Latest Posts

ජනාධිපතිගේ කතාවට රාජිතගෙන් දැඩි ප්‍රහාරයක්! වත්මන් රජයේ බිලියන ගණන් වංචා ගැන CID යයි, අල්ලස් කොමිසමයි නිහඬ ඇයි?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය හුදෙක් “ජාතක කතාවක්” බඳු පරණ කතා මතක් කිරීමක් පමණක් බවත්, වත්මන් රජයේ ඇමතිවරුන් වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ කෝටිපතියන් වූයේ කෙසේදැයි රටට හෙළි කළ යුතු බවත් හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රතු සංඥා දැමූ කන්ටේනර් නිදහස් කිරීම සහ ගල්අඟුරු වංචාව

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ “කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතබන” බව සඳහන් වුවද, වත්මන් රජය යටතේ සිදුවන මහා පරිමාණ වංචා සඟවමින් සිටින බවට රාජිත සේනාරත්න මහතා චෝදනා කළේය.

“ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට රතු සංඥාව (Red Channel) දාපු මත්ද්‍රව්‍ය සහිත කන්ටේනර් වරායෙන් එළියට දැම්මා. මේක වංචාවක් නෙවෙයිද? මේ ගැන අල්ලස් කොමිසම හොයන්නෙ නැද්ද? CID එක ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?” යන්න ඔහු ප්‍රශ්න කර සිටියේය.

එමෙන්ම අද වන විට විදුලි බිල සහ ඉන්ධන මිල ඉහළ යාමට සැබෑ හේතුව හොර්මුස් සමුද්‍ර සන්ධියේ ප්‍රශ්නය නොව, සිදුව ඇති මහා පරිමාණ ගල්අඟුරු වංචාව සහ වැරදි කළමනාකරණය බව ආචාර්ය ධනනාත් ප්‍රනාන්දු මහතාද පෙන්වා දී ඇති බව හිටපු අමාත්‍යවරයා සිහිපත් කළේය. මේවා රුපියල් ලක්ෂ දෙක තුනේ කේස් නොව බිලියන ගණන්වල වංචාවන් බවද ඔහු අවධාරණය කළේය.

“හිල් වෙච්ච බැනියම් ඇඳපු ඇමතිවරු අද කෝටිපතියෝ!”

වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටින ඇතැම් අමාත්‍යවරුන්ගේ හදිසි වත්කම් උපයා ගැනීම් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා දැඩි විවේචනයක් එල්ල කළේය.

  • යට ඇඳුම්වල පවා හිල් තිබූ ඇමතිවරු: මීට පෙර තමන්ට ඇඳුමක් ගන්නවත් සල්ලි නැති බව පැවසූ, අනුන්ගෙන් ඉල්ලාගෙන ඇඳපු ඇමතිවරුන්ට වසර එකහමාරකින් කෝටි ගණනක වත්කම් ලැබුණේ කෙසේද?
  • සුඛෝභෝගී නිවාස සහ ඉඩම්: බිරිඳගේ වැටුපෙන් පමණක් යැපෙන බව පැවසූ ඇමතිවරයකු අද වන විට දියණියගේ නමට ඉඩම් මිලදී ගනිමින් තෙමහල් සුඛෝභෝගී නිවාස සාදන්නේ කෙසේද?
  • නීතිවිරෝධී ක්‍රිප්ටොකරන්සි වත්කම්: මහ බැංකු අධිපතිවරයා ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) තහනම් කර තිබියදී, කැබිනට් ඇමතිවරයකුගේ වත්කම් ප්‍රකාශයේ ක්‍රිප්ටොකරන්සි වත්කම් තබා ඇත්තේ කෙසේද?
  • රජයේ ඉඩම් හොර ඔප්පු මඟින් ලියා ගැනීම: ජාතික දේපළක් හොර ඔප්පු මඟින් තමන්ගේ නමට ලියාගෙන, එම නඩුව විභාග කළ මහේස්ත්‍රාත්වරයාව පවා මාරු කර යැවීමට ඇතැම් ඇමතිවරුන් කටයුතු කර ඇති බවටද සේනාරත්න මහතා බරපතළ චෝදනාවක් එල්ල කළේය.

ආර්ථිකය කඩා වැටිලා; මහ බැංකු අධිපතිගේ අනාවැකි වැරදිලා!

රට දිගුකාලීන ස්ථාවර ගමනකට පය තබා ඇති බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ හිටපු අමාත්‍යවරයා, රනිල් වික්‍රමසිංහ මහතා 5.3%කට ගෙනා ආර්ථික වර්ධන වේගය වත්මන් පාලනය යටතේ 3% දක්වා පහත වැටී ඇති බව ප්‍රකාශ කළේය. ණය ගෙවීමට නම් ආර්ථික වර්ධනය අවම වශයෙන් 5%ක් තිබිය යුතු බවද ඔහු පැවසීය.

“71%ක් තිබ්බ උද්ධමනය සෘණ දශම පහකට අඩු කරලයි රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුවට බාරදුන්නේ. උද්ධමනය 5%කින් ඉහළ යන්නෙ නෑ කියපු මහ බැංකු අධිපතිම දැන් කියනවා උද්ධමනය 7%කට යනවා කියලා. විදේශ සංචිතත් රනිල් වික්‍රමසිංහ තියලා ගිය ටික විතරයි.”

එමෙන්ම 2023 සිට TT (Telegraphic Transfer) ක්‍රමය හරහා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් Advance payment ලෙස රටින් බැහැරව ඇති බවට රජය කරන ප්‍රකාශයට ස්ථිර සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවත්, මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ලබන සතියේ මූල්‍ය කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා විසින් මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් කැඳවීමට තීරණය කර ඇති බවත් ඔහු අනාවරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ප්‍රජාතන්ත්‍රවාදය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ වසරේ අහෝසි කරන බව පැවසුවද, දැනටමත් රජය විසින් විපක්ෂයේ පිරිස් මර්දනය කිරීමට සහ දේශපාලන පළිගැනීම් සඳහා මෙම පනත භාවිත කරමින් සිටින බව හිටපු අමාත්‍යවරයා පැවසීය. උතුරේ හෝ දකුණේ ත්‍රස්තවාදයක් නොමැති බැවින් මෙම පනත වහාම අහෝසි කළ යුතු බව ඔහුගේ අදහසයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම විශාලතම විහිළුවක් බව පැවසූ සේනාරත්න මහතා, 71 සහ 89 භීෂණ සමයන්හිදී මිනිසුන් 60,000කට අධික ප්‍රමාණයක් සහ විජය කුමාරතුංග වැනි නායකයන් ඝාතනය කළ පිරිස්වලට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට අයිතියක් නොමැති බව සඳහන් කළේය. එදා නිදහස් පක්ෂ හෝ එජාප ආණ්ඩුවල තිබූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සහනශීලී ප්‍රතිපත්තිය නිසා අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට මෙන්ම දේශපාලනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇති බවද දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සිහිපත් කර සිටියේය.

Latest Posts

spot_imgspot_img