ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගී තත්ත්වය මේ වන විට බරපතළ වසංගත මට්ටමකට පැමිණ ඇති බවත්, වත්මන් රජයට එය පාලනය කරගැනීමට කිසිදු ජාතික වැඩපිළිවෙළක් නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
2017 වසංගතය අපි පැය 24න් කළමනාකරණය කළ හැටි

“අවසාන වතාවට 2017 දී ඩෙංගු වසංගතයක් ආවා. එදා ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයෙන් භාගයක්ම අධි අවදානම් කලාප (High-risk zones) ලෙස නම් කරද්දී ලංකාවත් ඒ අතර තිබුණා. නමුත් යහපාලන රජය විදිහට අපි ඩොලර් මිලියන 12.7ක් (එවකට රුපියල් මිලියන 1936.75ක්) වියදම් කරලා මාස හතරක් ඇතුළත ඒ වසංගතය මුළුමනින්ම මර්දනය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ලංකාව ලෝකයටම නිදසුනක් කියලා අපිට ප්‍රශංසා කළා.”
එදා වසංගතය පාලනය කිරීමට ගත් සාර්ථක පියවර කිහිපයක් ද හිටපු ඇමැතිවරයා මතක් කර දුන්නේය:
- රෝහල් පද්ධතිය ප්‍රතිසංස්කරණය: කුඩා රෝහල් සියල්ල ‘සැටලයිට් රෝහල්’ බවට පත් කර ඩෙංගු රෝගීන්ට වෙන් කිරීම සහ මහා රෝහල්වල අධි යැපුම් ඒකක (High Dependency Units – HDU) පිහිටුවීම.
- පරීක්ෂණ මිල සීමා කිරීම: රුපියල් 2,200ක් වූ ඩෙංගු රැපිඩ් ටෙස්ට් (Dengue Rapid Test) එක රුපියල් 750 දක්වාත්, රුපියල් 750ක් වූ Full Blood Count (FBC) පරීක්ෂාව රුපියල් 150 දක්වාත් ගැසට් නිවේදනයකින් අඩු කර පෞද්ගලික අංශය ද රෝගී සත්කාරයට දායක කරගැනීම.
- මානව සම්පත් කළමනාකරණය: පුහුණු පශ්චාත් සේවාස්ථාන වෛද්‍යවරුන් (Post-interns) ඩෙංගු මර්දනයට යෙදවීම සහ ඩෙංගු සහායකයින් 1,500ක් හා උපාධිධාරීන් 300ක් ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස බඳවා ගැනීම.
- ජනාධිපති කාර්ය සාධක බලකාය: එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ කර ස්ථාන ලක්ෂ 30ක් පරීක්ෂා කිරීම.
“අද නිල දත්ත බොරු, සැබෑ රෝගීන් ගණන 58,000ට වැඩියි”

රජයේ නිල වාර්තාවල ඊයේ රාත්‍රිය වන විට රෝගීන් 58,000ක් සහ මරණ 32ක් වාර්තා වී තිබුණ ද, සැබෑ තත්ත්වය මීට වඩා බෙහෙවින් දරුණු බව රාජිත සේනාරත්න මහතා අනාවරණය කළේය. එදා තිබූ ජාතික මට්ටමේ දත්ත එකතු කිරීමේ පද්ධතිය අද ක්‍රියාත්මක නොවන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නිවැරදි සංඛ්‍යාලේඛන නොමැති බව ක්ෂේත්රයේ නිලධාරීන් තමාට පැවසූ බව ද ඔහු කීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවා රෝහල් පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ (Saturated) ඇති බවටත්, සතියකට රෝගීන් 5,200කට වඩා වාර්තා වන බවටත් කර ඇති අනතුරු ඇඟවීම් ද මෙහිදී සිහිපත් කෙරිණි.
ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ඩෙංගු නෙවෙයි, විපක්ෂය හිරේ දාන එකයි!
වත්මන් පාලනය රටේ පවතින සැබෑ ප්‍රශ්න මඟහරිමින් සිටින බවට හිටපු අමාත්‍යවරයා දැඩි විවේචනයක් එල්ල කළේය.
“අද ආණ්ඩුවේ ප්‍රමුඛතාවය තියෙන්නේ විරුද්ධ පක්ෂයේ කට්ටිය කොහොමද අයින් කරන්නේ කියන එක. ඩෙංගු වලින් මිදෙන්නත්, ආර්ථික අර්බුදයෙන් මිදෙන්නත් ආණ්ඩුවට තියෙන විසඳුම තමයි විපක්ෂයේ අයව හිරේ දාන එක. විපක්ෂය මර්දනය කරාම මිනිස්සු සාගතයේ ගියත්, කන්න බොන්න නැති වුණත් කතා කරන්න කෙනෙක් නෑ කියලා ආණ්ඩුව හිතනවා. ඔවුන් කරන්නේ ජනතා අභිවර්ධන වැඩපිළිවෙළක් නෙවෙයි, තමන්ගේ රාජ්‍යය බේරාගන්නා වැඩපිළිවෙළක්.”
තවදුරටත් පෙර පාලන සමයන්හි ක්‍රියාත්මක කළ සාර්ථක සෞඛ්‍ය ප්‍රොටෝකෝලයන් දෙස බලා හෝ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ බලකායක් පිහිටුවා රට ඩෙංගු වසංගතයෙන් මුදවා ගැනීමට පියවර ගන්නා ලෙස රාජිත සේනාරත්න මහතා මෙහිදී රජයෙන් ඉල්ලා සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක, එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් වෛද්‍ය සෙනෙත් ගජසිංහ සහ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානය වෙනුවෙන් සමන් රත්නප්‍රිය යන මහත්වරු ද සහභාගී වී අදහස් දැක්වූහ.



