ය වාණිජමය තීරණයක්” ලෙස පෙන්වීමට බලධාරීන් උත්සාහ කළද, ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. මෙය ඉන්දියානු සාගරයේ බල අරගලය හමුවේ කොළඹ පාලකයන් නවදිල්ලිය ඉදිරියේ දණින් වැටී ගත් තීරණාත්මක භූ-දේශපාලනික පාවාදීමක්ද? නැතහොත් රටේ ස්වෛරීභාවය බේරාගැනීමට ගත් අකමැති තීරණයක්ද?

වසර 50ක ඒකාධිකාරය සහ සැඟවුණු ගැසට්ටුව

කොළඹ වරායේ ඉදිවීමට නියමිතව තිබූ පස්මහල් ‘දකුණු ආසියානු වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය’ (SACLH) යනු සුළුපටු ව්‍යාපෘතියක් නොවේ. එහි 70%ක බහුතර කොටස් හිමිකාරිත්වය පැවතියේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් (CMPort) සමාගමටයි. වරාය අධිකාරියට සහ ඇක්සස් සමාගමට හිමිව තිබුණේ 15% බැගින් වූ සුළු කොටස් ප්‍රමාණයක් පමණි.

2023 දෙසැම්බර් මාසයේදී උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ගැසට් කරමින් චීන සමාගමට වසර 15ක පූර්ණ බදු සහන මෙන්ම වසර 50ක තනි අයිතියක් ලබාදී තිබුණි. ඒකාධිකාරය කෙතරම් දරුණුද යත්, කොළඹ වරාය තුළ චීන සමාගම අය කරන ගාස්තුවලට වඩා අඩු මිලකට වෙනත් කිසිදු පාර්ශ්වයකට ලොජිස්ටික් සේවා සැපයීම නීතියෙන්ම තහනම් කර තිබිණි. ලංකාවේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානය වූ කොළඹ වරාය තුළ මෙවැනි පාවාදීමේ කොන්දේසි ඇතුළත් කළේ කවුරුන්ද යන්න තවමත් රට හමුවේ නොවිසඳුණු ප්‍රශ්නයකි.

“බාහිර පරිසරයේ වෙනස්කම්”: රාජ්‍යතාන්ත්‍රික වචන පිටුපස ඇති නිරුවත

ව්‍යාපෘතිය අත්හැරීම සම්බන්ධයෙන් හොංකොං කොටස් වෙළෙඳපොළට නිල නිවේදනයක් නිකුත් කරමින් චීන සමාගම පවසා ඇත්තේ “බාහිර පරිසරයේ සිදුවූ වෙනස්කම්” හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

චීන සමාගම රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් හඳුන්වන මේ “බාහිර පරිසරය” යනු අන් කිසිවක් නොව, ඉන්දියාවේ දැඩි රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක තර්ජනයයි.

  1. ඉන්දියාවේ ප්‍රතිනැව්ගත කිරීම් පංගුව (Transshipment): කොළඹ වරායේ මෙහෙයුම්වලින් 70%කට වඩා රඳා පවතින්නේ ඉන්දියානු බහාලුම් මතය. කොළඹ වරායේ සැපයුම් ජාලයේ පාලනය චීනය අතට පත්වීම නවදිල්ලිය දුටුවේ තම ජාතික ආරක්ෂාවට එල්ල වූ ඍජු තර්ජනයක් ලෙසිනි.
  2. අදානිගේ පැමිණීම සහ බල තුලනය: ඉන්දියානු අදානි සමූහය කොළඹ බටහිර පර්යන්තයේ (WCT) බලය තහවුරු කරගැනීමෙන් නොනැවතුණු ඉන්දියාවට, තමන්ගේම නහය යට චීන සමාගමක් වසර 50ක ඒකාධිකාරයක් පවත්වාගෙන යාම කිසිසේත්ම ඉවසාගත නොහැකි විය.

ඩොලර් බිලියන 4ක ණයේ පොලිය කොළඹ වරායෙන් අයකර ගැනීම

2022 ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ලබාදුන් ඩොලර් බිලියන 4ක ණය ආධාරය නිකම්ම ලැබුණු එකක් නොවන බව ‘හරී දේශය’ එදත් අවධාරණය කළේය. අද දකින්නට ලැබෙන්නේ එහි ප්‍රතිවිපාකයි. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය, සන්නිවේදන ජාල සහ වරාය පද්ධතිය ඉන්දියානු වුවමනාවන් වෙනුවෙන් නතුකර ගැනීමේ දිගුකාලීන සැලැස්ම අද අකුරටම ක්‍රියාත්මක වෙමින් පවතී.

පසුගිය කාලයේ චීන පර්යේෂණ නෞකා පැමිණීම වළක්වමින් පැනවූ තහනම මෙන්ම, මෙම ව්‍යාපෘතිය අකුලා ගැනීමද ඉන්දියාවේ බලපෑම මත සිදුවූවක් බව පැහැදිලිය.

ජනතා බදු මුදලින් ඩොලර් මිලියන 22ක් විසි කළේ ඇයි?

මෙහිදී නැගෙන බරපතළම ප්‍රශ්නය වන්නේ රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදය හමුවේ, කිසිදු ඉදිකිරීමක් හෝ ප්‍රතිලාභයක් නොලබා චීන සමාගමට ඩොලර් මිලියන 21.9ක (රුපියල් කෝටි 660කට අධික) මුදලක් දින 30ක් ඇතුළත ගෙවා දැමීමට එකඟ වූයේ ඇයිද යන්නයි.

  • මෙවැනි ඒකාධිකාරී, අත්තනෝමතික ගිවිසුම් ගසා රට අනතුරේ හෙළූ නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?
  • ඉන්දියාව සතුටු කිරීම වෙනුවෙන් මෙරට මහජන මුදල් බිලියන ගණනින් විදේශ සමාගම්වලට වන්දි ලෙස ගෙවා දැමීමට තීරණය කළේ කාගේ නියෝගයෙන්ද?

මෙය හුදෙක් එක් ව්‍යාපෘතියක් අවලංගු වීමක් නොවේ. මෙය ශ්‍රී ලංකාව තවදුරටත් කලාපීය බලවතුන්ගේ යුද පිටියක් බවට පත්වෙමින්, ඔවුන්ගේ බල අරගල වෙනුවෙන් රටේ ආර්ථික මර්මස්ථාන සහ ජනතා බදු මුදල් බිලිදෙන ආකාරය කියාපාන භයානක සංඥාවකි.

Latest Posts

spot_imgspot_img