Latest Posts

හතළිස් අට වසරකට පසුත් ‘බඹරු ඇවිත්’: පතිරාජගේ සිනමාත්මක කැඩපතින් වත්මන් ශ්‍රී ලංකාව කියවීම!

ධර්මසේන පතිරාජයන්ගේ “බඹරු ඇවිත්” සිනමා කෘතිය නැවතත් සීමිත දින කිහිපයකට සිනමාහල් වෙත පැමිණ තිබේ. දශක හතරකට වැඩි කාලයකට පසු පැරණි සිනමා කෘතියක් ප්‍රතිසංස්කරණය කර නැවත ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමක් ලෙස පමණක් මෙය දැකිය නොහැක. මන්ද, “බඹරු ඇවිත්” යනු නිශ්චිත කාලයකට පමණක් අයත් වූවක් නොව, කාලය ඉක්මවා යන සමාජ වියමනක ප්‍රබල සිනමාත්මක නිරූපණයකි.

1978 දී තිරගත වූ මෙම සිනමා කෘතිය අද නැවත නැරඹූ විට අපට පෙනෙන්නේ හතළිස් අට වසරකට පෙර තිබූ ශ්‍රී ලංකාව පමණක් නොවේ; එමගින් අප කියවන්නේ වත්මන් ශ්‍රී ලංකාවයි. එදා මුහුදුබඩ කුඩා ධීවර ප්‍රජාවක් තුළ සිදුවන බවට පෙනුණු අරගලය, අද අපගේ මුළු සමාජය පුරාම විවිධ ආකාරයෙන් නැවත නැවතත් සිදුවෙමින් පවතින බව අපට දැනෙයි. ඒ නිසා “බඹරු ඇවිත්” නැවත තිරයට පැමිණීම යනු අපේම සමාජය අපට නැවත පෙන්වන කැඩපතක් ඉදිරියේ අපව හිඳුවීමකි.

පතිරාජ, කේමදාස, විජය, මාලිනී, ජෝ, සිරිල්, කලං, කොස්තා…

“බඹරු ඇවිත්” යනු විශිෂ්ට තිර රචනයක් හෝ අධ්‍යක්ෂණයක් පමණක් නොවේ. එය එක් යුගයක ශ්‍රී ලාංකේය සිනමාවේ දක්ෂතම නිර්මාණශීලී පිරිසක් එකම කෘතියක් තුළ හමුවූ අසමසම සිනමා අත්දැකීමකි.

ධර්මසේන පතිරාජගේ අධ්‍යක්ෂණය, ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය, විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා ඇතුළු රංගධරයන්ගේ ප්‍රබල රංගනය, කැමරාකරණය සහ සංස්කරණය එකට බැඳී නිර්මාණය කරන්නේ සාමාන්‍ය සිනමාවක් නොවේ. එය සමාජය පිළිබඳ කෙරෙන ප්‍රබල සිනමාත්මක ප්‍රශ්න කිරීමකි.

එදා සිටි තරුණ පරපුරට පතිරාජ අලුත් සිනමා භාෂාවක් ලබා දුන්නේය. ජනප්‍රිය සිනමාවේ පැවති සුන්දර ගම, සුන්දර ආදරය, වීරයා සහ දුෂ්ටයා යන පහසු වර්ගීකරණයන් ඔහු සපරාදේ ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ චරිත සම්පූර්ණයෙන් හොඳ නැත; සම්පූර්ණයෙන් නරකද නැත. ඔවුන් සමාජය හා ජීවිත අරගලය විසින් නිර්මාණය කරන ලද සංකීර්ණ මිනිසුන්ය.

බඹරු එන්නේ කොහෙන්ද?

චිත්‍රපටයේ නම විසින්ම අපට ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි: “බඹරු ඇවිත්.” බඹරුන් පැමිණියේ කොහෙන්ද? පිටතින්ද? නගරයෙන්ද? නව ධනවාදයෙන්ද? වික්ටර් සහ ඔහුගේ මිතුරන් සමඟ පැමිණි නව සමාජයෙන්ද?

මුලින් බැලූ විට පිළිතුර සරලය. ගමේ පැවති සාපේක්ෂ ස්ථාවර ජීවිතයට නගරයෙන් පැමිණෙන පිරිස නව ආර්ථික බලයක්, නව ජීවන රටාවක් සහ නව ආශාවන් රැගෙන එති. එම පැමිණීම ගමේ පැරණි බල සබඳතා සොලවා දමයි.

නමුත් පතිරාජ එතැනින් නවතින්නේ නැත. බඹරු පැමිණීමට පෙර ගම ඇත්තටම බඹරුන්ගෙන් තොර වූවාද? මෙය “බඹරු ඇවිත්” පිළිබඳ අප අසන ගැඹුරුම ප්‍රශ්නයක් විය හැකිය.

ඇන්ටනීගේ බලය, ඔහුගේ අධිපතිත්වය, සූරාකෑම, පුරුෂාධිපත්‍යය, දරිද්‍රතාව සහ පන්ති විෂමතාවය බඹරුන් පැමිණීමට පෙරත් එහි තිබිණි. එබැවින් පතිරාජ අපට කියන්නේ නව ධනවාදය පැමිණීමෙන් පමණක් සූරාකෑම ආරම්භ වූ බව නොවේ; පැරණි සූරාකෑමට නව සූරාකෑමක් එකතු වූ බවයි.

ගම හොඳද? නගරය නරකද?

“බඹරු ඇවිත්” සරලව “ගම සහ නගරය” අතර ගැටුමක් ලෙස කියවීම පහසුය.

ගම — සම්ප්‍රදාය, ප්‍රජාව, මනුෂ්‍යත්වය
නගරය — නවීනත්වය, පුද්ගලවාදය, වෙළඳපොළ

එහෙත් පතිරාජ මේ සරල බෙදීම විනාශ කරයි. ඇන්ටනී යනු ගමේ මිනිසෙකි. ඔහු ගමේ ප්‍රජාව තුළ බලය හිමි පුද්ගලයාය. එහෙත් ඔහුගේ බලය සාධාරණත්වය මත ගොඩනැඟී නැත. එබැවින් ගම යනු අහිංසක පාරාදීසයක් නොවේ.

අනෙක් අතට වික්ටර් යනු නව ලෝකයක නියෝජිතයෙකි. ඔහු ගෙන එන්නේ නව ආර්ථික අවස්ථාවන්ය. එහෙත් එම නවීනත්වය තුළද මිනිසා සහ මිනිස් සබඳතා වෙළඳ භාණ්ඩ බවට පත්වීමේ අවදානම ඇත. ඒ අනුව චිත්‍රපටය අපට කරන එක යෝජනාවක් වන්නේ: පැරණි ලෝකය පරිපූර්ණ නොවූ බවත්, නව ලෝකයද විමුක්තියක් නොවන බවත්ය. මෙය පතිරාජගේ සිනමාවේ ඇති විශාලතම දේශපාලන ශක්තියයි.

වික්ටර්: නව ධනවාදයේ මුහුණුවර

වික්ටර් යනු එක් චරිතයක් පමණක් නොවේ. ඔහු සමඟ පැමිණෙන්නේ නව වෙළඳපොළ සමාජයක භාහිර සාටෝපයයි. මුදල, පාරිභෝජනය, නව විලාසිතා, නව ආශාවන් සහ පුද්ගලික සාර්ථකත්වය පිළිබඳ නව සිහිනයකි.

ඒ නිසා වික්ටර්ව දුෂ්ටයෙකු ලෙස පමණක් දැකීම චිත්‍රපටය සරල කිරීමකි. ඔහු නව ලෝකයේ නිෂ්පාදනයකි. නමුත් එම නව ලෝකය මිනිසාට නිදහස ලබා දෙන අතරම, ඔහුගේ ආශාව පවා වෙළඳ භාණ්ඩයක් බවට පත් කරයි.

මෙහිදී වික්ටර්ගේ චරිතය විශේෂයෙන් වැදගත් වන්නේ ඔහු ඇන්ටනීගේ පැරණි බලයට විකල්පයක් ලෙස පැමිණියද, අවසානයේදී ඔහුද බලයේ තර්කයෙන් මිදෙන්නේ නැති නිසාය. පතිරාජ ගොඩනගන ආඛ්‍යානය තුළ පැරණි බලයත් නව බලයත් එකිනෙකට විරුද්ධ වුවත්, ඒ දෙක තුළම අධිපතිත්වයේ බීජ තිබේ.

හෙලන්ගේ ශරීරය: ආදරයේ දේශපාලනය

මෙම චිත්‍රපටය පන්ති අරගලයක් ලෙස කියවන විට අපට බොහෝ විට හෙලන් අමතක විය හැකිය. එය විශාල අඩුවකි. හෙලන් යනු චිත්‍රපටයේ ආදර කතාවේ කාන්තාව පමණක් නොවේ. ඇය පුරුෂ බලය, සමාජ සදාචාරය, ආශාව, පවුල සහ වෙළඳපොළ යන සියල්ල එකට ගැටෙන ස්ථානයයි.

හෙලන්ට ආදරය කරන පිරිමින් සිටිති. නමුත් ඔවුන් ඇයට ආදරය කරනවාද, නැතහොත් ඇයව අයිති කර ගැනීමට උත්සාහ කරනවාද? මෙය ඉතා වැදගත් වෙනසකි. පතිරාජගේ චිත්‍රපටය සියුම්ව අපගෙන් අසන්නේ:

“කාන්තාවක් අයිති කුමන පිරිමියාටද?” යන්න නොව, “කාන්තාවක් කාගේ විය යුතුදැයි තීරණය කිරීමට පිරිමින්ට සහ සමාජයට ඇති අයිතිය කුමක්ද?” යන්නයි.

මේ අර්ථයෙන් “බඹරු ඇවිත්” යනු පන්ති දේශපාලනය පිළිබඳ චිත්‍රපටයක් පමණක් නොව, පුරුෂාධිපත්‍යය පිළිබඳද ප්‍රබල සිනමා විමසුමකි.

ආදරයත් අයිතියක් බවට පත්වන විට…

“බඹරු ඇවිත්” තුළ ආදරය යනු සුන්දර පලායාමක් නොවේ. ආදරයත් සමාජ බල සබඳතාවලින් නිදහස් නැත.

පිරිමියෙකු කාන්තාවකට ආදරය කරන විට, එම ආදරය ඇයගේ ස්වාධීනත්වය පිළිගන්නවාද? නැතහොත් ඇය තමන් සතු කර ගැනීමට ඇති ආශාවක් බවට පත්වෙනවාද? මෙහිදී ආදරය සහ හිමිකාරිත්වය අතර සීමාව බොඳ වෙයි. ආදරය යැයි කියන දෙය තුළම අයිතිය පිළිබඳ අදහස සැඟවී තිබිය හැකිය. මෙය අදටත් අතිශය වැදගත් ප්‍රශ්නයකි.

ඇන්ටනී සහ වික්ටර් අතර ඇති වෙනස කුමක්ද?

මෙම ගැටලුව චිත්‍රපටයේ දාර්ශනික ගැඹුර ස්පර්ශ කරයි.

  • ඇන්ටනී:- පැරණි බලය, ප්‍රජාවේ සාම්ප්‍රදායික බලය සහ ධීවර ප්‍රජාව පාලනය කිරීම.
  • වික්ටර්:- නව බලය, මුදල, වෙළඳපොළ සහ රාජ්‍යයේ මර්දනීය හමුදාව.

දෙදෙනාම අවසානයේ මිනිසුන් මත බලය පතති. මෙය අපට ඉතා වැදගත් දේශපාලන පාඩමක් කියා දෙයි: බලය වෙනස් වීම සහ බල සම්බන්ධතාව වෙනස් වීම යනු එකම දෙයක් නොවේ. පරණ බලධාරියා ඉවත් වී අලුත් බලධාරියෙකු පැමිණීමෙන් සමාජය ස්වයංක්‍රීයව නිදහස් නොවේ. බලය තමන්ගේ ස්වරූපය වෙනස් කරගනී.

පතිරාජගේ විශාලතම ජයග්‍රහණය

පතිරාජගේ සිනමාවේ විශේෂත්වය වන්නේ ඔහු ප්‍රේක්ෂකයාට සරල පිළිතුරු ලබා නොදීමයි. ඔහු චරිතවලට සහතික ලියන්නේ නැත:

මේ මිනිසා හොඳය / අර මිනිසා නරකය.
මේ පන්තිය නිවැරදිය / අර පන්තිය වැරදිය.

එබඳු සරල දේශපාලන ප්‍රකාශයන්ගෙන් ඔබ්බට යමින් ඔහු අපව අපහසු තැනකට ගෙන යයි. “ඔබ කාගේ පැත්තේද?” යන ප්‍රශ්නය වෙනුවට, “ඔබ සිටින පැත්ත තුළම ඇති බල අරගලය ඔබ දැක තිබේද?” යන ප්‍රශ්නය ඔහු අපෙන් අසයි. මේ නිසා “බඹරු ඇවිත්” අදටත් අලුත් සිනමාත්මක අත්දැකීමක් සපයයි.

කේමදාසගේ සංගීතය සහ රූපය අතර නොපෙනෙන සංවාදය

ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය මෙහි රූපයට අලංකාරයක් එකතු කරන පසුබිම් සංගීතයක් පමණක් නොවේ; එය චිත්‍රපටයේ තවත් කටහඬකි. පතිරාජ රූපයෙන් පෙන්වන සමාජ ආතතිය කේමදාස ශබ්දයෙන් අපට අසන්නට සලස්වයි. ඒ නිසා “බඹරු ඇවිත්” යනු දෘශ්‍ය කෘතියක් පමණක් නොව, රූපයත් ශබ්දයත් අතර ගොඩනැඟෙන සමාජ සංවාදයකි.

විජය කුමාරණතුංගගේ තරුණ ශක්තිය, මාලිනී ෆොන්සේකාගේ සංවේදී නිරූපණය, ජෝ අබේවික්‍රමගේ පළපුරුදු රංගනය සහ විමල් කුමාර ද කොස්තාගේ සුවිශේෂී චරිත නිරූපණය සමඟ මෙම සිනමා භාෂාව තවත් ශක්තිමත් වෙයි.

බඹරු ඇවිත් සහ අද ශ්‍රී ලංකාව

අද අප සිටින්නේ වෙනස් ශ්‍රී ලංකාවකය. නමුත් “බඹරු ඇවිත්” තුළ ඇති ප්‍රශ්න වෙනස් වී නැත:

1. ගම සහ නගරය අතර පරතරය තවමත් පවතී.

2. සංවර්ධනයේ නාමයෙන් ප්‍රජාවන්ගේ ජීවන අවකාශ වෙනස් වේ.

3. වෙළඳපොළ මිනිස් සබඳතා තුළට එදාටත් වඩා තදින් ඇතුළු වී ඇත.

4. දේශපාලන බලය ආර්ථික බලය සමඟ ගැටෙයි.

5. ආදරය, පවුල සහ ලිංගිකත්වය තවමත් පුරුෂ බලය හා සමාජ සදාචාරය මඟින් පාලනය වේ.

වසර හතළිස් අටකට පසුත් මේ චිත්‍රපටය අපට මෙතරම් සමීප වන්නේ ඒ නිසාය. පතිරාජ රූගත කළේ 1978 පමණක් නොවේ; ඔහු රූගත කළේ ශ්‍රී ලංකා සමාජයේ දිගුකාලීන ව්‍යුහයයි.

ලෝක සිනමාවට ලංකාවෙන් තැබූ සලකුණ

“බඹරු ඇවිත්” ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නේ එය අපේ සමාජය පිළිබඳ කතාවක් කියන නිසා පමණක් නොවේ; එය විශ්ව සිනමා භාෂාවෙන් ලංකාවේ සමාජය ගැන කතා කිරීමට සමත් වූ නිසාය.

කුඩා ධීවර ගම්මානයක්, මුහුද, තරුණයන් කිහිපදෙනෙක්, ආදරයක් සහ බල අරගලයක්… මේ සියල්ල එකතු වූ විට එය ශ්‍රී ලංකාව ඉක්මවා යයි. එය ලෝකයේ ඕනෑම තැනක මිනිසා සහ ප්‍රාග්ධනය අතර, සම්ප්‍රදාය සහ නවීනත්වය අතර, ආදරය සහ හිමිකාරිත්වය අතර, පුද්ගලයා සහ ප්‍රජාව අතර පවතින අරගලය බවට පත්වේ.

ඒ නිසා “බඹරු ඇවිත්” යනු ලෝක සිනමාවට ලංකාවෙන් ඉදිරිපත් කළ ප්‍රබල සිනමාත්මක ප්‍රකාශයකි.

අවසානයේ අපට ඉතිරි වන ප්‍රශ්නය…

බඹරු ඇවිත්… නමුත් බඹරු කවුද?

වික්ටර්ද? ඇන්ටනීද? නගරයද? ධනවාදයද? නවීනත්වයද? පුරුෂාධිපත්‍යයද? නැතහොත් අප තුළම ඇති අයිති කර ගැනීමේ ආශාවද?

පතිරාජ ඊට සරල පිළිතුරක් දෙන්නේ නැත; ඔහු කැමරාව අප වෙත හරවයි. එවිට අපට තේරෙන්නේ, බඹරු පැමිණියේ බොහෝ කලකට පෙර බවය. ඒ බඹරු අදත් අප වටා පියාසර කරති. වෙනස එකම එකකි: එදා පතිරාජ ඔවුන්ව කැමරාවෙන් දුටුවේය; අද අපට ඔවුන්ව අපේම ජීවිත තුළ දැකිය හැකිය.

ඒ නිසා “බඹරු ඇවිත්” නැවත නැරඹීම යනු පැරණි චිත්‍රපටයක් නැරඹීමක් නොවේ. එය අප ජීවත් වන සමාජයම සිනමාත්මක සංවේදනය සහ ආනන්දය සමග නැවත කියවීමකි.

ලිපිය: ආචාර්ය අතුලසිරි සමරකෝන්

Latest Posts

spot_imgspot_img