කොළඹ වරාය නගරයේ පරිපාලන අංශය තුළ සිදුව ඇතැයි කියන මතභේදාත්මක පත්කිරීම පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් මතු වී තිබේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් ‘හරි දේශය’ අපගේ වෙබ් අඩවිය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් වරාය නගරයේ අධ්‍යක්ෂ ජනරාල් රෙවාන් වික්‍රමසූරිය මහතා සිය ස්ථාවරය පැහැදිලි කර ඇත.
ඔහු පෙන්වා දෙන්නේ, මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සෘජුව අදහස් දැක්වීම කොමිසමේ ප්‍රතිපත්තිය නොවන බවයි. එහෙත්, මෙම කාරණය සම්බන්ධයෙන් නිල පිළිතුරක් අපේක්ෂා කරන බැවින්, ඉදිරි වරාය නගර පරිපාලන රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කර ඊට අදාළ නිසි තීරණය හා මගපෙන්වීම ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සිය විද්‍යුත් තැපැල් පණිවුඩය හරහා දන්වා තිබේ.
කෝෆ් (COPF) කමිටුවේ අවධානය
මේ අතර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මුල්කාලීන නිහඬතාව ද මාධ්‍යවල දැඩි විවේචනයට ලක් විය. වරාය නගර කොමිසමේ සභාපතිවරයා සහ හර්ෂ ද සිල්වා මහතා පාසල් මිතුරන් වීම නිසා මෙම ප්‍රශ්නය යටපත් වේදැයි බොහෝ දෙනා ප්‍රශ්න කළහ.
මීට පෙර මේ ගැන අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා පවසා තිබුණේ, වරාය නගරය පාර්ලිමේන්තුවේ මූල්‍ය ආධිපත්‍යයට යටත් වුවද, අභ්‍යන්තර බඳවා ගැනීම් ක්‍රියාවලියට මැදිහත්වීම COPF කමිටුවේ විෂය පථයට අයත් නොවන බවයි. නීතිමය වශයෙන් එය නිවැරදි වුවත්, ප්‍රශ්නයේ ඇති බරපතලකම හේතුවෙන් මෙම සතියේදී වරාය නගරයේ පාලනාධිකාරිය COPF කමිටුව වෙත කැඳවීම් යැවීමට ඔහු මේ වනවිට තීරණය කර ඇත.
ළබැඳියාවන් අතර ගැටුමක් (Conflict of Interest)
මෙම අර්බුදයේ භයානකම තත්ත්වය වන්නේ, පූර්ණ කාලීන නීති අධ්‍යක්ෂවරයෙකු නොමැතිව, වාණිජ මෙහෙයුම් අධ්‍යක්ෂවරිය විසින්ම නීති අංශයේ රාජකාරි ද ආවරණය කිරීමයි. සාමාන්‍යයෙන් ආයතනයක වාණිජ අංශයේ අරමුණ ලාභ ලැබීම හා ආයෝජන ගෙන ඒම වන අතර, නීති අංශයේ අරමුණ වන්නේ එම ගනුදෙනුවල නීතිමය අවදානම් පාලනය කිරීමයි. මේ අංශ දෙකම එක් අයෙකු යටතේ පැවතීමෙන් ‘ළබැඳියාවන් අතර ගැටුමක්’ නිර්මාණය වීම නොවැළැක්විය හැකිය.

අන්තර්ජාල තොරතුරුවලට අනුව අදාළ තනතුරේ වැඩ ආවරණය කරන රදිකා ඔබේසේකර නිලධාරිනිය සතුව ඇත්තේ නීතිවේදී උපාධියක් (LLB) සහ අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් (CIM) පමණි. අදාළ තනතුරුවලට අදාළව සඳහන් කර ඇති බඳවාගැනීමේ මූලික සුදුසුකම් එමගින් සපුරා කඩකර තිබීම අපගේ ප්‍රශ්න කිරීම විය. මන්ද එක් අතකින් බැලූ විට මෙතරම් සංකීර්ණ නෛතික වගකීමක් පවතින ආයතනයක මෙය බරපතල ගැටලුවකි. අනෙක් පැත්තෙන් මේ සඳහා සුදුසුකම් සම්පූර්ණ කර අයදුම්කළ පිරිස අපවෙත දුන් තොරතුරුවලට අනුව බලනවිට මෙය බරපතල වංචාවකි.
ජාතික ආර්ථිකයට ඇති තර්ජනය
මෙය හුදු මානව සම්පත් ගැටලුවක්ම පමණක් නොවේ. මීට පෙර පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව නිකුත් කළ නීති විරෝධී ගැසට් නිවේදනයක් හේතුවෙන්, දශක දෙකකට වැඩි ඉහළ පළපුරුද්දක් තිබූ එවකට නීති අංශ ප්‍රධානී වින්ද්‍යා වීරසේකර මහත්මියට පවා සිය තනතුරෙන් ඉවත්වීමට සිදුවිය. වරාය නගරය හරහා සිදුවන සුළු නීතිමය අතපසුවීමක් වුවද ජාතික ආර්ථිකයට සහ රේගු ආදායමට දැඩිව බලපායි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි පවා ක්‍රියාත්මක වන මෙවන් සමයක, මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව ජාතික මූල්‍ය ආරක්ෂාවට එල්ල වන සෘජු තර්ජනයකි.
මේ වනවිට වරාය නගර පරිපාලනය, මෑතකදී ආයතනය ලැබූ ආදායම් පෙන්වා දෙමින් අදාළ නිලධාරිනියගේ දක්ෂතා ඔප්පු කිරීමට සහ මෙම ප්‍රශ්නය යටපත් කිරීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවක් ද පෙනෙන්නට ඇත. එහෙත්, මෙම තනතුර බලාපොරොත්තුවෙන් සිටි සුදුසුකම් ලත් බොහෝ පිරිසක් මෙන්ම සමස්ත රටම මේ දෙස බලා සිටිති.
එබැවින්, ඉදිරියේදී COPF කමිටුව හමුවට කොමිසම කැඳවන විට, හුදෙක් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ගැන පමණක් නොව, නීතිමය අධීක්ෂණය සහ වාණිජ අරමුණු එකම තැනකට කොටු කිරීමෙන් ජාතික මූල්‍ය ආරක්ෂාවට වන තර්ජනය පිළිබඳව ද දැඩිව ප්‍රශ්න කිරීම මුදල් කාරක සභාවේ අනිවාර්ය වගකීමකි.



