Latest Posts

ඇල්ගොරිතමයකට යටවූ ඡන්ද පෙට්ටිය: මැතිවරණ කොමිසමේ අලුත් සටන සහ ‘ඩිජිටල් මායාවේ’ දේශපාලනය

ශ්‍රී ලාංකීය ඡන්දදායකයා තීන්දු ගන්නේ හෘද සාක්ෂියට එකඟවද? නැතහොත් තිරය පිටුපස සැඟවුණු කෘත්‍රිම බුද්ධිය (AI) සහ සමාජ මාධ්‍ය ඇල්ගොරිතමවල මෙහෙයවීම මතද?

සාම්ප්‍රදායික වේදිකාවල මයික්‍රෆෝන නිහඬ කර මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන මොහොතක, ඩිජිටල් අවකාශය තුළ තත්පරයෙන් තත්පරය මහජන මනස ‘හැක්’ කිරීමේ මහා මෙහෙයුමක් දියත් වෙමින් පවතී. ‘Democracy Reporting International’ සහ ‘Factum’ ආයතන එකතුව සිදුකළ නවතම ගවේෂණාත්මක දත්ත වාර්තාව අනාවරණය කරන්නේ සාමාන්‍ය ඇසට නොපෙනෙන එම භයානක යථාර්ථයයි.

නිහඬ කාලසීමාවේ ‘ඩිජිටල් මංකොල්ලය’

මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් විය යුතුය. එහෙත් නීතියේ මෙම ‘නිහඬ කාලසීමාව’ (Silence Period) සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට විහිළුවක් වී හමාරය.

දත්ත පෙන්වා දෙන පරිදි, ජනාධිපතිවරණයට සාපේක්ෂව මහ මැතිවරණයේදී සමස්ත ක්‍රියාකාරීත්වය මදක් පහළ ගියද, නිහඬ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය හරහා සිදුකළ මැතිවරණ බලපෑම් 39% සිට 46.8% දක්වා ඉහළ ගොස් ඇත. සාම්ප්‍රදායික නීතියේ ඇස් වසා, ඇඟිලි තුඩුවලින් තොරතුරු පාලනය කරන නොපෙනෙන ප්‍රචාරණ යුද්ධයක් නිහඬ කාලය තුළ අතිශය ක්‍රියාකාරීව පැවති බවට මෙය ප්‍රබල සාක්ෂියකි.

ඇල්ගොරිතමයට හසුවූ ප්‍රධාන ධාරාව

සමාජ මාධ්‍ය අවකාශය තුළ දේශපාලන ක්‍රියාකාරීන්ගේ වැඩිම කතාබහට ලක්වූ පක්ෂය බවට පත්ව ඇත්තේ ජාතික ජන බලවේගයයි (NPP). දත්ත වාර්තාවන්ට අනුව සඳහන් කිරීම් (Mentions) බෙදී ගොස් ඇත්තේ මෙසේය:

  • ජාතික ජන බලවේගය (NPP): සඳහන් කිරීම් 715
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP): සඳහන් කිරීම් 177
  • එක්සත් ජාතික පක්ෂය (UNP): සඳහන් කිරීම් 125
  • සමගි ජන බලවේගය (SJB): සඳහන් කිරීම් 116

නීතිය බලපැවැත්වෙන නිහඬ කාලසීමාව තුළදී පවා මෙම අනුපාතය නොසෙල්වී පැවතීමෙන් තහවුරු වන්නේ, සාම්ප්‍රදායික නියාමනයන්ගෙන් ඔබ්බට ගිය පාලනය කළ නොහැකි ‘ඩිජිටල් අවි ගබඩාවක්’ බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බවයි.

මැතිවරණ කොමිසමේ උපක්‍රම 9 සහ ප්‍රායෝගික අභියෝගය

මෙම ඩිජිටල් අරාජිකත්වය හමුවේ අතපය බැඳ නොසිටීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව උප-ව්‍යාපෘති 9කින් සමන්විත නව මෙහෙයුම් සැලැස්මක් කරළියට පැමිණ තිබේ:

  • නීති සහ ප්‍රතිපත්ති කඩිනමින් යාවත්කාලීන කිරීම
  • AI සහ Deepfake තාක්ෂණයෙන් මැවූ අසත්‍ය අන්තර්ගතයන් ක්ෂණිකව හඳුනාගැනීමේ යාන්ත්‍රණ
  • ස්වාධීන තොරතුරු පරීක්ෂක (Fact-Checking) ජාල ශක්තිමත් කිරීම
  • Meta (Facebook) සහ YouTube වැනි ගෝලීය සමාගම් සමග සෘජු නියාමන ගිවිසුම්වලට එළැඹීම

මෙය ප්‍රශංසනීය උත්සාහයක් වුවද මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ, තාක්ෂණයේ පිමි පනින වේගයට රාජ්‍ය යාන්ත්‍රණයේ සාම්ප්‍රදායික රිද්මය ගැලපිය හැකිද යන්නයි.

පක්ෂ 84ක විකාරරූපී දේශපාලන ඛේදවාචකය

මෙම වාර්තාව හෙළිදරව් කරන වඩාත්ම උපහාසාත්මක පැතිකඩ වන්නේ ශ්‍රී ලාංකේය දේශපාලන ව්‍යුහයේ පවතින පරස්පර විරෝධී ස්වභාවයයි.

ජනතාව තුළ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ක්‍රමය කෙරෙහි ඇති විශ්වාසය පතුලටම කඩා වැටී ඇති බව සමීක්ෂණ සාක්ෂි දෙයි. එහෙත්, මෙම වසරේ ජනවාරි වන විට පමණක් නව දේශපාලන පක්ෂ 41ක් ලියාපදිංචිය ඉල්ලා මැතිවරණ කොමිසමට අයදුම්පත් යොමු කර තිබේ. දැනටමත් ලියාපදිංචි පක්ෂ 84ක් රට තුළ පවතින අතර, ඉන් 27ක්ම නමට පමණක් සීමා වූ අක්‍රීය ‘නාමපුවරු’ පමණි.

ජනතා විශ්වාසය බිඳවැටුණු පසුබිමක පක්ෂ දුසිම් ගණනින් බිහිවන්නේ ජනතා අවශ්‍යතාවයකටද, නැතහොත් බලය සහ වරදාන ඉලක්ක කරගත් තවත් උපක්‍රමශීලී දේශපාලන ව්‍යාපාරයක් ලෙසද?

ඩිජිටල් සාක්ෂරතාවය: එකම ආරක්ෂක පවුර

කෘත්‍රිම බුද්ධිය සහ ඇල්ගොරිතම මගින් මිනිස් සිතුවිලි සහ හැඟීම් මෙහෙයවිය හැකි යුගයක, මැතිවරණ නීති පැනවීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ නොහැක.

සමාජ මාධ්‍ය තිරය මත දකින ඕනෑම පුවතක් හෝ වීඩියෝවක් විවේචනාත්මකව ප්‍රශ්න කිරීමට තරම් පුරවැසියා ඩිජිටල් සාක්ෂරතාවයෙන් සන්නද්ධ නොවන්නේ නම්, ඉදිරි මැතිවරණවලදී තීරණ ගනු ලබන්නේ සැබෑ ඡන්දදායකයා නොව, දත්ත මෙහෙයවන තාක්ෂණික ඇල්ගොරිතමයන්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සිදුවන මෙම නොපෙනෙන මනෝවිද්‍යාත්මක ආක්‍රමණය පරාජය කිරීම රට හමුවේ ඇති දැවැන්තම අභියෝගයයි.

ලිපියේ මූලාශ්‍රය – SLLeader.lk

Latest Posts

spot_imgspot_img