Latest Posts

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය : අධිකරණ ස්වාධීනත්වය කිසි​දු සැකයෙන් තොර විය යුතුය

ව්‍යවස්ථාමය විවරණය

විනිසුරුවරුන්ට තවත් වසර දෙකක් කාර්යක්ෂමව සේවය කළ හැකිද යන්න මෙහි සැබෑ ප්‍රශ්නය නොවේ. සැබෑ ප්‍රශ්නය වන්නේ, ආණ්ඩුවේම ක්‍රියාකාරකම්වල නීත්‍යනුකූලභාවය තවදුරටත් විනිශ්චය කළ යුතු දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ ධුර කාලය එම ආණ්ඩුව විසින්ම දීර්ඝ කළ යුතුද යන්නයි.

එම්. යූ. එම්. අලි සබ්රි, ජනාධිපති නීතිඥ

“අධිකරණ බලය ව්‍යවස්ථාදායක හා විධායක බලයෙන් වෙන් නොවන්නේ නම් නිදහසක් නොමැත.”
— මොන්ටෙස්කියු, The Sprit of Laws

යෝජිත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මතභේදය, විනිසුරුවරුන්ට තවත් වසර දෙකක් සේවය කිරීමට බුද්ධිමය හෝ ශාරීරික හැකියාව තිබේද යන ප්‍රශ්නයකට සීමා නොකළ යුතුය. වර්තමාන විශ්‍රාම වයස ඉක්මවා ගිය පසුවද බොහෝ විනිසුරුවරුන් තම දැනුම, පළපුරුද්ද හා විනිශ්චය ශක්තියේ ඉහළම මට්ටමේ සිටින බවට සැකයක් නැත.

එසේම, මෙම සාකච්ඡාව කිසිදු විනිසුරුවරයකු හෝ ධුරධාරියකු වටා පුද්ගලීකරණය නොකළ යුතුය.

මූලික ව්‍යවස්ථාමය ප්‍රශ්නය වන්නේ, දැනටමත් ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස, ඔවුන් විසින්ම නීත්‍යනුකූලභාවය පරීක්ෂා කළ යුතු වත්මන් ආණ්ඩුව සහ එහි පාර්ලිමේන්තු බහුතරය විසින් දීර්ඝ කළ යුතුද යන්නයි. එය බලතල බෙදී යා​ම, අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසය යන සියල්ලෙහිම හදවතට ස්පර්ශ කරන ප්‍රශ්නයකි.

තවත් වැදගත් කරුණක් නොසලකා හැරිය නොහැක. මෙම සංශෝධනය ආණ්ඩුවේ ජනවරමේ කොටසක් නොවූවත්, එයට ලබා දී ඇති අසාමාන්‍ය ප්‍රමුඛතාව හා හදිසියයි. ඒ අතරම ජනතාවට පැහැදිලිව පොරොන්දු වූ ප්‍රධාන ව්‍යවස්ථාමය හා නීතිමය ප්‍රතිසංස්කරණ රැසක් තවමත් ඉටු වී නොමැත.

අධිකරණ​යේ ස්වාධීනත්වය විනිසුරුවරුන්ගේ වරප්‍රසාදයක් නොව පුරවැසියාගේ අයිතියකි. අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන්ගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කළ වරප්‍රසාදයක් නොවේ. එය සෑම පුරවැසියකුටම අයත් ව්‍යවස්ථාමය ආරක්ෂාවකි.‍

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා ප්‍රකාශ කරන්නේ පරමාධිපත්‍යය ජනතාව සතු බවත්, එය ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය මගින් ක්‍රියාත්මක වන බවත්ය. විධායකය රට පාලනය කරයි. පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරයි සහ අධීක්ෂණය කරයි. අධිකරණය නීතිය අර්ථකථනය කර ක්‍රියාත්මක කරයි, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරයි, රාජ්‍ය බලය ව්‍යවස්ථාමය සීමාවන් තුළ ක්‍රියාත්මක වී තිබේදැයි තීරණය කරයි.එම ආයතනවල කාර්යභාරය​න් වෙනස් වුවද, ව්‍යවස්ථාමය නීතියෙන් ඒවා ස්වාධීන සහ‍ ​‍සමානරූ​පී වේ. එකක් තවත් එකක දිගුවක් බවට පත් කිරීම කිසිසේත්​ම ව්‍යවස්ථාවේ අරමුණ නොවේ.

ශ්‍රී ලංකාවේ විධායකය සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු බහුතරයේ සහාය පාලනය කරන බැවින් මෙම වෙන් කිරීම විශේෂයෙන් වැදගත්ය. විධායකය හා ව්‍යවස්ථාදායකය දේශපාලනිකව එකම දිශාවකට ගමන් කළ හැකි අවස්ථාවක, ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වල නීත්‍යනුකූලභාවය සොයා බැලීමටත්, රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීමෙන් පුරවැසියා ආරක්ෂා කිරීමටත් තිබෙන ස්වාධීන ව්‍යවස්ථාමය ප්‍රතිබලය අධිකරණයයි.

ආරවුල පුරවැසියකු හා තවත් පුරවැසියකු අතර වූ විට විනිසුරුවරයා අපක්ෂපාතී විය යුතුය. ආරවුල පුරවැසියා හා රාජ්‍යය අතර වූ විට, විනිසුරුවරයා රාජ්‍යයෙන් ස්වාධීන බව පැහැදිලිව පෙනී යා යුතුය.
බියෙන් හෝ පක්ෂපාතීත්වයෙන් තොරව කටයුතු කිරීම සඳහා වන අධිකරණ දිවුරුමෙන්, විනිශ්චයකාර ධුරයේ මූලික ස්වභාවය පිළිබිඹු වේ.විනිසුරුවරයා සිය කාර්යය අවංකව හා විශ්වාසවන්තව, බියෙන් හෝ පක්ෂපාතීත්වයෙන්, ඇල්මෙන් හෝ ද්වේෂයෙන් තොරව ඉටු කළ යුතුය.

ආණ්ඩුවට අවාසිදායක තීන්දුවක් දීම නිසා දඬුවමකට ලක් වෙතැයි විනිසුරුවරයා බිය නොවිය යුතුය. එපමණක් නොව, දේශපාලන බලධාරීන්ගෙන් කිසියම් වාසියක් හෝ ප්‍රතිලාභයක් ලබා ඇති බවට සැබෑ ලෙස හෝ සාධාරණ ලෙස පෙනී යාමෙන් පවා අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කරගත යුතුය.

වර්තමාන ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙසත් නියම කරයි. ධුරය භාර ගන්නා සෑම විනිසුරුවරයකුම තම ව්‍යවස්ථාමය ධුර කාලය අවසන් වන දිනය දනී. විධායකය, පාර්ලිමේන්තුව, නීති වෘත්තිය සහ මහජනතාවද එය දනී.
එම නිශ්චිතභාවයම ස්වාධීනත්වයේ වැදගත් ආරක්ෂාවකි. අධිකරණ ධුරයේ කාලය පසුව බලයට පැමිණෙන දේශපාලන අධිකාරියේ කැමැත්ත, අනුග්‍රහය හෝ මැදිහත්වීම මත රඳා නොපවතින බව එයින් සහතික වේ.

යෝජිත සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ විශ්‍රාම වයස 67 දක්වාත්, අභියාචනාධිකරණ විශ්‍රාම වයස 65 දක්වාත් වැඩි කරයි. එය අනාගතයේ පත් කරනු ලබන විනිසුරුවරුන්ට පමණක් අදාළ වන්නේ නම්, එය පොදුවේ අදාළ නව ව්‍යවස්ථාමය ප්‍රතිපත්තියක් වනු ඇත. එහෙත් එය දැනට ධුරයේ කටයුතු කරන විනිසුරුවරුන්ට අදාළ කළ විට, පැහැදිලිවම පෙනෙන ප්‍රතිඵලයක් නිර්මාණය වේ. එනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත දිනකදී විශ්‍රාම යාමට සිටින විනිසුරුවරුන්ට, විධායකයේ මැදිහත්වීමෙන් සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරයෙන් සම්මත වන සංශෝධනයක් මඟින් තවත් වසර දෙකක අමතර කාලයක් හිමි වීමයි.ආණ්ඩුව ප්‍රකාශ කරන අරමුණ කුමක් වුවද, එම අමතර ධුර කාලය දැනට සිටින විනිසුරුවරුන්ට ලබා දුන් කිසියම් වාසියක් හෝ ප්‍රතිලාභයක් (වරප්‍රසාදයක්) ලෙස සාධාරණ ලෙස පෙනී යා හැකිය. මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලුව වන්නේ එයයි. යුක්තිය ඉටු වීම පමණක් නොව, ඉටු වන බව පෙනී යා යුතුය

R v Sussex Justices, ex parte McCarthy නඩුවේදී ලෝඩ් හෙවාර්ට් කළ සදාකාලික ප්‍රකාශය මෙහිදී සෘජුවම අදාළ වේ: “යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ; එය පැහැදිලිව හා කිසිදු සැකයකින් තොරව ඉටු වන බව පෙනී යා යුතුය.”

මෙම මූලධර්මය, තීරණ ගන්නා තැනැත්තා සැබැවින්ම වංකව හෝ අයුක්ති සහගතව කටයුතු කළ බව ඔප්පු කිරීම මත පමණක් රඳා නොපවතී. එහි මූලික හරය වන්නේ අපක්ෂපාතී බව බාහිරට පෙනෙන්නට තිබීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය සුරැකීමයි.

අපගේ විනිසුරුවරුන් අවංක පුද්ගලයන් බැවින් ධුර කාලය දීර්ඝ කිරීමෙන් ඔවුන්ට බලපෑමක් නොවන බව පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය සම්පූර්ණයෙන්ම සත්‍ය විය හැකිය. එහෙත් ව්‍යවස්ථාමය ආරක්ෂණ ගොඩනැගෙන්නේ සියලු දෙනා සෑම විටම ගෞරවාන්විතව ක්‍රියා කරනු ඇතැයි යන බලාපොරොත්තුව මත පමණක් නොවේ. බලපෑමක්, බැඳීමක් හෝ පක්ෂපාතීත්වයක් පිළිබඳ සාධාරණ පෙනුමක් ඇති කළ හැකි තත්ත්වයන් ඉවත් කිරීම ඒවායේ අරමුණයි. කිසිදු දැනට සිටින විනිසුරුවරයකුට සැබෑ පක්ෂපාතීත්වයක් ඇතැයි චෝදනා කළ යුතු නැත. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව වෙනස් කළ නිසා පමණක් විනිසුරුවරුන්ගේ අවංකභාවය ප්‍රශ්න කිරීම වැරදිය. මෙහි සැලකිල්ල පුද්ගලික නොව ආයතනිකය.

ආණ්ඩුවේ තීරණයකට එරෙහිව අධිකරණය ඉදිරියට පැමිණෙන පුරවැසියා ගැන සිතන්න. නීති විරෝධී අත්අඩංගුවකට, අත්තනෝමතික පරිපාලන ක්‍රියාවකට, මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමට, දේපළ අහිමි කිරීමට හෝ විධායක බලය අයුතු ලෙස භාවිත කිරීමට එරෙහි ආරක්ෂාවක් ඔහු ඉල්ලා සිටිය හැකිය. එම නඩුව විභාග කරන විනිසුරුවරුන්ට එම ආණ්ඩුව විසින්ම අමතර වසර දෙකක් ලබා දී ඇත්නම්, පරාජිත පුරවැසියාට අධිකරණය කෘතඥතාවයකින්, අනුග්‍රහයකින් හෝ ආයතනික බැඳීමකින් සම්පූර්ණයෙන්ම තොරව ක්‍රියා කළේදැයි ප්‍රශ්න කළ හැකිය.

විනිසුරුවරයා සත්‍ය වශයෙන්ම සම්පූර්ණ ස්වාධීනත්වයෙන් ක්‍රියා කර තිබිය හැකිය. එහෙත් ප්‍රශ්නය මහජන මනසේ රැඳී සිටියි. එම සැකයම යුක්තිය පසිඳලීමට හානි කරයි. ආණ්ඩුවේ අරමුණ ව්‍යවස්ථාමය සංවාදයේ වලංගු කාරණයක් බවට පත්ව ඇත්තේ එහි යම් අයුතු චේතනාවක් ඔප්පු වී ඇති නිසා නොවේ; ඒ වෙනුවට මෙම සංශෝධනය ඉදිරිපත් කළ කාලසීමාව, එහි ඇති හදිසිභාවය සහ ලබා දී ඇති සුවිශේෂී ප්‍රමුඛතාව නිසාය.

ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය ලබා ගත්තේ පුළුල් ව්‍යවස්ථාමය හා නීතිමය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් මතය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කිරීම හෝ මූලික වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීම එහි ප්‍රධාන පොරොන්දු විය. ඒවා අතුරු පොරොන්දු නොව, ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයේ මූලික අංග ලෙස ජනතාවට ඉදිරිපත් කළ දේවල්ය.

එහෙත් නව ව්‍යවස්ථාවක් තවම ඉදිරිපත් කර නැත. පැහැදිලි කාලසටහනක් සහ අර්ථවත් මහජන උපදේශනයක් සහිත විවෘත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් තවම රට ඉදිරියේ තබා නැත. විධායක ජනාධිපති ක්‍රමය පවතී. ප්‍රතිසංස්කරණය, අහෝසි කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ නැවත නැවත ලබා දුන් සහතික තිබියදීත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතද නීතියේ කොටසක් ලෙස පවතී.
එම ප්‍රතිසංස්කරණ සංකීර්ණ බව පිළිගත යුතුය. ඒවාට උපදේශනය, ප්‍රවේශම් සහගත කෙටුම්පත් කිරීම සහ සමහර අවස්ථාවල ජනමත විචාරණයක් අවශ්‍ය වේ. ඒවා සියල්ල එක රැයකින් නිම කළ නොහැකි බව සාධාරණය.

එහෙත් එම පැහැදිලි කිරීම නිසා විසි දෙවන සංශෝධනය ගෙන ඒමේ අසාමාන්‍ය කඩිමුඩිය තවත් කැපී පෙනේ. දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම ජනතාව හමුවේ තැබූ ප්‍රතිපත්තියක් නොවූ අතර, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදිසි ජාතික ප්‍රමුඛතාවක් ලෙසද එය සඳහන්ව නොතිබිණි. එසේ තිබියදීත්, ජනවරමක් හිමි වූ ප්‍රධාන ප්‍රතිසංස්කරණ පවා අභිබවා යමින් මෙය දැඩි හදිසිභාවයකින් යුතුව ඉදිරියට ගෙන යනු ලබයි.

එබැවින් ජනතාවට ප්‍රශ්න කිරීමට අයිතිය ඇත. ජනතාවට පොරොන්දු නොකළ මෙම සංශෝධනය, පොරොන්දු වූ නව ව්‍යවස්ථාවට පෙර පැමිණෙන්නේ ඇයි? දැනට සිටින විනිසුරුවරුන්ගේ ධුර කාලයට බලපාන සංශෝධනයට, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩා හදිසියක් ලබා දෙන්නේ ඇයි? නව විශ්‍රාම වයස අනාගත පත්වීම්වලට පමණක් අදාළ නොකර, දැනට සිටින විනිසුරුවරුන්ට වහාම අදාළ කළ යුත්තේ ඇයි?

මේවා පක්ෂ දේශපාලන ප්‍රශ්න නොවේ. ඒවා ආණ්ඩුවේම තේරීම් හා ප්‍රමුඛතා නිසා ස්වභාවිකව පැන නගින ප්‍රශ්න වේ. මෙහි අරමුණ කිසිදු පුද්ගලයකුට පෞද්ගලික වාසියක් සැලසීම නොවන බවත්, අධිකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද රඳවා ගැනීම, නඩු ප්‍රමාදය අවම කිරීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පමණක් බවත් ආණ්ඩුව ප්‍රකාශ කර ඇත. එම පැහැදිලි කිරීම සාධාරණව සලකා බැලිය යුත්තකි. මන්දයත්, ශ්‍රී ලංකාවට පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය බවට කිසිදු සැකයක් නොමැති බැවිනි.
එහෙත් යහපත් අරමුණක් ඇති බවට ලබා දෙන සහතික පමණක් ව්‍යවස්ථාමය ගැටලුව විසඳන්නේ නැත. සංශෝධනයෙන් වහාම වාසි ලබන්නේ කවුරුන්ද යන්න දැනගත හැකිය. කුමන විනිසුරුවරුන් ධුරයේ රැඳී සිටින්නේද, කුමන පුරප්පාඩු කල් යන්නේද, අමතර කාලය තුළ ඉහළ අධිකරණවල සංයුතිය කෙසේ වෙනස් වන්නේද යන්න ආණ්ඩුව දනී.

එම තත්ත්වය තුළ පැහැදිලි නොකළ හදිසිය, ආණ්ඩුව තමන්ට හිතකර, පිළිගත හැකි හෝ තම වැඩපිළිවෙළට අඩු බාධාවක් ලෙස සලකන ඇතැම් විනිසුරුවරුන් රඳවා ගැනීමට උත්සාහ කරන්නේද යන සාධාරණ සැකයක් ඇති කරයි. එවැනි අරමුණක් ඔප්පු වී ඇති බවට මෙය චෝදනාවක් නොවේ. එය එකී යෝජනාවේ සැලැස්ම, එය ගෙන ආ කාලය සහ එහි ක්ෂණික ප්‍රතිඵලය නිසා පැන නගින වෛෂයික ගැටලුවකි.

වගකිවයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විවේචනයකදී, අයුතු හැසිරීමක් පිළිබඳ සෘජු චෝදනා එල්ල කිරීම සහ සාධාරණ සැකයක් මතු කරන තත්ත්වයන් පෙන්වා දීම අතර වෙනස හඳුනාගත යුතුය. පළමුවැන්න සඳහා නිශ්චිත සාක්ෂි අවශ්‍ය වන අතර, දෙවැන්න සඳහා රජය පාර්ශ්වයෙන් විශ්වසනීය පැහැදිලි කිරීමක් මෙන්ම ප්‍රමාණවත් ආරක්ෂණ විධිවිධානද අවශ්‍ය වේ.
මෙම පියවර ආණ්ඩුවට හිතකර යැයි සලකන අධිකරණ සංයුතියක් රඳවා ගන්නා බවට පෙනුමක් ඇති කළහොත්, අනාගත දේශපාලනික වැදගත්කමක් ඇති තීන්දු ඒවායේ නීතිමය තර්කයෙන් පමණක් නොව, මෙම ධුර කාල දීර්ඝ කිරීමේ කණ්ණාඩියෙන්ද විනිශ්චය කරනු ඇත. එය විනිසුරුවරුන්ටද දැඩි අසාධාරණයක් වන අතර මහජන විශ්වාසයට විනාශකාරී වේ.

බලතල බෙදී​ම දඬුවමෙන් පමණක් නොව අනුග්‍රහයෙන්ද අධිකරණය ආරක්ෂා කරයි. බලතල බෙදීමේ මූලධර්මය යනු විධායකය මඟින් අධිකරණයට සෘජු නියෝග නිකුත් කිරීම වැළැක්වීමට පමණක් සීමා වූවක් නොවේ. දේශපාලන මැදිහත්වීම් සිදු වන්නේ තර්ජනය කිරීම්, ධුරයෙන් පහ කිරීම් හෝ සෘජු නියෝග හරහාම පමණක් නොවේ. වාසි ලබා දීම, බලාපොරොත්තු ඇති කිරීම සහ සේවා කොන්දේසි වෙනස් කිරීම මඟින්ද අනියම් බලපෑම් එල්ල විය හැකිය. එබැවින් අධිකරණය දේශපාලන අධිකාරියේ අප්‍රසාදයෙන් මෙන්ම අනුග්‍රහයෙන්ද ආරක්ෂා කළ යුතුය. විනිසුරුවරයකු ධුරය අහිමි වේයැයි බිය නොවිය යුතු අතර, ධුරයේ තවදුරටත් සිටීම වෙනුවෙන් දේශපාලන අධිකාරියට ණයගැති බවක් පෙනී නොයා යුතුය.

මෙම සංශෝධනය මඟින් නිශ්චිතව කුමන විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කරන්නේදැයි තෝරා ගැනීමට ආණ්ඩුවට සෘජු බලයක් නොලැබෙන බව සත්‍යයකි. මන්දයත් එය ඉදිරිපත් කර ඇත්තේ පොදුවේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමක් වශයෙනි. එහෙත් එය දැනට ධුරයේ සිටින අයටද අදාළ වන බැවින්, ඉන් ක්ෂණිකව වාසි ලබන්නේ කවුරුන්ද යන්න පැහැදිලිවම හඳුනාගත හැකිය. මේ හේතුවෙන් අපේක්ෂිත පුරප්පාඩු කල් යන අතර, ආණ්ඩුව සම්බන්ධ නඩු තීන්දු කරන ඉහළ අධිකරණවල සංයුතිය සහ අඛණ්ඩතාවද වෙනස් වේ.

ඒ අනුව විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් සිදු කරනු ලබන්නේ, තමන්ගේම ක්‍රියාකලාපයන් පරීක්ෂා කිරීමට සහ සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බලය ඇති අධිකරණයේ සාමාජිකයන්ගේ ධුර කාලය වෙනස් කිරීමයි. එබැවින් ව්‍යවස්ථාමය විමර්ශනයකදී, නීතියේ දක්වා ඇති සාමාන්‍ය වචනවලින් ඔබ්බට ගොස් එහි ප්‍රායෝගික බලපෑම හා ප්‍රතිඵලය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

විවිධ පාර්ශ්වවලින් මතුවූ එකම මූලික සැලකිල්ල

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීති වෘත්තිකයන්ගේ සහ අධිකරණ නිලධාරීන්ගේ සංගම්, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමය, විනිසුරුවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ මෙන්ම ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු පාර්ශ්ව ගණනාවක් මේ සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය හා අවධානය යොමු කර තිබේ.

එම ප්‍රකාශයන්හි අන්තර්ගත යෙදුම් හා ප්‍රමුඛතාවන්හි විවිධත්වයක් පැවතියද, ඒවායේ ගැබ්ව ඇති මූලික නෛතික හරය සමා​න වේ: එනම්, වත්මන් විනිසුරුවරුන්ගේ ධුර කාලය සංශෝධනය කිරීමේ ආදීනව; විධායක සහ ව්‍යවස්ථාදායක ඇඟිලි ගැසීමක් ලෙස අර්ථකථනය වීමේ අවකාශය; ප්‍රමාණවත් පාර්ශ්වකරුවන්ගේ උපදේශනයක් සහ සංක්‍රාන්ති කාලීන නෛතික ආරක්ෂණයන් නොමැතිකම; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැබලි වශයෙන් සංශෝධනය කිරීමේ අයහපත් ප්‍රවණතාව; යෝජනාව කඩිනම් කිරීම පසුපස ඇති සැකසහිත හදිසිභාවය; සහ අධිකරණ ස්වාධීනත්වය කෙරෙහි පවතින මහජන විශ්වාසය ඛාදනය වීමයි.

මේවා ප්‍රතිසංස්කරණයට එරෙහි ප්‍රතිරෝධයක් ලෙස ඉවත දැමිය නොහැක. මෙතරම් බරපතළ සැලකිලි විවිධ පාර්ශ්වවලින් ස්වාධීනව මතුවන විට, වගකිව යුතු ආණ්ඩුවක් නතර වී සවන් දී, සාකච්ඡා කර, නැවත සලකා බැලිය යුතුය. මූලධර්ම මත පදනම් වූ විවේචනයට සවන් දීමෙන් ආණ්ඩුවක් දුර්වල නොවේ; එහි තීරණවල නීත්‍යනුකූලභාවය ශක්තිමත් වේ.

මූලධර්මයට අනුකූල විසඳුම

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට සාධාරණ පදනමක් තිබිය හැකිය. වැඩි ආයු අපේක්ෂාව සහ සමුච්චිත අධිකරණ අත්දැකීමේ වටිනාකම පිළිබඳ ජාතික සාකච්ඡාවක් අවශ්‍යය ​වේ. එහෙත් මෙය සැබවින්ම දිගුකාලීන ආයතනික ප්‍රතිසංස්කරණයක් නම්, දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ නියමිත විශ්‍රාම දිනය වෙනස් කිරීමට බලවත් හේතුවක් නොමැත.සරල ආරක්ෂණයකින් ව්‍යවස්ථාමය ගැටලුව බොහෝ දුරට ඉවත් කළ හැකිය: විශ්‍රාම වයස වැඩි කිරීම අනාගතයට පමණක් අදාළ කළ යුතු අතර, දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ නොකළ යුතුය.

එවිට, දැනට ධුරයේ සිටින නිශ්චිත විනිසුරුවරුන්ට අමතර කාලයක් ලබා දුන් බවට වන සැකය හෝ බාහිර පෙනුම මඟහරවා ගනිමින්, අනාගතය සඳහා නව ප්‍රතිපත්තියක් ස්ථාපිත කළ හැකිය. එමඟින් තමන්ට වාසිදායක අධිකරණ සංයුතියක් පවත්වා ගැනීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනාවෙන් විධායකය ආරක්ෂා වන අතර, වත්මන් අධිකරණ සංයුතිය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු බහුතරය යොදා ගන්නා බවට වන පෙනී යාමෙන් පාර්ලිමේන්තුවද ආරක්ෂා වේ.

වැදගත්ම කරුණ වන්නේ, ආණ්ඩුව විසින් සිය ධුර කාලය දීර්ඝ කළ නිසා තමන් ලබා දෙන අනාගත තීන්දු සැකයට ලක් වන අසාධාරණ හා අපහසු වාතාවරණයෙන් දැනට සිටින විනිසුරුවරුන් ආරක්ෂා වීමයි. තමන්ගේ පාලනයෙන් බැහැරව සිදුවූ ව්‍යවස්ථා සංශෝධනයක් හේතුවෙන් මහජන සැකයේ බර කිසිදු විනිසුරුවරයකු පිට පැටවිය යුතු නැත.

නිගමනය

මෙම සාකච්ඡාව විනිසුරුවරුන්ගේ අවංකභාවය හෝ ආණ්ඩුවේ අයුතු අරමුණක් ඔප්පු වී තිබේද යන්න ගැන නොවේ. ව්‍යවස්ථාමය මූලධර්ම පුද්ගලයන්ගෙන් ස්වාධීනව ක්‍රියාත්මක කළ යුතුය. ප්‍රශ්නය වන්නේ විනිසුරුවරුන්ට තවත් වසර දෙකක් සේවය කළ හැකිද යන්න නොවේ. තම බලතල පරීක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති විනිසුරුවරුන්ට එවැනි අමතර වසර දෙකක කාලයක් ලබා දීමට දේශපාලන අධිකාරියට (විධායකයට සහ ව්‍යවස්ථාදායකයට) සදාචාරාත්මක හෝ නෛතික අයිතියක් තිබේද යන්නයි.

ජනතාවට පැහැදිලිව පොරොන්දු වූ ප්‍රධාන ව්‍යවස්ථාමය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ තවමත් ඉටු නොවී තිබියදී, ජනවරමකින් තොර මෙම සංශෝධනය ඉතා ඉක්මනින් ඉදිරියට ගෙන යාම, ප්‍රමුඛතාව හා අරමුණ පිළිබඳ සාධාරණ ප්‍රශ්න මතු කරයි.

තම අරමුණ ගෞරවාන්විත බවට සහතික කිරීම පමණක් ආණ්ඩුවේ වගකීම ඉටු නොකරයි. මෙම සංශෝධනය හදිසි වන්නේ ඇයි, එය දැනට සිටින විනිසුරුවරුන්ට අදාළ විය යුත්තේ ඇයි, අනාගතයට පමණක් අදාළ කිරීම ප්‍රමාණවත් නොවන්නේ ඇයි, සහ අධිකරණ සංයුතියට සැබෑ හෝ පෙනෙන දේශපාලන බලපෑමක් වැළැක්වීමට ඇති ආරක්ෂණ මොනවාද යන්න රටට පැහැදිලි කළ යුතුය.

විනිසුරුවරුන් සෑම නඩුවක්ම බියෙන් හෝ පක්ෂපාතීත්වයෙන්, ඇල්මෙන් හෝ ද්වේෂයෙන් තොරව තීරණය කළ යුතුය. රාජ්‍යයට එරෙහිව අධිකරණයට පැමිණෙන පුරවැසියාට, විනිසුරුවරයා ආණ්ඩුවට කිසිවක් ණය නැති බවත්, ආණ්ඩුවෙන් කිසිවකට බිය නොවන බවත්, ආණ්ඩුවෙන් කිසිවක් අපේක්ෂා නොකරන බවත් පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් තිබිය යුතුය.

වත්මන් විධායකය හා එහි පාර්ලිමේන්තු බහුතරය විසින් ලබා දෙන ධුර කාල දීර්ඝ කිරීමක් එම විශ්වාසය පළු​දු කිරීමට ඉඩ ඇත. ව්‍යවස්ථාමය දුරස්ථභාවය අවශ්‍ය තැන වාසියක් ලැබුණු බවට බාහිර පෙනුමක්ද, සම්පූර්ණ ස්වාධීනත්වය අවශ්‍ය තැන බැඳීමක් ඇති බවට හැඟීමක්ද, කිසිදු සැකයක් නොතිබිය යුතු තැන සැකයක්ද එයින් ඇති විය හැකිය.

අධිකරණය සෑම විටම ජනප්‍රිය විය යුතු නැත. ආණ්ඩුවට, පාර්ලිමේන්තු බහුතරයට හෝ මහජන කොටසකට අප්‍රිය තීන්දු ලබා දීමට අධිකරණයට බොහෝ විට සිදු වේ. එහෙත් අධිකරණය සෑම විටම ස්වාධීන, අපක්ෂපාතී, නොබිය සහ නොසැලෙන ආයතනයක් විය යුතුය.

අධිකරණ ස්වාධීනත්වය රාජ්‍ය බලය නීති විරෝධීව භාවිත කිරීමට එරෙහිව පුරවැසියාගේ අවසන් ආරක්ෂක පවුරයි. එබැවින් එය දඬුවම් හා පීඩනයෙන් පමණක් නොව, අනුග්‍රහයෙන් හා ත්‍යාගයෙන්ද ආරක්ෂා කළ යුතුය.

යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය පැහැදිලිව හා කිසිදු සැකයකින් තොරව ඉටු වන බව පෙනී යා යුතුය.

Latest Posts

spot_imgspot_img