Latest Posts

Break the Silence: අමාත්‍යාංශයේ උසස් පුටුවක හිඳ කඳුළු පිරි හඬින් ඇය කී කතාව

ගවේෂණාත්මක කර්තෘ සටහන | HariDeshaya.lk

අඩ්ඩාලච්චේන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ලකුණු කප්පාදුවේ භීෂණය සහ ලිංගික හිංසනය පිළිබඳ අප ‘HariDeshaya.lk’ හරහා පළකළ වාර්තාවෙන් පසු මගේ දුරකථනයට ඇමතුමක් ආවේය. එහා කෙළවරින් ඇසුණේ ගැහෙන, වේදනාබර, එහෙත් අතිශය ගෞරවනීය ගැහැනු හඬකි.

“මම HariDeshaya එකේ ආටිකල් එක කියෙව්වා… මට ඔබතුමාව හම්බවෙන්න ඕන. මගේ කතාව කියන්න ඕන… හැබැයි එකම එක කොන්දේසියක් උඩ විතරයි. මගේ නම, ගම, තනතුර කවදාවත් එළියට නොඑන බවට දිවුරන්න පුළුවන්ද?”

අප හමුවූයේ දැඩි ආරක්ෂිත, කිසිවෙකුගේ ඇස නොගැටෙන නිහඬ ඉසව්වකය. ඇය අද සාමාන්‍ය ගැහැනියක් නොවේ; මෙරට ප්‍රබලතම අමාත්‍යාංශයක අමාත්‍යවරයා සමග රටේ ප්‍රතිපත්ති හදන, උසස්ම රාජ්‍ය නිලතල හොබවන ඉහළම කාන්තා නිලධාරිනියකි. ටයි පටි, නිල ඇඳුම්, කැමරා ඉදිරියේ අභිමානයෙන් හිනැහෙන ඒ පෞරුෂවත් ගැහැනිය මගේ ඉදිරිපිට මේසයේ අත්දෙක තද කරගෙන හඬන්නට පටන් ගත්තාය.

“කවුරුත් දකින්නේ මගේ මේ නිල ඇඳුම විතරයි මල්ලි… ඒත් මේ සාරිය ඇතුළේ අදටත් පිච්චෙන මහා ගින්දරක් තියෙනවා. මම විඳවපු විඳවිල්ලක් තියෙනවා…”

ඇය තම අතීතය මුදාහළේ මෙසේය.

“තාත්තාගේ අත්වල කරගැට මතින් ආපු ගමනක් මේක…”

“අපේ ගම මොනරාගල. මැටි ගහපු පුංචි ගෙයක් තිබුණේ. තාත්තා දවසම කළේ මේසන් බාස්ලා ළඟ සිමෙන්ති අනපු එක. තාත්තාගේ අත් දෙකේ තිබුණේ පිපිරිච්ච කරගැට විතරයි. අම්මා පාන්දර තුනට නැගිටලා ආප්ප, ඉඳිආප්ප වට්ටි තම්බලා ගමේ කඩවල්වලට දාලා තමයි මට පොත් අරන් දුන්නේ.

මම හීන දැක්කා ඒ මිනිස්සුන්ව ගොඩදාන්න. පහේ ශිෂ්‍යත්වයෙන් මම මුළු මොනරාගලින්ම පළවෙනියා වුණා. ඕ ලෙවල් වලින් දිස්ත්‍රික්කයේ හොඳම රිසල්ට් එක අරන් ඒ ලෙවල් කරන්න නුවර ලොකු ඉස්කෝලෙකට ආවා. කොහොමහරි මහන්සි වෙලා මම අගනගරයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයකට තේරුණා.

කොළඹ ආවට පස්සේ බෝඩිං ගාස්තු, කෑම බීම ගෙවාගන්න බැරුව මම පාට්-ටයිම් ජොබ් එකක් කළා. ගෙදර යන්න බස් එකට යන වියදම ඉතුරු කරගන්න හිතාගෙන මම නිවාඩුවටවත් ගෙදර ගියේ නැහැ. තාත්තාගේ මහන්සියට සාධාරණයක් කරන්න මට ඕන වුණේ…”

“අවුරුදු කුමරිය තරගය මට ශාපයක් වුණා…”

“කැම්පස් ආපු මුල් කාලෙත් මට ලේසි වුණේ නැහැ. සීනියර් බැච් එකේ අයියා කෙනෙක් මගේ පස්සෙන් ඇවිත් අනවශ්‍ය විදිහට බලපෑම් කළා. මම බැහැ කියද්දී මාව කොන් කළා. ඒත් මම ඒවා නිහඬවම ඉවසුවා, ‘ඊළඟ බැච් එක ආවම මේවා ඉවරවෙයිනේ’ කියලා.

ඊටපස්සේ මගේ පෙනුම දැකලා බැච් එකේ ගැහැනු ළමයි ඔක්කොම එකතුවෙලා මට පෙරැත්ත කළා, ‘ඔයා ලස්සනයි, අවුරුදු කුමාර කුමරිය තරගයකට අයදුම් කරන්න’ කියලා. ඒ බලකිරීමට මම ඒ අවුරුදු කුමරිය තරගයට අයදුම් කරලා ගිහින් තුන්වෙනි ස්ථානය—2nd Runner-up—දිනාගත්තා. හැමෝම කිව්වා ‘අපේ බැච් එකටත්, කැම්පස් එකටත් ආඩම්බරයක්’ කියලා. ඒත් දෙයියනේ… ඒ ජයග්‍රහණය මගේ මුළු ජීවිතේම විනාශ කරන්න ආපු ශාපයක් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ…”

“මහාචාර්ය සළුව පොරවගත්ත කාමාතුරයෙක්…”

ඇයගේ හඬ වෙව්ලන්නට විය. දෑසින් කඩාහැලෙන කඳුළු පිසදමමින් ඇය යළිත් කතා කළාය.

“ඒ ලෙක්චරර්ට ඒ වෙනකොටත් වැඩිහිටි දරුවෙක් හිටියා. විවාහක කෙනෙක්. එයා මාව දැක්කේ ඉගෙනගන්න ආපු අහිංසක දරුවෙක් විදිහට නෙමෙයි… ගොදුරක් විදිහට.

දවසක් මම ලෙක්චර් එකේ නොතේරුණු පාඩමක් සහ පේපර් එකක් ගැන අහන්න එයා ළඟට ගියා. එයා මට කිව්වා, ‘මේ නෝට්ස් ටික මගේ ගෙදර තියෙන්නේ ළමයා… මම ඊළඟ සතියේ නුවර ගිහින් ගේනකල් ඔයාගේ වට්ස්ඇප් නම්බර් එක දෙන්න, මම ෆොටෝ එකක් ගහලා එවන්නම්’ කියලා. මම කිසිම සැකයක් නැතුව මගේ නම්බර් එක දුන්නා.

එදා රෑ මධ්‍යම රාත්‍රියේ මගේ ෆෝන් එකට මැසේජ් ආවේ නෝට්ස් නෙමෙයි මල්ලි… පිළිකුල් සහගත, හිත් පිත් නැති අසභ්‍ය වීඩියෝස්! මම බයෙන් වෙව්ලලා ඒවා ඩිලීට් කරලා දැම්මා. එයාට කිව්වා මේ වගේ දේවල් එවන්න එපා කියලා. ඒත් එයා නැවතුණේ නැහැ…”

“කෑගැහුවොත් උඹේ ලකුණු ටික ඉවරයි!”

“දවසක් හවස ලෙක්චර්ස් ඉවරවෙලා කැම්පස් එකේ මිනිස්සු වැඩිය නැති වෙලාවක මම ගහක් යටට වෙලා පාඩම් කර කර තනියම හිටියේ. එකපාරටම එයා ඇවිත් මගේ ළඟින් වාඩිවුණා. මම බයවෙලා නැගිටලා යන්න හදද්දි මගේ අතින් තද කරලා අල්ලලා බලෙන්ම වාඩි කෙරෙව්වා.

මාව වෙව්ලන්න ගත්තා. එයා මගේ ඇඟට අත තියලා අසභ්‍ය විදිහට හැසිරෙන්න හැදුවා. මම අත ගසලා දාලා කෑගහන්න හදනකොටම එයා මගේ මූණට නැමිලා තර්ජනය කළා…

‘කෑගහන්න එපා… උඹ මේක කාටහරි කිව්වොත්, එක ලකුණක් දාන්නේ නැහැ මම විභාගෙට. උඹව ෆේල් කරලා කැම්පස් එකෙනුත් එළියට දානවා. තේරුණාද?’

මට මුළු ලෝකෙම අඳුරු වුණා. මට හිතුණා කෑගහලා මුළු කැම්පස් එකම එකතු කරන්න. පොලිසියට දුවන්න. ඒත් ඊළඟ තත්පරේ මට මතක් වුණේ මොනරාගල මැටි ගෙදර මං එනකල් බලාගෙන ඉන්න මගේ අහිංසක අම්මයි තාත්තයි…

මම කෑගැහුවා නම් මොකද වෙන්නේ? ලෙක්චරර් බේරෙයි. ගමේ මිනිස්සු මට ඇඟිල්ල දික් කරයි, ‘ඕකි කැම්පස් ගිහින් ලෙක්චරර් එක්ක නටලා’ කියලා. මගේ ඩිග්‍රිය නැතිවෙයි. මගේ තාත්තා සිමෙන්ති අනලා හම්බකරපු සල්ලිවලට මොකද වෙන්නේ? මට හෙට දවසක් නැතිවෙයි…

ඒ බයට මම කට පියාගත්තා. බෝඩිමට ඇවිත් බාත්රූම් එකේ ටැප් එක ඇරලා දාලා මම කෑගහලා ඇඬුවා. ඒ බියගුලුකමට නෙමෙයි මල්ලි… මේ කාලකණ්ණි ක්‍රමය හින්දා…”

“මගේ හිතේ තියෙන මේ බර තනියම දරාගෙන මට තවත් ඉන්න බැහැ…”

ඇය මා දෙස බැලුවේ කඳුළු පිරි, හදවත පතුලෙන්ම නැගෙන වේදනාබර බැල්මකිනි.

“බලන්න මල්ලි… අද මම ඉන්නේ කොතැනද කියලා. අද මම ඉන්නේ ලංකාවේ ප්‍රධානතම අමාත්‍යාංශයක උසස්ම පුටුවක. හිටපු ජනාධිපතිවරු දෙන්නෙක්, හිටපු අගමැතිවරයෙක් එක්ක මම සමීපව වැඩ කළා. අදත් රටේ ඉහළම තීන්දු තීරණ ගන්න රාජ්‍ය නායකයෝ එක්ක එක මේසයේ වාඩිවෙන්නේ මම. හැබැයි මල්ලි… මම මේ සත්‍යය අද වෙනකල් මගේ ජීවිතේ කාටවත්ම කියලා නැහැ.

එදා මගේ අම්මට තාත්තට කිව්වේ නැහැ. අද මගේ පණ වගේ ඉන්න මගේ ආදරණීය ස්වාමිපුරුෂයාටවත් මම මේක කියලා නැහැ. මට ලැජ්ජයි… මට බයයි… ඒත් එදා ඉඳන් අද වෙනකල් මම මානසිකව විඳවපු විඳවිල්ල මට විතරයි තේරෙන්නේ. රෑට තනියම ඉන්නකොට, ඒ අතීතය මතක් වෙනකොට අදටත් මගේ පපුව ගැහෙනවා. මාව වෙව්ලනවා. ඒ බය මගේ හිත ඇතුළේ තාම තියෙනවා.

මට තේරුණා මල්ලි, මට විතරක් මේක හිත ඇතුළේ හංගාගෙන තවත් ජීවත් වෙන්න බැහැ කියලා. මේ වේදනාව, මේ මානසික පීඩනය තනියම දරාගෙන ඉඳලා මගේ හුස්ම හිරවෙනවා වගේ. මගේ හිතේ තියෙන මේ බය, මේ කළු පැල්ලම සම්පූර්ණයෙන්ම නැති කරගන්න නම්, මට නිදහස් වෙන්න නම් මම මේක සමාජයට මුදාහරින්නම ඕන.

අනේ මල්ලි… මේ කතාව ලියන්න. මගේ නම නැතුවට කමක් නැහැ, මාව ප්‍රසිද්ධ කරන්න එපා… ඒත් මේ කඳුළු ඇතුළේ තියෙන ඇත්ත ලියන්න. මට මේක ප්‍රසිද්ධියට පත්කරන්න ඕන වුණේ අඩ්ඩාලච්චේන ඉන්සිඩන්ට් එක දැක්කට පස්සේ මට දැනුණා මට වුණෙත් ඒ දේමයි කියලා. මම විඳපු ඒ අනාරක්ෂිතකම, ඒ අසරණකම අදටත් අපේ විශ්වවිද්‍යාලවල, විද්‍යා පීඨවල ඉන්න මගේ අහිංසක නංගිලා විඳිනවා. මේක නිකන් අතහරින්න එපා මල්ලි. මේ නිහඬතාව බිඳින්න (Break the Silence). මේකට පද්ධතිය ඇතුළෙන් ස්ථිර විසඳුමක් හොයන්න රටට බලකරන්න…”

ගරු අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ හදිසි අවධානය පිණිසයි:

ගරු අග්‍රාමාත්‍යතුමියනි,

මේ හඬන්නේ සාමාන්‍ය තරුණියක් පමණක් නොවේ; රාජ්‍ය නායකයන්, ජනාධිපතිවරුන් සමග රටේ ඉහළම ප්‍රතිපත්ති සම්පාදනය කළ, අදටත් රටේ ප්‍රධානතම අමාත්‍යාංශයක උසස්ම තනතුරු හොබවන ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරිනියකි. තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයාට හෝ පවුලේ අයට පවා කියාගත නොහැකිව, වසර ගණනාවක් තිස්සේ මනෝවිද්‍යාත්මකව හදවතේ සඟවාගෙන සිටි ඒ අඳුරු කම්පනය (Trauma) ඇය අද මාධ්‍යයක් ඉදිරියේ හෙළිකළේ තවත් දහස් ගණනක් ශිෂ්‍යාවන් බේරාගැනීමේ උත්තරීතර අරමුණෙනි.

කාන්තා අයිතිවාසිකම් සහ විශ්වවිද්‍යාල ප්‍රජාවේ යථාර්ථය හොඳින්ම දන්නා නායිකාවක ලෙස, මේ නිහඬතාව බිඳ දැමීමට ඔබතුමියගේ සෘජු මැදිහත්වීම දැන්වත් අවශ්‍යය:

  1. ශිෂ්‍යාවන්ගේ අනන්‍යතාව 100% ක් රහසිගතව තබාගත හැකි ස්වාධීන ජාතික ඩිජිටල් පැමිණිලි යාන්ත්‍රණයක් හඳුන්වා දෙන්න.
  2. ලකුණු පෙන්වා දරුවන් බියවැද්දීම වැළැක්වීමට, අනිවාර්ය දෙවන ඇගයීම් ක්‍රමවේදයක් (Independent Second Marking) නීතිගත කරන්න.
  3. ආයතන ප්‍රධානීන්ගේ සබඳතාවලින් තොර බාහිර ස්වාධීන විමර්ශන ඒකකයක් හරහා මෙවැනි විෂමාචාරයන්ට එරෙහිව පක්ෂපාතීත්වයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන්න.

තක්සලාවන් යනු බලය හමුවේ අහිංසක දියණියන්ගේ සිහින මරාදමන අඳුරු කාමර නොවිය යුතුය. මේ නිහඬ කඳුළුවලට සාධාරණය ඉටුකරන්නට කාලය එළඹ ඇත.

Latest Posts

spot_imgspot_img