සීඅයිඩීය (CID) වහා ක්‍රියාත්මක විය යුතු ඇයි?
“රටක මූල්‍ය පද්ධතියේ පරම බලධාරියා වන ශ්‍රී ලංකා මහ බැංකුව සියලු නියාමනයන් සහ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත්, ඒ සියල්ල තුට්ටුවකට මායිම් නොකරමින් ජනතාවගේ දහදිය මහන්සියෙන් උපයාගත් මුදල් ගසාකන මහා පරිමාණ මූල්‍ය ජාවාරමක් මේ දිනවල දෙනෝදහක් දෙනා බලා සිටියදී රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය හරහා වැජඹෙමින් තිබේ.

මෙය මල්වත්තගේ රංජිත් නන්දන පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් “කසාගල සමූහ ව්‍යාපාරයට” අයත් “කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්” ආයතනය සහ ඊට සහසම්බන්ධිතව ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් මතුව ඇති “ඇතුගල ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ්” (Ethugala Credit and Investment Private limited) නැමැති ආයතනය හරහා ක්‍රියාත්මක වන සූක්ෂ්ම ජාවාරමක් දැයි බලවත් සැකයක් මේ වනවිට සමාජය තුළ මතුව තිබේ.”
ආර්ථික අර්බුදයෙන් බැටකෑ, බැංකු පොලී අනුපාත අඩුවීම නිසා විකල්ප ආයෝජන සොයන අසරණ ජනතාවගේ ගෙල සිඳීම සඳහා මාසිකව 30% – 40% (වාර්ෂිකව 120% ඉක්මවන) අතාර්කික, දැවැන්ත ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් මොවුන් දියත් කර ඇත්තේ සම්භාව්‍ය “පොන්සි” (Ponzi) ජාවාරමකි. මහ බැංකුව මේ පිළිබඳව දැනටමත් රතු නිවේදනය නිකුත් කර හමාරය.
එහෙත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන තවමත් නිදිද?
බැංකොක් නුවර රඟදැක්වූ “ජාත්‍යන්තර සම්මාන” නාඩගම
ජනතාව මුලා කිරීම සඳහා කසාගල ව්‍යාපාරය යොදාගන්නා පහසුම උපක්‍රමය වන්නේ ව්‍යාජ ප්‍රතිරූප ගොඩනැගීමයි. මෑතකදී කසාගල ප්ලාන්ටේෂන් සමාගම “ජාත්‍යන්තර සම්මානයක්” දිනාගත් බවට ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් ප්‍රචාරය විය.
සැබැවින්ම මේ කියන ජාත්‍යන්තර සම්මානය කුමක්ද?
මෙය 2026 මැයි 31 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවර අමාමි (Amami) හෝටලයේදී පැවැත්වූ සම්මාන උළෙලකි. එහි ඇති ජාත්‍යන්තරයක් නැත; සම්පූර්ණ වැඩසටහනම මෙහෙයවා ඇත්තේ සිංහල භාෂාවෙනි. සම්මානය සංවිධානය කර ඇත්තේ තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු සහ ලංකාවේ ලියාපදිංචි “අයිකොනික් ප්‍රයිවෙට් ලිමිටඩ්” (Iconic Private Limited) නම් සමාගමක් විසින් යැයි පැවසේ. එහි සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම ශ්‍රී ලාංකිකයන්ය.
තමන් විසින්ම මුදල් වියදම් කර, තමන්ගේම මිනිසුන් ලවා සම්මානයක් අතට දී එය “ජාත්‍යන්තර සම්මානයක්” ලෙස හුවාදැක්වීම කෙතරම් හාස්‍යජනකද?
වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ, මොවුන් මෙම ව්‍යාජ සම්මානය ද රැගෙන කටුනායක ගුවන්තොටුපළින් පිටතට එන විට, රජයේ මෙන්ම පෞද්ගලික ප්‍රධාන රූපවාහිනී නාලිකා ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තය (Arrival gate) අසලටම ගොස් මයික්‍රෆෝන දික්කරමින් මෙය මහා ජාතික ජයග්‍රහණයක් ලෙස වාර්තා කිරීමයි. මේ සියල්ල තනිකරම “සල්ලි දීලා ගත්තු පබ්ලිසිටි” (Paid Publicity) බව දැන් රහසක් නොවේ.
අප මේවා ගැන පුන පුනා කියන්නෙ මේවා නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව වැඩි වැඩියෙන් මුලා කිරීමට අවස්ථාව සැලැසෙන නිසාය.
මහ බැංකු නිවේදනය සහ මාධ්‍යවල නිරුවත
කසාගල හිමිකරු පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් තම ආයතනය මහ බැංකුව විසින් නියාමනය කරන බවට අමූලික බොරුවක් රටටම කීවේය. ඊට එරෙහිව වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා මහ බැංකුව 2026 ජූනි 12 දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අදාළ සමාගම තම නියාමනය යටතේ නොමැති බවයි. එමෙන්ම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ (FBA) 2 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් ඔවුන් අනවසරයෙන් තැන්පතු භාරගන්නේද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, මෙවැනි සැකකටයුතු ආයතනවල ප්‍රවර්ධන දැන්වීම් විකාශය කිරීමෙන් වළකින ලෙසත් මහ බැංකුව සියලුම මාධ්‍ය ආයතනවලට ලිඛිතව දැඩි අනතුරු ඇඟවීමක් කළේය. එසේ නීති උල්ලංඝනය කරන්නේ නම් වසර පහක් නොඉක්මවන සිරදඬුවමක් හෝ රුපියල් මිලියන 5ක් නොඉක්මවන දඩයක් නියම කළ හැකි බවද එහි සඳහන් විය.
එහෙත් අද කුමක් සිදුවීද? ස්වර්ණවාහිනිය වැනි ජාතික තලයේ මාධ්‍ය තවමත් කසාගල දැන්වීම් මහ දවල් විකාශය කරයි.

මාධ්‍ය ආයතන මීක් නොකියන්නේ ඇයි?
මෑතකදී විද්‍යුත් විකාශකයින්ගේ සංගමය (Broadcasters’ Guild) විසින් පවත්වන ලද අමරදේව උපහාර ගී වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු වූයේද මේ කියන කසාගල ව්‍යාපාරයයි. සල්ලි කුට්ටියට යටවූ පසු මාධ්‍ය ආචාරධර්ම පමණක් නොව මහ බැංකු නියෝගද ඔවුන්ට අදාළ නැත. ජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන රාජ්‍ය සංඛ්‍යාත (Frequencies) යොදාගනිමින්, ඒ ජනතාවම මුලා කිරීමට ඉඩදෙන ලෝකයේ එකම රට මේ ශ්‍රී ලංකාව විය හැකිය.
FactCrescendo හි සැකකටයුතු නිහැඬියාව සහ සුදුවැලි ඉසීම
වෙනත් සුළු කාරණාවලදී පවා කවි ගී ලියමින් තොරතුරු සත්‍යාපනයට එන FactCrescendo වැනි ආයතන, කසාගල වැනි දැවැන්ත මූල්‍ය මාෆියාවක් ඉදිරියේ හැසිරුණේ කෙසේද? අප පෙර සඳහන් කළ ජාත්‍යන්තර සම්මානය ගැන FactCrescendoට කියන්නට යමක් ඇත්තේම නැද්ද? එපමණක් නොවේ.. මහ බැංකුව විසින් මහජනතාව ආරක්ෂා කිරීමට අනතුරු අඟවා තිබියදී, ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ ආයතනය කළේ කසාගල සමාගමේ ලියාපදිංචි සහතික සහ කෘෂි සම්මාන ඉස්මතු කරමින් ඔවුන්ට නීත්‍යානුකූල මුහුණුවරක් ලබාදීමට වක්‍රව උදව් කිරීමයි. මහ බැංකු නිවේදනය සාමාන්‍යකරණය කළ ඔවුන්, කසාගල ආයතනයේ ව්‍යාජ වීඩියෝව යළිත් වරක් තමන්ගේ පිටුව හරහා ප්‍රචාරය කරමින් රාජ්‍ය නීතිය සූක්ෂ්ම ලෙස දියකර හැරියේය. ඔවුන් දකින්නේ නැත්තේ ඇයිද යන්න වෙනම විමර්ශනය කළ යුතු කරුණකි.
දේශපාලන සෙවනැලි සහ ඇතුගල මයික්‍රොෆයිනෑන්ස්
කසාගල මිනිස්සුන්ගෙන් එකතු කරන මේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් යන්නේ කොහාටද? මෙය නිකම්ම නිකන් කෘෂි ව්‍යාපෘතියක් පමණක් නොවේ. මීට සමගාමීව “ඇතුගල ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ්” නමින් මයික්‍රොෆයිනෑන්ස් ආයතනයක්ද මොවුන් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇත. මිනිසුන්ගෙන් එක්කරන මුදල් යන්නේ යළිත් මිනිසුන්ගේම ණය බර රඳවා දැවැන්ත පොලී මාෆියාවට යටත් කිරීමකටද?
තතු දත් ආරංචි මාර්ග පවසන පරිදි ඇතුගල ක්‍රෙඩිට් යනු ඇතැම් දේශපාලඥයන්ගේ රහසිගත රාජ්‍යයකි. සමහරුන් පවසන්නේ මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (SLFP) හිතවත් ව්‍යාපාරයක් බවයි. ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු තවම එළියට පැමිණ නැතත්, අද වන විටත් ශ්‍රී ලනිපයේ හිටපු පතාක යෝධයන් කිහිපදෙනෙකුම මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ වැජඹෙන බව අප කළ සොයාබැලීම්වලදී තහවුරු වී ඇත. කසාගල මෙතරම් නිර්භීතව මහ බැංකු නියෝග පවා පාගා දමමින් කටයුතු කරන්නේ විපක්ෂයේ පමණක් නොව, දූෂණ වංචා මඩින්නට බලයට ආ ආණ්ඩුවේ ඇතැම් නායකයන්ගේද අදිසි හස්තයක් ඊට පසුපසින් ක්‍රියාත්මක වන නිසාද යන බලවත් සැකය මෙහිදී පැන නගී.
මේ සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමතිවරයෙකු වූ රවී කරුණානායක කළ ප්‍රකාශයක් මෙහිදී උපුටා දැක්වීම කාලෝචිතය. “බැංකු නියාමන ආයතන හැම එකක්ම පාර්ලිමේන්තුවේ කෝප් (COPE) කමිටුවට ගෙනත් ප්‍රශ්න කරන්න ඕනෑ.” ඇත්තවශයෙන්ම මහ බැංකුව තමන්ගේ කාර්යය නිවේදනවලට පමණක් සීමා කර ඇත්දැයි සොයා බැලීමට පාර්ලිමේන්තු මැදිහත්වීමක්ද අවශ්‍යව තිබේ.
සීඅයිඩියේ (CID) වගකීම සහ අවසන් තීරණය

වෙබ් මාධ්‍යයක් ලෙස ජනතාව දැනුවත් කිරීමේ අපේ යුතුකම අපි ඉටු කර ඇත්තෙමු. දැන් මහ බැංකුව ද තමන්ගේ ස්ථාවරය නිවේදනයකින් පැහැදිලි කර අවසන්ය. කසාගල සමාගමේ අභ්‍යන්තර “Dash Board” දත්තවලින් පවා හෙළිවී ඇත්තේ ඔවුන් නියෝජිතයන්ට 5% – 8% වැනි දැවැන්ත කොමිස් මුදල් ගෙවමින් පිරමීඩ ජාලයක් පවත්වාගෙන යන බවයි.
දැන් පන්දුව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ පොලිස්පතිවරයාගේ අතේය. සීඅයිඩියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වැනි දක්ෂ යැයි විරුදාවලියට පාත්‍රව සිටින විමර්ශකයන්ගේ අත්දැකීම්ද ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පුළුල් සහ කඩිනම් විමර්ශනයක් වහාම ආරම්භ කළ හැකිය. ජනතාව අමාරුවෙන් හරිහම්බ කරගන්නා මුදල් තවත් එක් සක්විති කෙනෙකුගේ හෝ පිරමීඩකාරයෙකුගේ දහම් ගැටයකට අසුවී විනාශ වී යාමට පෙර එය නැවැත්වීම පොලීසියේ සහ සීඅයිඩියේ පරම වගකීමයි. නීතිය ක්‍රියාත්මක වන්නේ දුප්පතාට පමණක් නොවන බව ඔප්පු කිරීමට මෙය කදිම අවස්ථාවකි.
Source: slleader.lk



